මම එහෙම කට කතා හදා ගන්න කෙනෙක් නෙමෙයි | Page 3 | සිළුමිණ

මම එහෙම කට කතා හදා ගන්න කෙනෙක් නෙමෙයි

මීට වසර ගණනාවකට පෙර ළමා නිවේදිකාවක් ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය දැන් හැඩකාර සුන්දර තරුණියක්.හැමෝම ඇයට ආදරේට කියන්නේ ‘රාශි’ කියලා. ඇය දිහා බලන කෙනකුට දෙපාරක් තුන්පාරක් වුණත් හැරිලා බලන්න තරම් ලස්සනක් ඇයට තියෙනවා. අද රසඳුන තුන්වැනි පිටුව වෙන්වන්නේ මේ රුවැත්තිය ගේ තොරතුරු කියන්නටයි. ඇය නව පරපුරේ රංගන ශිල්පිනී රශිප්‍රභා සංදීපනී.

රාශිප්‍රභා වැඩිය දකින්න නැත්තේ ඇයි?

ටික කාලෙකට විදෙස්ගත වුණා. ටිකක් නිහඬ වෙලා හිටියේ. ඉතාමත් ඉක්මනට ආයේ වැඩ පටන් ගන්නවා.

එක පාරටම විදෙස්ගත වෙන්න හිතුවේ ?

වේදිකා නාට්‍ය නිසයි විදෙස්ගත වෙන්න වුණේ. සිංහබාහු නාට්‍යයේ දර්ශන 3 ක් තිබුණා. මෙල්බර්න්, කැන්බරා සහ සිඩ්නිවල. ඉතින් ඒ සඳහා ඕස්ට්‍රේලියාවට යන්න වුණා.

වේදිකාවත් එක්කම රැඳිලා ඉන්නේ ටෙලි නාට්‍ය වලින් ඈත් වෙලාවත්ද?

නැහැ .එහෙම දෙයක් නැහැ. මේ දිනවල ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා.. හැමදාම ඉරිදා රෑ 7.30 ට ITN නාළිකාවේ විකාශය වන මෙහි නම 'මහිපුජා’ . කරපු ටෙලි නාට්‍ය ගොඩක් තියෙනවා. ඒවා ඉදිරියේදී ඉක්මනටම විකාශය වෙයි.

එදා ළමා නිවේදිකාවක් වුණු රශිප්‍රභා අද රංගන ශිල්පිනියක්. මතක් කළොත්?

ඔව්. ඒ 2007 අවුරුද්දේ. මට ITN එකේ ළමා නිවේදිකාවක් විදියට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ දිනවල ස්වාධින රුපවාහිනීයේ ළමා වැඩසටහන් ගණනාවකටම සම්බන්ධ වුණා. ඒ අතරින් ළමා පුවත්, දේදුණු හැන්දෑව, සමනල උයන කියන වැඩ සටහන් නොබලපු කෙනෙක් නැහැ. ඒ තරමටම ඒ කාලයේ ජනප්‍රියයි. අද ඒ වගේ ළමා වැඩසටහන් නැහැනේ.ඇත්තම කිව්වොත් ඒ කාලේ ළමා වැඩසටහන්වල ඉන්න නිවේදක නිවේදිකාවනුත් හරි ජනප්‍රියයි. අදටත් ගොඩක් අය හඳුනනවා ටී වී එකේ හිටියා කියලා. ඒක තමා මුලින්ම කැමරාවට මුහුණ දීපු අත්දැකීම.

‘සිංහ සීවලී’ කියන චරිතය හරහායි ඔබට වේදිකාවේ දොරටු විවර වෙනවා?

ඔව්. මම ටෙලි නාට්‍යවලට එන්න කලිනුයි වේදිකාවට සම්බන්ධ වුණේ. ඒ මහාචාර්ය එදිරවීර සරත්චන්ද්‍රයන්ගේ 'සිංහබාහු' නාට්‍ය හරහා.

මෙවැනි අග්‍රගණ්‍යයේ වේදිකා නාට්‍යයකින් රංගන වරම් හිමිවීම ගැන කිව්වොත්?

ඇත්තටම ඒක වාසනාවක්. පුංචි කාලේ ඉඳන් මම වේදිකා නාට්‍ය එක්කම තමා හිටියේ. මට සමස්ථ ලංකා හොඳම නිළිය වෙන්න ලැබුණා. කවදාවත් හිතුවේ නැහැ කලාවෙන් ඉදිරියට යයි කියලා. මගේ බලාපොරොත්තුව තිබුණේ අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න. ලංකාවේ තියෙන අග්‍රගණයේ වේදිකා නාට්‍යයක සම්බන්ධ වෙන්න ලැබීම මගේ ජිවිතයේ ලොකු සංධිස්ථානයක්. ඒ සඳහා දක්ෂතාවයි වාසනාවයි දෙකම තියෙන්න ඕන. ක්ෂේත්‍රයේ අය පවා බෙහෙවින් අගය කරනවා. තව දෙයක් සිංහබාහු විතරක් නෙමෙයි, රත්නාවලී වේදිකා නාට්‍යයේ රත්නාවලී බිසව ලෙසත්, හස්ති කාන්ත මන්ත්‍රය නාට්‍ය යේ වාසල දත්තා දේවිය ලෙසත් රංගනයේ නිරත වෙනවා. ඒ වගේ වේදිකා නාට්‍ය වල ප්‍රධාන චරිත බොහොමයකට පුංචි වයසේදීම කරන්න ලැබුණු එක ගැන මගේ ජිවිතයේ ලැබුණු වාසනාවක් විදියට තමා සලකන්නේ.

