වේදි­කා­වෙන් බිහි­වන රංගන ශිල්පි­යෙක් වට්ටන්න හරිම අමා­රුයි | Page 4 | සිළුමිණ

වේදි­කා­වෙන් බිහි­වන රංගන ශිල්පි­යෙක් වට්ටන්න හරිම අමා­රුයි

නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියකු වන ජනිත් වික්‍රමගේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මවුපිය උරුමයෙනි. වේදිකාව, සිනමාව සහ රූපවාහිනිය යන කලා මාධ්‍යයන් තුනෙහිම එක සේ සිය නම රඳවාගෙන සිටින දක්ෂ, ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පී යුවළක් වන ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරුගේ වැඩිමල් පුත්‍රයා වන ජනිත් රංගනයට අත්පොත් තබන්නේ 2005 වසරේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘මැණික් මාලිගා‘ ප්‍රාසාංගික ටෙලි නාට්‍යයේ රඟපෑමෙනි. එසේම එම වසරේදීම උදයකාන්ත වර්ණසූරියගේ ‘හිරිපොද වැස්ස‘ චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට පිවිසි ජනිත්, ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘සඳ දියවර‘ ටෙලිනාට්‍යයේ කළ රංගනයට පසු ටික කාලයක් නිහඬව සිටියා. ඔහු මේ දිනවල සුදත්ත තිලකසිරි ගේ ‘දෙබිඩි බ්‍රෝ‘ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයකට පණ පොවයි.

ජනිත් මෙලෙස කතාබහට එක්වන්නේ දෙබිඩි බ්‍රෝ හි නිරූපණය කරන අපූරු චරිතය ගැන කියන්නටය.

කොහොමද ජනිත්

හොඳයි. මේ දවස්වල සුදත්ත අයියගේ ‘දෙබිඩි බ්‍රෝ‘ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිත දෙකෙන් එකක් කරනවා. මෙහි අනෙක් චරිතය කරන්නේ සුදත්ත අයියා. අපි‍ දෙන්නා මෙහි ශරීරවලින් එකට බද්ධවුණු නිවුන් සහෝදරයන් දෙදෙනකුගේ චරිත නිරූපණය කරනවා.

දෙබිඩි බ්‍රෝ මොන වගේ නාට්‍යයක්ද?

මෙය ශරීරයෙන් එකට බද්ධ වුණු සහෝදරයන් දෙදෙනකුගේ කතාවක්.මෙහි සුදත්ත ‘හබී‘ මම ‘බබී‘. සරලව කියනවා නම් අපේ සමාජයේ සිදුවන දේවල් මෙම දෙබිඩි චරිත හරහා කතාබහට ලක්වීම තමයි මෙයින් පිළිබිඹු වන්නේ. එකට බද්ධ වුණත්, එක කුසෙන් උපන් සහෝදරයන් වුණත්, සහෝදර ප්‍රේමය තිබුණත් එක එක්කෙනා සමඟ සම්බන්ධකම් වලට ඇතිවන අපහසුව ගැන මෙයින් කියැවෙනවා. මෙය සමාජයේ අසරණකම ගැන කියැවෙන ලොකු කතාවක්.

එකට බද්ධ වෙලා රඟපාන්න අමාරු නැද්ද?

ඇත්තටම මෙය හරිම අමාරු වැඩක්. අපි දෙන්නගේ අත් දෙක එකට තියලා බැඳලා තියෙන්නේ.දර්ශන වාරය පැයකුත් විනාඩි 30ක් විතර තියෙනවා. අනෙක් චරිතයේ ඉන්න කෙනා මොනවා කරයිද කියන එක පිළිබඳව හොඳ සෙන්ස් එකක් තියෙන්න ඕන. එක මූව්මන්ට් එකක් වැරදුණොත් අතට අනතුරක් වෙන්න පවා පුළුවන්.

මේ අපහසුතා මඟහරවාගෙන රගපාන්නේ කොහොමද?

මෙතැනදී පුහුණුව හරිම වැදගත්. ඉතින් අපි හොඳ පුහුණුවක් ගත්තා. පිටපතට අනුව වේදිකාවේ ස්ථාන ගත විම් නෝට් කරගෙන තමයි අපි දෙන්නා රංගනයේ යෙදෙන්නේ. මෙහි එකිනෙකා තේරුම් ගැනීම තමයි වැදගත්. සුදත් අයියා අඩිය තියන්නේ කොයි පැත්තටද, ඊළඟට කරන්න යන්නේ මොකක්ද කියලා මගේ ඔළුවට තේරුම් යන්න ඕන. ඇස් හඳුනා ගැනීම එක්ක තමයි ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ චරිතය රඟපෑම හිතන තරම් ලේසි නැහැ.

