ලෙඩක් නැති ලෙඩෙක් සමඟ නමක් ඇති මිනි­සෙක් ලෙස ඉපිද කැලණි පාල­මෙන් බැස­ගිය ආර්. ආර්. | Page 3 | සිළුමිණ

ලෙඩක් නැති ලෙඩෙක් සමඟ නමක් ඇති මිනි­සෙක් ලෙස ඉපිද කැලණි පාල­මෙන් බැස­ගිය ආර්. ආර්.

ආර්. ආර්. සමරකෝන් නම් වූ අසහාය කලාකරුවා, නිර්මාණ ශිල්පියා අපෙන් සමුගෙන පසුගිය පළමු වැනිදාට වසර හතකි.

ඔහු පිළිබඳව, ඔහුගේ නිර්මාණ පිළිබඳව වඩාත්ම හොඳින් දන්නා සමරකෝනුවන්ගේ ප්‍රිය බිරිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී, ප්‍රවීණ රංගන ශිල්පිනී රම්‍යා වනිගසේකර සිය සැමියා පිළිබඳව රසඳුනට ලිපියක් එවා තිබුණා.

ආර්. ආර්. සමරකෝන් නම් වූ ඒ අග්‍රගණ්‍ය කලාකරුවාණන් අපෙන් සමුගෙන සත් වසරක් ගෙවී ගිය ද මේ මොහොතේත් ඔහුගේ උණුහුම අප අතර දැවටෙන සෙයකි. ඔහුගේ හඬ සවන් වැකෙයි. සිය කෘතීන් තවමත් ජීවමානයි. සර්ව කාලීනයි. 1939 අගෝස්තු 14 වැනි දින නාවලපිටිය ‘දෙකිඳ’ නම් වූ හද්දා පිටිසර ගමක පවුලේ වැඩිමහල් පුත්‍ර රත්නය ලෙසින් ජන්මය ලද සමරකෝන් රටක් පුබුදුවාලු ලෝක ධර්මී නාට්‍ය කලාවේ ඉහළම ස්ථානයේ නමක් සනිටුහන් කිරීමට තරම් ප්‍රබල කලාකරුවකු වේයැයි කිසිවෙකුත් එදා සිතුවාදැයි නොදනිමි. එනමුදු එය එසේ වීය. වරෙක ඔහු නවකතාකරුවෙකි. වරෙක ගීත රචකයෙකි. වරෙක වේදිකා නාට්‍ය පිටපත් රචකයෙකි. අධ්‍යක්ෂවරයෙකි. රැකියාවෙන් පරිවර්තකයෙකි. ආයතන කළමනාකරුවෙකි. රසවතෙකි. මිනිස්කම උතුරා ගිය සහෘද කලාකරුවෙකි. සරල මිනිසෙකි.

පාසල් වියේදීම කලාවට ලොබ කළ සමරකෝනුවන්ට මුල්ම අඩිතාලම වැටුණේ පාසල් වේදිකාවේ රජ කතාවක ‘විදුර’ නාටකයේ ගැහැනු චරිතයකට පණ පෙවීමෙනි. ඉන් පන්නරය ලද ඔහුට අවැසි වූයේ තමන් විසින්ම යමක් ලියා වේදිකාව මතට ගෙන ඒමයි. ඉන් පසුබට නොවුණු මේ පුංචි කලාකරුවා, පිටපත් රචකයා අරගලය තමාගේ කරගනිමින් පිළිතුරු සෙවීමට කෙතරම් වෙහෙසුණ ද අවසන ලියා හමාර කළේ රහස් පරීක්ෂක කතාවකි. එය රසවිඳි පාසලේ සාහිත්‍ය ගුරු පියා මේ පුංචි රචකයා කිංස්වුඩ් විදුහලට ආලෝකයක් බව හැඳිනගන්නට පසුබට නොවීය. හෙතෙම වහා විදුහල්පතිතුමා වෙත කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව එය පාසල් මඟින් මුද්‍රණය කර සමරකෝන් සිසුවා පොත් කතුවරයකු බවට පත් කළේය. ඒ ඔහුගේ මුල්ම නවකතාවයි. එය ‘වෙස් මුහුණු’ නම් විය.

ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා කිංස්වුඩ් විදුහලට ඇතුළත් වුණු ආර්. ආර්. සමරකෝන්, පාසල් මිතුරන්ගේ සිංහල සාහිත්‍ය කෙරෙහි තිබූ අල්ප වූ සැලකිල්ල කණපිට හරවන්නට තරම් සූරයෙක් විය. පාසලේ බිත්ති සඟරාවක් ඇරැඹු ඔහු සිංහලෙන් කිසියම් ගද්‍යයකින්, පද්‍යයකින් නිසඳැසකින් හෝ ලිපියකින් හෝ එය සරසන්නට සිසුන් උනන්දු කරවීය. පුස්තකාලය, මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, කේ. ජයතිලක, ජී. බී. සේනානායක, මහගමසේකර වැනි වියතුන්ගේ පොතපතින් බැබළෙන්නට විය. සහෝදර සිසුනට සිංහල සාහිත්‍ය කෙරේ අමුතු ප්‍රබෝධයක් ලැබිණ. ඉන් නොනැවතුණ මේ තරුණ සිසුවා සිය අධ්‍යාපන කටයුතු මැනවින් හමාරකොට එම පාසලේම ගුරුවරයකු ලෙසින් කෙටි කලක් සේවය කිරීම ද ඔහුගේ සූරකම විදහාපාන්නකි.

ඔහු තරුණයෙක් ලෙසින් කොළඹට ආගමනය සිදුවන්නේ 1962 වසරේදී සතොස ආයතනයේ ලිපිකරුවෙක් ලෙසින් රාජකාරි භාර ගනිමිනි. කාර්යාල වේලාවෙන් පසු සවස් කාලය මිතුරු මිතුරියන් සමඟ ඔහුගේ නාට්‍ය පිටපත දලුලා වැඩෙන්නට විය. එයට දැන් ජීවය ලැබී ඇත. පුහුණුවීම් කටයුතු ඉතා සංයමයෙන් කළ ආර්. ආර්. සමරකෝන් වේදිකාවට අලුතින් රංගන ශිල්පීන් හඳුන්වා දීමට සමත් විය. අනුලා මෙන්ඩිස් (බුල්තසිංහල), හේමදාස වික්‍රමආරච්චි, රාජේන්ද්‍ර තලේසිංහ, රත්නසිරි ලියනගොඩ, රංජිත් යායන්ත, සතොස කලා කවයෙන් වේදිකාවට පා තැබු ශිල්පීහු වෙති. සමරකෝන් නම් වූ මේ පුංචි අධ්‍යක්ෂවරයාට එදා අතහිත දුන් ප්‍රවීණයන් වශයෙන් චන්ද්‍රා කලුආරච්චි, සිරිල් වික්‍රමගේ, ප්‍රේමා ගනේගොඩ වැන්නවුන් සිහිපත් කරන්නේ කෘතවේදීත්වයෙන්, දසා, විමලා බමුනුසිංහආරච්චි වැන්නවුන් ඔහු ළඟින්ම සිටියහ. ‘ලෙඩක් නැති ලෙඩෙක්’ නමක් ඇති මිනිහෙක් බිහි කිරීමට සමත් විය. ඒ ආර්. ආර්. සලකුණයි.

ලිවීමේ සූරයෙකු වූ, සමරකෝන් 1971 ලියා පළ කළ ‘ගේ කුරුල්ලො’ නවකතාව එම වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගැනීමට සමත් විය. හැමදාමත් ඔහුට ලිවීමට පාදක වුණේ සාමාන්‍ය මිනිසුනගේ ජීවිතයේ ඇතුළු පැත්තයි. යථාර්ථයයි. ඒ කටුක හෝ මිහිරි සත්‍යය නිර්මාණාත්මකව ඔහුගේ මනසේ ලියලන්නේ පාඨක ඔබට සිතන්නට යමක් එකතු කරමිනි. ‘දෙහදක් අතර, ගැහැනියකගේ චරිතයක්, එක් සත්‍ය කතාවක්, එක කුසේ උපන් එවුන්, තලමල, අකලංක, අසම්මත ආදරයක්, චන්ද්‍ර තාපය, හෙට කළුවර දවසක්, ලොකු අක්කා වැනි පොත් රාශියකි. ‘රාත්‍රිය අවදි නොවේ’ ඔහුගේ කුලුඳුල් කවි පොතයි.