තාරුණ්‍යයේ සිටින රංගන ශිල්පිනියක් විදියට, ඔබ වැඩි කතා බහට ලක් නොවෙන චරිතයක් නේද?

ඔව්. මම කොහොමත් මගේ පාඩුවේ ඉන්න චරිතයක්. විශේෂයෙන් ගොසිප් මාධ්‍යවල මොකක් හරි කතාවක් තිබුණොත් නේ ඉතින් කතා බහට ලක් වෙන්නේ. මම එහෙම කට කතා හදා ගන්න කෙනෙක් නෙමෙයි . මං ගැන කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ මගේ රංගනය ගැන මිසක් මගේ පෞද්ගලික ජීවිතය ගැන නෙමෙයි. ඒ ගැන නම් ඇත්තටම සතුටුයි.

කටකතා හැදෙන සමහර චරිත ඔබ දකින විදියට සමාජයේ මොනවගේ තැනකද ඉන්නේ?

සමහර අය කැමැතියිනේ කටකතා හදාගෙන ජනප්‍රිය වෙන්න. කටකතා හැදිලා කියලා ප්‍රසිද්ධ මාධ්‍යයේ කියන අයත් ඉන්නවනේ. මම නම් ඒකට කැමැති .නැහැ. ඉතින් මම නම් හිතන්නේ කවුරු කොහොම කිව්වත් ජනතාව තමා තීරණය කරන්නේ මේ කෙනා කොහොමද කියන එක. ඒක ඉතින් තම තමන්ට අදාලයි.

බොහෝ අය එල්ල කරන චෝදනාවක් තියෙනවා. ඒ කලාවට එන සමහර තරුණියන් ගේ මුලික පරමාර්ථය වෙන්නේ මුදල් සහ ජනප්‍රියත්වය කියන දේ. මේ කතාවට ඔබ එකඟ වෙනවද?

මම මේක හැමදාම කියන දෙයක්. ජනප්‍රියත්වය හඹා ගෙන ගියොත් ඒක වෙනම ගමනක්. ජනප්‍රියත්වය පස්සේ හඹා ගෙන යන්න ඕන නම් කෙටි පාරවල් ඔස්සේ යන්න පුළුවන්. නමුත් මම ක්ෂේත්‍රයේ රැඳෙන්නේ ජනප්‍රිය වෙන්න ආසාවට නෙමෙයි. හැම නිර්මාණයකටම මට ආරාධනා කරලා ලැබුණේ. ඒ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් මාව නිර්දේශ කළ නිසා සහ මගේ හැකියාව මත. මම තැනකට ගෙනාවේ මගේ හැකියාව. අද ගොඩක් අය රංගනය පිළිබද කිසිම හැදෑරීමක් නැහැ, අවබෝධයක් නැහැ, කලාවට ගෞරවයක් නැහැ. ඉතින් ඒ අයගේ පරමාර්ථය වෙන දෙයක්.මම හිතන්නේ ජිවිතේ පාරවල් 2ක් තියෙනවා අපිට තෝර ගන්න. එකක් කෙටි. අනික දිගුකාලිනයි. කෙටි පාර හරිම ලේසි. නමුත් අවසානය මම හිතන්නේ නැහැ සාර්ථකයි කියලා. හැබැයි අමාරු, දුෂ්කර පාර තෝර ගත්තොත් ඒ දේ ස්ථිරයි ඒක තමා මගේ දැක්ම.

ඔබ ඔය කියන විදියට ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් යන්න නම් රංගන ශිල්පිනියකට අනිවාර්යෙන්ම තියෙන්න ඕන දේ ඇහුවොත් ?

මම නම් කියන්නේ හැදියාව. හැදියාව කියන ඒක ලෝකේ කොහේ ගියත් බලපාන දෙයක්.කෙනෙක් හැසිරෙන විදියෙන්, කතාකරන විදියෙන් අපිව තීරණය කරනවා. ඒක තමා ඇත්ත කතාව. ගැහැනු ළමයෙක් විදියට තමන්ගේ ගෞරවය කියන්නේ අංක 1. තමන්ගේ ආත්ම ගරුත්වය මනින පළමුවැනි දේ. එහෙම කෙනාට ක්ෂේත්‍රයේ ගෞරවය පවා රකින්න පුළුවන්.

ඔය කියන දේවල් අද ඉන්න අයට තියෙනවද කියන ඒක ප්‍රශ්නයක් නේද?

සමහර අය ඉන්නවා එක ටෙලි නාට්‍යයක් කරපු ගමන් මම තමා නළුවා හෝ නිළිය කියලා හිතන. එහෙම අය මුණගැහිලත් තියෙනවා. ඒක ඉතින් ඒක එක්කෙනාගේ හැටි. ඒක අපිට වෙනස් කරන්න බැහැ. මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ. තව කෙනෙක් ගේ වැරැදි දකින්න කලින් මම දකින්නේ මගේ වැරැදි.ඒක තමා වෙන්න ඕන කියලා මම හිතනවා. 

 

Comments