බොලිවුඩයේ සුවසෙත නැංවූ ටොයිලට් | සිළුමිණ

බොලිවුඩයේ සුවසෙත නැංවූ ටොයිලට්

ටියුබ්ලයිට්, ජග්ගා ජසූස්, ජබ්හැරීමෙට් සේජල්, රාබ්ත බොලිවුඩයේ සුපිරිතරු රඟපෑ සිනමාපට එකින් එක කඩා වැටෙද්දී අගෝස්තු 11 වැනිදා තිරගත වුණු ‘ටොයිලට් : ඒක් ප්‍රේම් කතා’ නියඟයට පෑයූ වැස්සක් මෙන් බොලිවුඩ් පුරයට සරුසාර අස්වැන්නක් ලබාදී ඇත.

සිනමාපටය රචනා වූයේ 2012 වසරේදී රටේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරිනි. දහනව හැවිරිදි ප්‍රියංකා බාර්ති සිය සැමියාව හැර ගියේ ඔහුගේ නිවෙසේ වැසිකිළියක් නොතිබුණු බැවිනි. මධ්‍ය ප්‍රදේශයේ අනිතා බායි නරේ සැමියාගේ නිවෙසින් ගියේ ද වැසිකිළියක් නොමැතිකම් නිසාය. සිනමා පටය ඔවුන්ගේ කතාව පාදකකරගෙන නිර්මාණය වී ඇති බව සඳහන් කර තිබේ.

සිද්ධාර්ත් සිං, ගරීමා වහාල් සිනමා පටයේ තිර රචකයන්ය. ඔවුහු 2013 සුපිරි බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ‘ගෝලියොනකි රාස්ලීලා රාම් ලීලා’ සිනමා පටයේ ද රචකයෝ වෙති.

සිනමාපටය ඇරඹෙන්නේ ගමේ කාන්තාවන් පිරිසක් පඳුරුවලට මුවාවී ශරීරකෘත්‍ය කරන ජවනිකාවකිනි. කේශව් ෂර්මා (අක්ෂේ කුමාර්) එම ගමේ තරුණයෙකි. ඔහුට කළු මීහරක් ධේනුවක කරකාර බැඳීමට සිදුවන්නේ පියා (පණ්ඩිත්ජී) එමඟින් මංගලික් විවාහදෝෂය ඇති පුතුට වාසනාව පෑදේවියි විශ්වාස කළ නිසයි.

කේශව්ට, ජයා ජෝෂි (භූමි පෙඩ්නෙකර්) නම් තරුණිය හමුවූ අතර ඇය පිළිබඳ සිතක් ඇති විය. මතුරාවට ආසන්න දෙදෙනා පදිංචි ගම්මාන දෙකේම නිවාස සියයට අසූළුකකට පමණ වැසිකිළි පහසුකම් නොතිබිණි.

දෙදෙනාගේ විවාහයේ බිඳ වැටීම ඇරඹුණේ මංගල දිනයේමය. නිවෙසේ වැසිකිළියක් නැති බව දැනගත් ජයා නිවෙස හැර දමා මා පියන් වෙත යන්නීය. බිඳ වැටුණු සිතින්, සුන්වූ බලාපොරොත්තුවලින් අධෛර්යයට පත්වී සිටි කේශව් යළි ඇයගේ සෙනෙහස දිනා ගැනීමට සටන් කළේ වැසිකිළි නැති පෞරාණික සිරිතට අභියෝගයක් වෙමිනි.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ පූර්ණ ආශිර්වාදය ද සිනමා පටවලට ලැබිණි. ඔහුගේ ‘ස්වාව් භාරත්’ වැඩපිළිවෙළට අක්ෂේගේ ‘ටොයිලට් : ඒක් ප්‍රේම් කතා’ පරමාදර්ශයක් හා අත්වැලක් වී තිබේ. සිනමා ප‍යේ ට්‍රේලරය ජුනි 11 වැනිදා නිකුත් කෙරුණු අතර එය පළමු දිනයේදී නැරඹූ සංඛ්‍යාව මිලියන නවය ඉක්මවීය. අගමැතිවරයා ට්‍රේලරය නරඹා ‘සනීපාරක්ෂාවේ යහ පණිවුඩය නොදීමේ හොඳ උත්සාහයට ඉන්දියානුවන් කෝටි 125ක් දිගට ම ‘ස්වාව් භාරත්’ (ඉන්දියාව පවිත්‍ර කිරීමේ දැක්ම) වෙනුවෙන් එකට එක්විය යුතු බව ට්විටර් වෙබ් අඩවියේ දක්වා තිබිණි. අගමැතිගේ බලපෑම නිසා ඉන්දියාවේ ප්‍රාන්ත කීපයක ම ආදායම් බු විරහිතව සිනමාපටය තිරගත කිරීමට අවසර දී තිබිණි.

අක්ෂේ කුමාර් නිතර සිනමා පටය සම්බන්ධව මාධ්‍යයට කියා සිටියේ මෙය ප්‍රේම කතාවක් වුවද ඊට වැඩි යමක් එහි තිබෙන බවය. එය ප්‍රචාරාත්මක සිනමා පටයක් නොවන වගද ඔහු අවිවාදයෙන් ම කියා සිටියේය.