1971 වසර තුළදීම රස්සාවක් නැතිව ජීවිතය සමඟ පොරබදන මිනිසකුගේ ජීවිතයේ ඇතුළු පැත්ත කතා කෙරෙන සමාජ විවරණයක් ගෙන ආ ‘අහසින් වැටුණ මිනිස්සු’ වේදිකා නාට්‍ය ද රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය ලෙස සම්මාන රාශියක් ලබා ගැනීම ඔහුගේ කලා ජීවිතයට ආලෝකයක්ම විය. ආර්. ආර්. ගේ බස රළු වුවද අරුත්බරය. “උපන්දා ඉඳල අපි එක එකාගෙ පයට පෑගි පෑගී ජීවත් වුණේ. හරියට අත පල්ලෙන් වැටිච්ච එවුන් වගෙ. මීට පස්සෙ එකෙකුටවත් ඔළුව පාත් කරන්නෙ නෑ මම. මිනී මරන්න එපා. එල්ලුම් ගස් යවනව. ගෙවල් බිඳින්න එපා මාස 6කට හිරේ යවනව. මංකොල්ල කන්න එපා. හොරකං කරන්න එපා දඬුවං කරනව. ඒවට නීති හදල තියනව බොහොම ලස්සනට. ඒ වුණාට අම්මයි මායි නංගියි වාගෙ රස්සාවක් නැති මිනිස්සුන්ට මෙන්න මේ විදිහට ජීවත් වෙයල්ල කියල නීතියක් හදල තියනව ද? ඒව බලාගන්න ඕන අපි. කොච්චර දුක් වින්දත් මිනිහෙකුට මැරෙන්න ඉඩ දෙන්නෙත් නෑ. නොමැරි බේරුණොත් ඒත් හිරේට අරිනව. අහසින් වැටුණු මිනිස්සු කතා කළේ එහෙමයි.

දරිද්‍රතාවයෙන් පෑගී මිරිකී විවිධ උපද්‍රවවලට ගොදුරු වන අහිංසක ජනතාව නියෝජනය කරමින් ලියැවුණු කැලණි පාලම 1978 වසරේදී සමරකෝන් නාමය උච්ඡස්ථානයක තැබු බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. පාලක පන්තිය විසින් ඇස් පනාපිට සූරා කෑමට ලක්වන පීඩිත පංතිය සමඟ එක්වන ආර්. ආර්. අභීතව සිය අදහස් ප්‍රේක්ෂකාගාරයට ඉදිරිපත් කරන්නේ ඔවුන් කුල්මත් කරමින්.

මොකා රජ වුණත් කෙරුවාව ඕකයි, දේශපාලනේ කියන්නෙ උසාවියකින් දඬුවම් කරන්න බැරි කෛරාටික සූදුවක්. හැම එකාටම කොළේ කොළේ බෙදාගෙන යනව තුරුම්බු ටික උන් ඉතුරු කරගෙන. අපි කතිරෙ ගැහුවත් එකයි උන්ට නැතත් එකයි.

ඉඩම - ඉතාමත් ජනප්‍රියත්වයට පත් තවත් ඔහුගේ වේදිකා නාට්‍යයකි. ‘දූවිලි’ දෙබිඩි ජීවිතයක් ගතකළ දූෂිත සමාජ විෂබීජයක් වූ චරිතයක් ගැන නිර්භීතව විවෘතව කතා කළ කෘතියකි.”යුගයෙන් යුගයට පැන නඟින විවිධාකාර වූ සමාජ ප්‍රශ්න ඔහුගේ දයාර්ද ඇසට හසු වුණේ ඉතා දැඩි ලෙසිනි. ඒ සියලු නිර්මාණ සර්ව කාලීන විය. වසර 39ක් වූ ‘කැලණි පාලම’ නොකඩවා අදටත් වේදිකාව ආලෝකවත් කරයි. බාහිර ආටෝපවලින් තොර සමරකෝනුවන්ගේ නිර්මාණ ඔහුටම ආවේණික වූ බස් වහරකින් පරිපූර්ණ වෙයි. අරුත්බර වෙයි. හදවතට කිඳා බසියි.

ආර්. ආර්. සමරකෝන් නම් වූ ඒ දැවැන්ත මානව හිතවාදියා 2010 අගෝස්තු 01 දින අප අතරින් සදහටම වෙන්ව ගිය ද ඔහුගේ නිර්මාණ අදත් ප්‍රේක්ෂකාගාරය ගිගුම් දෙවමින් වේදිකාගත කරවීම ඔහුට කළ හැකි ඉහළම ගෞරවය ලෙසින් මම අදහමි. දෙබිඩි දේශපාලනයෙන් හෙම්බත්ව සිටින අද දවස සමරකෝනුවන් වැනි කලාකරුවන් ජීවත්විය යුතුම යුගයයි. එසේ වීනම් ඔහුගේ තෙලිතුඩ කෙතරම් සුමටව පෙළ හරඹයක යෙදේ ද යන්න සිහිපත් කිරීම පාඨක ඔබට භාර කරමි.

Comments