ප්‍රවීණ සංගී­ත­වේදි රෝහණ වීර­සිං­හ­යන් ගේ සුසර ගී රාවේ අද මහ­ර­ගම යොවුන් රඟ­හලේ දී | Page 2 | සිළුමිණ

ප්‍රවීණ සංගී­ත­වේදි රෝහණ වීර­සිං­හ­යන් ගේ සුසර ගී රාවේ අද මහ­ර­ගම යොවුන් රඟ­හලේ දී

ආචාර්ය රෝහණ වීරසිංහ මෙරට සංගීත ක්ෂේත්‍රයේ පහළ වූ සුවීශේෂි හා අද්විතීය ගී තනු රචකයා කීවොත් නිවැරැදියි. රෝහණ වීරසිංහයන් මේ තාක් නිර්මාණය කර ඇති ගී තනු සංඛ්‍යාව තුන්දහසකට අධික වන අතර එම ගීත ගායනාකර ඇති ගායක ගායිකාවන්ගේ සංඛ්‍යාව හත්සියයක් පමණ වේ. විවිධ සංගීතමය භාවයන් හා තේමා ඔස්සේ සොභාවිත ගීතයේ නිම් වළලු පුළුල් කරමින් රසික ජනතාවට හරවත් රසවින්දනයක් තිළිණ කිරීමට සැරසෙන රෝහණ වීරසිංහයන් මේ දිනවල ‘සුසර ගී රාවේ‘ ප්‍රසංගයට සූදානම් වීම නිසා බොහෝ කාර්ය බහුලව සිටී. (27) අද දින මහරගම යෞවුන් රඟහලේ දී පැවැත්වෙන සුසර ගී රාවේ ප්‍රසංගය ගැන අප සමඟ පැවැත් වූ සාකච්ජාවකි මේ.

ගී තනු නිර්මාණයේදී ඔබ වඩාත් සැලකිලිමත් වන්නේ කෙබඳු කරුණු පිළිබඳව ද....?

ගීතයක් නිර්මාණයේදී පදරචනය තමයි වැදගත් වන්නේ. පද රචනය තමයි නිර්මාණ කරුවා මෙහෙයවන්නේ. පද රචනයේ වචන තුළින් මතුවන භාවයන් සඳහා සංගීතමය අර්ථකථනයක් නිර්මාණය කරන්නේ කෙසේද කියා නිර්මාණකරු මෙහෙය වනවා.

පාසල් කාලයේ ලබාගත් සාහිත්‍යමය දැනුම පදරචනාවල ඇති භාවයන් හඳුනාගැනීමට මට විශාල රුකුලක් වුණා. සාහිත්‍ය දැනුම අත්‍යාවශ්‍ය වෙනවා සංගීතඥයෙකුට. ඇත්තටම මා පදරචකයන්ට ස්තූතිවන්ත වෙනවා විවිධ භාවයන් ඔස්සේ තනු නිර්මාණයට මාව පොළඹවන පදරචනා ලබාදුන්නාට.

අප අසා තිබෙනවා ඔබ තනුව මුලින් නිමවා පසුව ඒ සඳහා පද රචනය කරගත් අවස්ථා .ඒ සඳහා අවශ්‍ය නිර්මාණාවේශය ලබාගන්නේ කෙසේද..?

ඇතැම් අවස්ථාවල පදරචනා මූලික කරගෙන නිර්මාණය කළ ගීතවල ජනප්‍රිය ශෛලිය නොතිබෙන්නට පුළුවන්. මගේ නිර්මාණ දිවියේ මුල්කාලවල ගීත රචකයන්ගෙන් ලියැවුණේ ගැඹුරු සාහිත්‍යමය රචනා නිසා තනුවද ගැඹුරින් නිර්මාණය වුණාම සාමාන්‍ය සරල වින්දනයට කැමැති රසිකයාට එවැනි නිර්මාණවල ගැඹුර වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා විවිධත්වය හා විචිත්‍රත්වය රඳවා ගැනීමට ජනප්‍රිය ගීතනු නිර්මාණයකර පසුව එවාට හොඳ සාහිත්‍යමය පද රචනා ප්‍රවීණ පදරචකයන් ලවා ලියවා ගත්තා. එවැනි ගීත තමයි නිම් තෙරක්, දොඹ මලින් මලට,අවපස අහසට,චන්ද්‍ර මඩල බැද්ද වටින්, වැනි ගීත. ශාස්ත්‍රිය ගීතත් තිබෙනවා. මාරම්බරී, හංස රාජණී වැනි ගීත.

පසුගිය දිනවල ඔබ විදෙස් රටවල් ගණනාවක සංගීත ප්‍රසංගවලට සහභාගී වුණා..ඒ අත්දැකීම් විස්තර කරන්න..?