වැසිකිළි සෑදීමේ වටිනාකම කියා දුන් පළමු ඉන්දීය සිනමාපටය මෙය නොවේ. 2012 දී තිරගතවූ ‘යෙදන්චි’ චිත්‍රපටයේ ද තේමාව වී තිබුණේ එළිම‍හනේ ශරීරකෘත්‍යයෙහි යෙදෙන ගම්මුන් පිරිසක් වැසිකිළි ඉදිකිරීමේ කතාවයි. ප්‍රවීන් ව්‍යාස්ගෙන් ටොයිලට් : ඒක් ප්‍රේම් කතා සඳහා නීතියෙන් ද ප්‍රහාරයක් එල්ල විය. ඔහු තම ‘මානිනි’ වාර්තා වැඩසටහනේ දෙබස් හා දර්ශන සොරකම් කර ඇති බවට ‍චෝදනා කළේය. කෙසේ වුවත් එයින් සිනමා පටයට අංශු මාත්‍රයකිනිදු බලපෑමක් එල්ල වූයේ නැත.

අක්ෂේ කුමාර්ට සිය නවතම සිනමාපටය සුවිශේසී වන්නේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීම නිසා පමණක් නොවේ. ඔහු අනුපම් ඛේර් සමඟ රංගනයෙන් දායක වන්නේ විසිවැනි වරටය. දීදාර් (1992) සමඟ ඇරඹුණු අක්ෂේ කුමාර් අනූපම් ඛේර් රංගන චාරිකාව ‘ටොයිලට් : ඒක් ප්‍රේම් කතා’ වලින් තවදුරටත් ශක්තිමත් විය. ඔවුහු මේ ප්‍රීතිය සිනමා පටයේ දර්ශන තලයේදී කේක් කැපීමෙන් උත්කර්ෂවත් ලෙසින් සැමරූහ.

‘ටොයිලට් : ඒක් ප්‍රේම් කතා’ අක්ෂේ කුමාර්ගේ ඉන්දියානු රුපියල් කෝටි සියයේ බොක්ස් ඔෆිස් වාර්තාව පිහිටු අටවැනි සිනමා පටයයි. පසුගිය මාස 11දී අක්ෂේගේ අති සාර්ථක වුණු පස්වැනි සිනමා පටය මෙයයි.

කෝටි සියයේ බොක්ස් ඔෆිස් වාර්තා ප්‍රථමයා වී සිටින්නේ සල්මන්ය. දෙවැනියා අක්ෂේ කුමාර්ය. ඔහුගේ එයාර්ලිෆ්ට්, හවුස්ෆුල් 3, රස්ටම්, ජොලි එල්එල්බී 2 රුපියල් කෝටි සියයට වැඩි බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ සිනමා පටයි. ටොයිලට් : එක් ප්‍රේම් කතා සාර්ථකත්වය නිසා එය ඉතා ඉක්මනින් වැඩිම ප්‍රේක්ෂක පිරිසකට නැරැඹීමට දූරදර්ශන් නාළිකාව මඟින් විකාශය කිරීමට ද පියවර ගෙන ඇත.

සිනමාපටය නිසා ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ නළු මනෝජ් කුමාර්ට හැත්තෑව දශකයේ ලැබුණ ජනප්‍රසාදයම අක්ෂේ කුමාර්ට ද ලැබී තිබේ. මනෝජ් කුමාර් නම් රංගවේදියාට උප්කර්, පූරබ් ඕර් පශ්චිම් වැනි සිනමාපටවල රඟපෑම නිසා ‘භාරත් කුමාර්’ යන නම පටබැඳිණි.

අක්ෂේගේ නවතම සිනමාපටය තිරගතවී දින අටකදී අන්තර්ජාතිකව ලැබූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 16කි. (ඉන්දියානු කෝටි 100.05කි.) එහෙත් ටොයිලට් : ඒක් ප්‍රේම් කතා සිනමා පටයේ නිෂ්පාදන පිරිවැය ඉන්දියානු රුපියල් කෝටි 18 කට සීමාවිය.

අක්ෂේට සහ භූම්ට අනූපම්ට අමතරව සුධීර් පාණ්ඩේ, දිව්යෙන්ඩු ෂර්මා, අතුල් ශ්‍රීවස්තාවා, අයේෂ් රාසා, රාජේශ් ෂර්මා, සුභා කෝටේ, සචින් ඛේදේකර්, සානා ඛාන් ඇතුළු ශිල්පීහු රැසක් රංගනයෙන් දායක වෙති.

විකී ප්‍රසාද්, මානාස් - සිකර්, සචට්පරම්පරා තනු නිර්මාණය කර තිබෙන අතර සෝනු නිගම් ශ්‍රෙයා ගෝෂාල්, සුක්වින්දර් සිං, සුනිධි චෞහාන්, පලක් මුච්චල්, සචට් තන්ඩන්, පරම්පරා තකූර්, විකී ප්‍රසාද් ගායනයෙන් දායකවී තිබේ. අක්ෂේ කුමාර් ද ‘ටොයිලට් කා ජුගාඩ්’ ගීයට ගායනයෙන් දායක වූයේය. සිනමාපටය බෙදා හැරීම යාකොම් 18 මෝෂන් පික්චර්ස් විසිනි. අධ්‍යක්ෂණය ශ්‍රී නාරායන් සිං ගේය. 

Comments