සතියේ ගීතය | Page 2 | සිළුමිණ

සතියේ ගීතය

රාමාට මා සැකයි රාවණා

රාමාට මා සැකයි රාවණා...//

ගිනි සෑයේ අභියස මා දැවේවී රාවණා

සෑයටත් ඉහළින් නැගේ හදේ ගිනි බුර බුරා

හඬමි මම රාවණා

රාමාට මා සැකයි රාවණා...//

නුබේ තුඟු දසුනින් - මහඟු මනු ගුණයෙන්

නොසැලෙන්න මගේ සිත සිරකළා...//

හුදෙකලා වදුලේ - අඳුරු සීතල තුරුළේ

මා අසල කළේ නුඹ භාවනා...//

රාමාට මා සැකයි රාවණා...//

ගිනි සෑයේ අභියස මා දැවේවී රාවණා

සෑයටත් ඉහළින් නැගේ හදෙහී ගිනි බුර බුරා

හඬමි මම රාවණා - දෂානන් රාවණා

රාමාට මා සැකයි රාවණා...//

ගායනය - එරන්දි මධුෂිකා
පදරචනය - පුණ්‍යා සමරකෝන්
සංගීතය - පසන් කිලකවර්ධන

අපි අහල තියෙන්නෙ රාමගෙයි සීතගෙයි කතාව. ඒත් මේ මෑතක අපට අසන්නට ලැබෙන ගීතයක මේ කතාව රාවණාගෙයි සීතාගෙයි කතාව ලෙස නැවත ලියනවා. මීට සති දෙකකට තුනකට කලින් රාවණා නමින් ගීතයක් නිර්මාණය වුණා. මේ වන විටත් ගුවන් විදුලිය තුළින් ඔබත් මේ අපූරු ගීතය ශ්‍රවනය කරන්න ඇති. ඒ ගීයෙ සුන්දර ගැඹුරු පද පෙළෙහි හිමිකාරිය ගැන තමයි අපි අද කතාකරන්නෙ.

ඇගේ උපන් ගම මාතලේ. සංඝමිත්තා බාලිකාවෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍යවේදය පිළිබඳ විශේෂ උපාධියක් ලැබූ ඇය සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ රූපවාහිනී මහගෙදරින්. එහි ප්‍රවෘත්ති සංස්කාරකවරියක් ලෙස වසර ගණනාවක් ලද අත්දැකීම් වලින් පරිපූර්ණ වන ඇය මේ වන විට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ උපදේශිකා හා පොල් වගාකිරීමේ මණ්ඩලයේ මාධ්‍ය හා තොරතුරු කළමනාකාරිණිය ලෙස වෘත්තියේ නියැලෙනවා. ඇය නමින් පුණ්‍යා සමරකෝන්.

ඇය කලාවට පිවිසෙන්නෙ කිවිඳියක් විදිහට. පුණ්‍යාගෙ පළමුවැනි කවිපොත සෙවනැලි හරි උසයි . 2010 වසරෙදි හොඳම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකාව ලෙස රාජ්‍ය සම්මාන දිනන ඇය ගීත රචනයට පිවිසිලා වැඩි කාලයක් නෑ. ‘‘මම ඇහුවෙ, රස වින්දෙ හොඳ ගීත. අපේ විඳීම් විඳවීම් සියල්ල පරිපූර්ණ වුණේ අපි අහපු ඒ අරුත්බර ගී නිසයි. ඒවායෙහි මිහිරි තනු අපේ සිතිවිලි තැන්පත් කළා. ඒවා ඉතා පරිස්සමෙන් සෙමෙන් අපේ හදවත් සන්තර්පනය කළා. අපේ ආකල්ප පුරුෂාර්ථ මේ සියල්ල හැඩගැහෙන්නෙ ඒ මත. අපේ පරම්පරාවෙන් පස්සෙ අයට ඒ වගේ හොඳ නිර්මාණ රස විඳින්න ඉඩ ලැබුණෙ නෑ. 90 දශකය ආරම්භ වනවාත් සමග අපේ රටේ සිනමාව, ටෙලිනාට්‍ය කලාව වගේම ගීත කලාවත් ගොඩක් පිරිහුණා. ඒක ඒ යුගයේ තරුණ පරම්පරාවට ලොකු හානියක් කලා කියලයි මට හිතෙන්නෙ. අද බහුතරයක් තරුණ පිරිස් හරිම සරල රස වින්දනයක් හා ගැඹුරක් නැති පිරිසක් වෙලා. කන් පලන ඝෝෂාකාරී සංගීතයෙන් මේ පරම්පරාව විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ. මට ඕනේ ඒ සියලු දෙනාම හොඳ ගීත අහන්න. අරුත් බර දේවල් කියවන්න. එතකොට එයාල හිතන පතන විදිහ, එයාලට ලෝකෙ දැනෙන හැඟෙන විදිහ පවා වෙනස් වෙනවා. ඒ ගැන අපිට බලාපොරොත්තු තැබිය හැකියි.

ගීතයකට මේ තේමාව තෝරාගන්නට විශේෂ හේතුවක් තියෙනවද?

ඔව්. පොදු හේතුවක්. සීතා නියෝජනය කරන්නෙ ගැහැනිය. රාමා නියෝජනය කරන්නෙ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගැහැනියගේ විශ්වාසය අභියෝගයට ලක්කරන සාම්ප්‍රදායික පිරිමියා. රාවණා කියන්නෙ පිරිමියා පිළිබඳ කාන්තාවගේ සිහිනය එකිනෙකාට ගරුකරන, එකිනෙකාගෙ විශ්වාසය සුරකින, ශක්තිවන්ත, නොඅඩුව ආරක්ෂාව දියහැකි සැබෑ පිරිමියා තමයි රාවණා. ඒ දෙආකාර පිරිමි රූපයන් අතර කම්පනයට පත්වන සීතාගේ විලාපය බහුතරයක් කාන්තාවන්ට පොදු වූ කතාවක්.

මේ ගීතයේ අනෙක් කොටස්කරුවන් කවුද?

මේ ගීතයේ සංගීතය පසන් කිලකවර්ධනගෙ.සංගීත සංකලනය කළේ අමිත් ගුරු. අමිත් ජනප්‍රිය ගීත කිහිපයකම සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන දක්ෂයෙක්.

ගායනය එරන්දිගෙ. එරන්දි මධුෂිකා දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් ඉතා ඉහළ දස්කම් පෙන්වපු කෙනෙක්.

අනාගතයේ සැලසුම් අතර තවත් මෙවැනි ගීත තියෙනවද?

තියේවි. ගීත, කෙටිකතා, නවකතා, කවි මේ හැම දෙයක්ම තියේවි. කොහොම වුණත් මම අනාගත ලෝකයට නරක දෙයක් දෙන්නෙ නෑ. මම එකතුකරන්නෙ පසුතැවීම් නෙවෙයි, මතක් කරල සතුටු වෙන්න පුළුවන් දේවල් විතරයි. 

 

Comments