සතර සවිය සහ නෙළුම 17 | සිළුමිණ

සතර සවිය සහ නෙළුම 17

ධර්මානුකූලව ජීවත්වන තැනැත්තාට ධර්මය පිහිට වන බව, තරයේ විශ්වාස කරන නිසා එම පිහිට පතමින් උත්සාහවන්තව කටයුතු කළෙමි. ආක්‍රමණික ඉරාක හමුදාව දේශයෙන් පිටවන ලෙසට අණක් නිකුත් කළේ ය. රාජ්‍ය ත්‍රාන්තිකයින්ට ද පිටවන ලෙස නියෝග ලැබුණි. මේ ගිනිදැල් මැද මගේ රසික පිරිසක් අපට අවශ්‍ය සහාය ලබාදුන්නා පමණක් නොව නැරඹිය යුතු තැන්වලට ද අපව රැගෙන ගියේ දැඩි කැමැත්තෙනි.

ජයන්ත කන්නන්ගර මහතා එම වකවානුවේදී කළ සේවය අති මහත් ය. රෙජී විජේසිංහ මහතා ද ඔවුන්ගේ කළමනාකරුවෙකි. රෙජී නිතර ම අපට තොරතුරු සැපයීමට උත්සුක විය. තානාපති තුමා සහ පවුලේ අය කුවේටයෙන් පිටවන බවත්, රෙජී තම බිරිය සහ කුඩා දියණියන් ද සමඟ ඒ රථ පෙළ පසු පසින් ගමන් ගැනීමට සූදානම් බවත් අපට පැවසුවේ ය.

හිතවත් අයකුගේ මාර්ගයෙන් කුලියට වාහනයක් සොයා ගෙන ශ්‍රී ලංකා සිංහ කොඩිය සහිත තානාපති නිල රථ පිටුපසින් ඉරාකයේ බැග්ඩෑඩ් නුවර කරා ගමන් කිරීමට අප සූදානම් වීමු. කුවේටයෙන් පිටවීමට ගමන් බලපත්‍රයක් තාවකාලිකව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිකුත් කරන ලද්දේ ඩිනාර් එකක් ලබාගැනීමෙන් පසුවය.

ශ්‍රී ලාංකේය දෙමළ තරුණයන් ඩිනාර් එකක් පවා නොදී සියලු ම රටවලට ගමන් කළ හැකි බලපතයක් ලබාගැනීමට අරගල කරන ලදී. මෙතැනදී ඔවුන්ගේ දැඩි අපේක්ෂාවට එරෙහි වූ සිංහල තරුණයන් අතරේ අරගලයක් ඇති වුණේය. මේ ගැටුම දුරදිග යන බවත්, මෙම පසුබිම තුළින් මහා විනාශයක් සිදුවිය හැකි බවත් මට වැටහුණේය.

සිංහල - දෙමළ ගැටුම උග්‍ර විය. මේ වන විට ශ්‍රී ලංකා එල්ටීටීඊ ත්‍රස්තවාදී ක්‍රියාද අධික ලෙස වර්ධනය වෙමින් පැවතිණ.

කුවේටයේ සිටින සියලුම දෙමළ තරුණයන් එල්ටීටීඊ ආධාරකරුවන් බව වැටහුණේ ඔවුන් ගමන් ගන්නා ටා ටා වර්ගයේ විශේෂ බස් රථයේ ඉදිරියේ අලවා තිබුණ JAFFNA LTTE යන කුඩා දැන්වීම් පුවරුවෙනි. ඔවුන් වියරුව කටයුතු කරන බව දැනගත් අප ගමන් මලු අප රථයට දමනවාත් සමඟම යකඩ පොලු රැගෙන ඔවුහු අප වෙත හඹා එන්නට වූහ.

ඉමහත් භියට පත්වූ අප ‍තිදෙනා ඉතාමත් වේගයෙන් ට්‍රයිකෝ නිවසට ඇතුළු වී, යකඩ ගේට්ටුව වැසුවෙමු. විනාඩියක් ප්‍රමාද වූවා නම් අපගේ මළකඳන් පවා ලංකාවට ගෙන ඒමට නොහැකි වනු ඇත. ඒ තරුණයෙක් ඉතා ම්ලේච්ඡ අන්දමට මිනිසුන්ට පහර දී වාහන වලට ද අලාභ හානි සිදු කළහ. ගතවූයේ සුළු මොහොතකි. පොලීසිය ඔවුන් මෙල්ල කිරීමට සමත් විය. අප සතු ගමන් මලු, ගමන් බලපත්‍ර, මුදල් අපට නැති වූයේ ඉහත කී දෙමළ තරුණයන් ඒ සියල්ල පැහැරගත් නිසාය.