1979 පමණ කාලයේ සිට එංගලන්තය මූලික කරගෙන මෙම ප්‍රසංගවලට අපේ ශිල්පීන් කැඳවාගෙන යෑමට මා කටයුතු කළා. ඒ සඳහා මට අතහිත දුන්නේ එංගලන්තයේ පදිංචි ප්‍රේමා ගනේගොඩ හා ප්‍රියවිජය ෆොන්සේකා යුවළයි. ඔවුන් හොඳ රසිකයන් හා කලාකරුවන්. ඒ නිසා එම යුවළට අවශ්‍ය වුණා අපේ ශිල්පීන් කැඳවා රසවත් හා හරවත් ප්‍රසංග පැවැත්වීමට. මට සම්බන්ධීකරණ කටයුතු බාරදුන්නා. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් මුලින්ම කැඳවාගෙන ගියා. විශාරද නන්දා මාලිනි,සුනිල් එදිරිසිංහ,ටි. එම් ජයරත්න, එඩ්වඩ් ජයකොඩි,සනත් නන්දසිරි, ඉන්ද්‍රණි පෙරේරා, ෆ්‍රෙඩි සිල්වා, නිහාල් නෙල්සන්, මොහිදින් ෙබග් වැනි ශිල්පීන් මා සමග විදේශීය ප්‍රසංග සඳහා සහභාගි වුණා.

පසුකාලීනව ඔවුන් වෙන වෙනමත් විවිධ සංගීත කණ්ඩායම් සමග විදේශීය සංගීත ප්‍රසංගවලට සහභාගි වුණා. පසුව විදේශීය රටවල සිටින මගේ මිතුරන් විමසුවා ඇයි ඔබේ ප්‍රසංගයක් පවත්වන්නේ නැත්තේ කියා. ඒ වන විට 'ආදරණීය රෝහණ'ප්‍රසංගය ආරම්භ කර තිබූ නිසා එම ප්‍රසංගය විදේශීය රටවල පවත්වන්න තීරණය කළා. ගියවසරේ ඔක්තෝබර් මාසයේ දී ඕස්ට්‍රේලියාවෙන් ආරම්භ කළා. ඊට පසු ඩුබායි, ඉතාලිය වැනි රටවලින් ආරාධනා ලැබුණා. නැවත වරක් පසුගියදා ඕස්ට්‍රේලියාවේ පැවැත් වු අතර ලබන වසරේදී එක්සත් ජනපදයේ ප්‍රසංගයක් පැවැත්වීමට ආරාධනා තිබෙනවා.

මේ දිනවල ඔබ සුසර ගී රාවේ ප්‍රසංගයට සූදානම් වන බව දැනගන්නට ලැබුණා..මෙම ප්‍රසංගයේ විශේෂත්වය සහ මෙවර ගායනයෙන් සහභාගිවන ශිල්පීන් කවුරුන්ද?

1999 දී සුසර ගී රාවේ ප්‍රසංගය ආරම්භ කෙරුණේ උසස් රසවින්දනයක් ජනතාවට තිළිණ කිරීමේ සද්කාර්ය පෙරදැරි කරගෙන. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ අරලිය කණ්ඩායම සුසර ගී රාවේ මෙවර සංවිධානය කරන්නේ දසවැනි වරටයි.මෙවර සුසර ගී රාවේ ප්‍රසංගයේ විශේෂත්වය වන්නේ ගීත පමණක් නොව සංගීත නිර්මාණද ඉදිරිපත් කිරීමයි.මගේ “ආදරණීය රෝහණ” ප්‍රසංගයේද විටින් විට මෙවැනි නිර්මාණ දිරිපත් කළා. සෑම 'සුසර ගී රාවේ' ප්‍රසංගයකටම සුනිල් එදිරිසිංහ සහභාගි වුණා. මෙවර ප්‍රසංගයට ප්‍රථමවරට උරේෂා රවිහාරි සම්බන්ධ වෙනවා.සුසර ගී රාවේ ප්‍රසංගයට ඇය සම්බන්ධකර ගැනීමට ලැබීම ආකර්ශනය වැඩි කිරීමට හේතු වෙනවා. දීපිකා ප්‍රියදර්ශනී පීරිස් කියන්නේද මගේ නිර්මාණ වැඩි වශයෙන් ගායනා කළ ශිල්පිනියක්.

මෙවර සුසර ගී රාවේ ප්‍රසංගය පැවැත්වීමේ අරමුණ පාසලේ ඉදිකිරීමට යෝජිත නව ක්‍රීඩා පිටිය පිළිබඳ සහිනය සැබෑ කරගන්නටයි. ධර්මපාල විද්‍යාලයේ ආදි සිසුවෙක් ලෙස මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද.?

මෙය ඇත්තටම මට ලැබුණ ලොකු පිනක්. කලාතුරකින් කෙනකුට ලැබෙන අවස්ථාවක්. අපි කෙතරම් ඔය ක්‍රීඩා පිටියේ වැලිකැට පාගා ක්‍රීඩා කරන්න ඇත්ද..?කීයෙන් කී දෙනාටද අවස්ථාව ලැබෙන්නේ තමන්ගේ වෘත්තීය දායකත්වය ලබාදී මූල්‍ය ප්‍රතිපාදන රැස්කිරීමට දායකත්වය ලබාදෙන්න. එය මට ලැබුණා කියන්නේ භාග්‍යයක්. 

 

Comments