ඔබේ නිවුන් සහෝදරයා ලෙස රඟන සුදත්තගේ රඟපෑම කොහොමද?

ඔහු හොඳ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. මට වඩා වයසින් වැඩියි. මගේ ඇගේ තරුණ ජවය එක්ක හැප්පෙමින් ඉතා හොඳින් මේ චරිතය නිරූපණය කරනවා.අපි මේ සඳහා හරිම අපූරු හොඳ පුහුණුවක් ලබා ගත්තා.

මේ ඔබේ දෙවැනි වේදිකා නාට්‍යය. ටෙලි නාට්‍ය වලින් පැමිණි ඔබ වේදිකාවට එන්නේ ප්‍රමාද වෙලා...?

ඔබ හරි. මේ මගේ දෙවැනි වේදිකා නාට්‍යය.මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ ටෙලිනාට්‍යය සහ සිනමාව හරහා. රංගන ශිල්පියෙක් ලෙස මම දන්නවා වේදිකා නාට්‍යයක රඟපාන්න නම් පුහුණුව සහ කැපවීම අවශ්‍ය බව. ටෙලිනාට්‍යවල රංගනයත් එක්ක දිගින් දිගටම කාර්ය බහුල වෙනවා. මේ නිසා වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒත් මම දන්නවා වේදිකාවෙන් බිහිවන රංගන ශිල්පියෙක් වට්ටන්න හරිම අමාරුයි. මොකද වේදිකා නාට්‍යයක රඟපෑමේදී ලැබෙන පුහුණුව, කටහඬ පාලනය මේ හැම දෙයක්ම අනෙක් සෑම රංගන කාර්යයකදීම හරිම වැදගත්.ඒ නිසා වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න කුඩා කාලයේ ඉඳලම මගේ ආසාවක් තිබුණා. ඒ අනුව තමයි මම ‘මිනිස්ටාර්‘ වේදිකා නාට්‍යය නිෂ්පාදනය කරලා එහි රඟපාන්න තීරණය කළේ . මෙය අධ්‍යක්ෂණය කළේ මගේ පියා ආනන්ද වික්‍රමගේ.ඔහු එහි සාම්ප්‍රදායික පැරැණී දේශපාලඥයකු ලෙසත් මම වත්මන් තරුණ දේශපාලනඥයකු ලෙසත් රංගනයේ යෙදෙනවා.

එහෙත් මිනිස්ටාර් වේදිකා නාට්‍යය අතරමග නවතිනවා...

මගේ පියා කාලයක් අසනීප වෙලා සිටි නිසා මේ සියලු කටයුතු නැවතුණා. දැන් ඔහු ආයෙත් වේදිකාවට එන්න තීරණය කරලා තිබෙනවා. ඒ අනුව ලබන මාසයේ (සැප්තැම්බර්) 30 වැනිදා යළිත් මිනිස්ටාර් සමඟ අපි වේදිකාවේදී දැක ගන්න පුළුවන්.

අපි යළිත් දෙබිඩි බ්‍රෝ නාට්‍යය ගැන කතා කරමු...

දෙබිඩි බ්‍රෝ නාට්‍යය අද (27) රඹුක්කනදී වේදිකා ගත වෙනවා.ඒ සමඟ රටවටා දර්ශන වාර කීපයකින් පස්සේ අපි දෙබිඩි බ්‍රෝ ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සංචාරයක් සඳහා පිටත්වෙනවා. එහිදි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, පර්ත්, බ්‍රිස්බේන්, සිඩ්නි සහ කැන්බරා යන නගරවල වේදිකාගත කරලා නවසීලන්තයේ ඕක්ලන්ඩ් සහ වෙලින්ටන් යන නගරවල වේදිකා ගත කෙරෙනවා.

ඔබේ ඉදිරි රංගන කටයුතු ගැන කිව්වොත්

මෙම නාට්‍යයේ විදෙස් සංචාරය නිසා මම කිසිම රංගන කටයුත්තක් බාර ගත්තේ නෑ.එහෙත් සුදත්ත තිලක්සිරි ගේ මායාවි සහ මගේ කවිය යන නිර්මාණ දෙක විකාශය වන්න තියෙනවා. ඒ ටෙලි නාට්‍ය දෙකෙන් මගේ රසිකයන්ට මගේ රංගනයන් දැකගන්න ලැබේවි. 

 

Comments