කෙසේ හෝ රෙජීට පණිවුඩයක් යවා අප තිදෙනා ද ඔහුගේ රථයෙන් බැග්ඩෑඩ් නුවර බලා ගමන් කිරීමට යුහුසුළු වීමු. රෙජීගේ බෙන්ස් රථයට ගොඩ වීමට අපට කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් උපකාර වුණි.

රථය පැදවූයේ රෙජී විසිනි. ඔහුගේ බිරිය සහ කුඩා දියණිය ඉදිරිපස අසුනේ ය. අපි තිදෙනා පිටුපස අසුනේ අසුන් ගත්තෙමු. ආහාර පලතුරු වර්ග සහ වතුර අප සතුව තිබුණි. කිලෝ මීටර් 100 ක් එද්දී අප ගමන් ගත් මර්සිඩීස් බෙන්ස් 280 රථයේ පිටුපස රෝදයක හුළං ගියේ ය. අතිරේක රෝදය දමාගෙන යා ගත හැකි වූයේ කෙටි දුරකි. එම රෝදයේ ද හුළං ගියේ ය. මහා කාන්තරය මැදින් යන මහ පාරේ අපි අනාථයන් බවට පත්වුණෙමු.

ග‍ණදෙවි නුවණ මට පහළ විය. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධාරි මහතකු ගමන් ගත්තේ ද බෙන්ස් 280 රථයකිනි. දැන් අපට ඇති එකම විසඳුම ඒ රථයේ අමතර රෝදය ලබා ගැනීම පමණි. වෙනත් විකල්පයක් නොමැත.

අපේ රථය ප්‍රමාද නිසා තානාපති කාර්යාලයේ හිතවතුන් කොහේ හෝ නැවතී සිටින්නට පුළුවන් නිසා ඒ දෙසට යන යුද රථයකට තත්ත්වය පැහැදිලි කොට ඒ පැත්තෙන් එන රථයකට අතිරේක රෝදය දී අප වෙත එවන ලෙසට කළ ඉල්ලීම පැය කීපයකට පසුව ඉටු විය.

අපි සතුටින් පිටත් වූයෙමු. දැන් රථ දෙකෙහි ම අතිරේක රෝද නැත. යළිත් කරදරයක් නොවේවා යි යන ධනාත්මක සිතුවිලි වලින් සිත් පුරවාගෙන පසු දින එළිවෙන පාන්දර බැග්ඩෑඩ් නුවරට සේන්දු වූයෙමි. දැනුණ සතුට අපමණ ය.

කුවේටයේ සිට ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට එන සංක්‍රමණිකයන් ගුවන් මගින් ජෝර්දානයේ අම්මාන් ගුවන් තොටුපළට යා යුත්තේ ඉරාක් එයාර් වේස් ගුවන්යානා වලිනි. ඒ සඳහා අමෙරිකානු ඩොලර් අවශ්‍ය විය. එසේ නැතිනම් මහා මාර්ගයෙන් ගමන් ගත යුතු ය.

මම එවකට හෘදයාබාධයකින් පෙළෙමින් බෙහෙත් පෙති පාවිච්චි කරමින් සිටි රෝගියෙක්මි. මේ වන විට අප ශ්‍රී ලංකාවෙන් පිටත්ව ආ දිනයේ සිට ගතවූ දින ගණන 38 කි. බැග්ඩෑඩ් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගොස් මා ජාතික තලයේ කලාකරුවකු බව පවසා උපකාර ඉල්ලුවෙමි.

ඒ වන විට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මා හට කලාසූරී සම්මානය පිරිනමා තිබුණි. මට සිදුවී ඇති කරදරය ජනාධිපති තුමාට දුරකථනයෙන් දැන්වීමට ලැබුණා නම් අනිවාර්යයෙන් ම එතුමා උපකාර කරන බවට මට තිබුණේ දැඩි විශ්වාසයකි. තානාපතිවරයා කිසිදු උපකාරයක් කිරීමට උත්සාහ කළේ නැත. එහෙත් තානාපති කාර්යාලයේ ඔහුට වඩා මනුස්ස කම් ඇති සුළු නිලධාරින් හා සුළු සේවකයෝ සිටියහ.

ඔවුන්ගෙන් හා මගේ රසිකයින්ගෙන් ණය මුදල් ඉල්ලාගෙන අප අම්මාන් නුවරට ළඟා වූයෙමු. දින කිහිපයකට පසුව ශ්‍රී ලංකා භූමි තලය යළි ස්පර්ශ කිරීමට වාසනාව උදාවිය.

මගේ බිරිය හා දරුවන් මෙන් ම ඥාතිමිත්‍රාදීහු විවිධ ආගමික වතාවත් කරමින් අපට සෙත් පතා තිබුණි. ඒවායේ ප්‍රතිඵල අප ලද්දෙමු. බිරිය විසින් ‍ජෝර්දානයේ කොන්සාල් ජනරාල් වෙත අපට ගුවන් ගමන් බලපත්‍ර එවා තිබුණි.

මගේ බිරිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එවකට සිටි විදේශ අමාත්‍යවරයා වූ සතුටුදායක ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත. අම්මාන් හි නැවතී සිටින විට ශ්‍රී ලංකාවේ එවකට කම්කරු අමාත්‍ය දිවංගත එම්.ඩී. ප්‍රේමචන්ද්‍ර මැතිතුමා හමු විය.

එතුමා නිර්ව්‍යාජ දේශපාලනඥයෙකි. එතුමා කුවේට් නුවරට යාමට සිතා සිටියේ නැත. මම එතුමාට බල කළෙමි. තත්ත්වය නිසි ලෙස විස්තර ක‍ෙළමි. එපමණක් නොව විවිධ හේතූන් නිසා ශ්‍රී ලාංකිකයන් ලංකාවට නොඑන බවත් ඊට හේතුත් මම ඇමැතිතුමාට කීවෙමි. එතුමා මගේ බහට සවන් දුන්නා පමණක් නොව ඒවා ක්‍රියාත්මක කළේය. ප්‍රේමචන්ද්‍ර මැතිතුමා දේශපාලනයෙන් බොරු කළ කෙනෙක් නොවේ. කටුනායක ගුවන් තොටුපළේ නීති රීති ලිහිල් කළ නිසා අපේ මිනිස්සු වහා පැමිණියහ.

ජෝර්දානයේ සිට මවුබිමට පැමිණි මම සියලුම විස්තර “දිනමිණ” පුවත්පතට ප්‍රකාශ කළෙමි. මගේ පින්තූරය සමඟින්, මා කී සියලු දේ මුල් පිටුවේ ලොකු අකුරින් පළ කෙරිණි. ම’විසින් ප්‍රකාශිත දෑ ගැන විදේශ අමාත්‍යංශය දැක්වූයේ සතුටක් නොවේ.

කුවේට් දේශයේ දී අමිහිරි අත්දැකීම් ජීවිතයට ශක්තියක් වුණි. අත්දැකීම් යනු හොඳ ම ගුරුවරයා ය.

එල්ටීටීඊ හිතවාදී තරුණයන්ගෙන් ජීවිතය බේරා ගැනීමට ලැබුණ නිසා මගේ චිතාභ්‍යන්තරයේ ශ්‍රේෂ්ඨ සිතුවිල්ලක් පහළ විය. ඒ වනාහි මගේ දේශය වෙනුවෙන් මගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමයි.

කුඩා කළ සිට මම රටට, ජාතියට, ආගමට, ශාසනයට මෙන් ම පොදුවේ මිනිසුන්ට සහ පරිසරයට ඇලුම් කරමින් ගෞරවය කළ අයෙක්මි. ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩභාවය හා සාමය රැක ගැනීමට වෙර දැරූ ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට සහාය දැක්වීමට තදබල වුවමනාවක් මා තුළ ඇති වුණේ ය.

මාගේ කල්‍යාණ මිත්‍රයෙක් වන ව්‍යාපාරික කරූ හීනටිගල මහතා විසින් සිංහල වීර විදහන සංවිධානයේ නිර්මාතෘ බී.ඒ. මහීපාල නැමැති සත් පුරුෂයා සහ ‘වීර විදහන’ විද්වත් මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ට හඳුන්වා දුන්නේ ය. මම ජාතිවාදියෙක් නොවෙමි. ජාති හිතෛෂීයෙක් වෙමි. අද වීරවිදහන හා ඊට අනුබද්ධිත ලංකා එක්සත් වෙළෙඳ සංගමය සමඟ රට වෙනුවෙන් කැප වෙමින් මොන යම් හෝ මිනිසාට ඵලදායි සේවයක නිරතවීම මාගේ ඒකායන අරමුණයි.

කුවේට් යුද්ධයෙන් සිදුවූ පාඩු වෙනුවෙන් වන්දි ලැබුණේය. බැග්ඩෑඩ් නුවරදී විශ්මිත කලාගාරයක් නැරඹීමට ලැබුණි. අමිහිරි සියලුම දේ අමතක කිරීමට ඒ නිර්මාණ සමත් ය.

ලබන සතියට 

Comments