පඩි­පෙ­ළක් සේ පහ­ළ­ට­ ගලා බසිනා නිල් ජලය Agua Azul | Page 2 | සිළුමිණ

පඩි­පෙ­ළක් සේ පහ­ළ­ට­ ගලා බසිනා නිල් ජලය Agua Azul

ජලය ඇත්තටම මොන පාටද? සත්‍යය නම් ජලයට පාටක් නෑ කියන එකයි. ජලය අවර්ණයි කියා අපි දැන සිටියත් ජලයේ පාට ලෙසින් අපි හඳුන්වනු ලබන්නේ නිල් පැහැයයි. කුඩා කාලයේදී පවා නිල් පැහැයෙන් යුත් ලස්සන දිය ඇලි හා ගංගා චිත්‍රයට නැගුවාට තනිකරම නිල් පැහැයෙන් වර්ණවත් වූ දිය ඇලි හා ගංගා අපගේ නෙත නොගැටී නොමැති තරම්. නමුත් ඔබ යම් දිනක මෙක්සිකෝවේ සංචාරය කර තිබෙනවා නම් ළා නිල් පැහැයෙන් හැඩවුණු ලස්සන දිය ඇලි නරඹා තිබෙන්නට පුළුවන්.

මෙක්සිකෝවේ චියාපාස් වැසි වනය මැදින් ගලන ගංගාවක් ( ජල මාවතක් ) Agua Azul එනම් නිල් ජලය යන නමින් හඳුන්වනවා. ටුලිජා ගංගාවේ බෑවුම වන මෙම ප්‍රදේශය ස්වදේශික ඇමෙරිකානුවන් විසින් හඳුන්වන්නේ ජල කඳු ලෙසින් . විශාල හුණුගල් මතින්ගලා බසිනා මෙම ගංගාව ගලායන අතරතුර හුණුගල් දිය කරමින් ඒවායේ තටාක මෙන් සෑදී තිබෙන අතර ඒවායේ ජලය ඉතාමත් ලස්සන නිල් පැහැයෙන් යුක්ත වනවා. මෙසේ තටාක හා දිය ඇලි සාදමින් පඩිපෙළක් සේ පහළටගලා බසිනා ජල කඳ තමයි Agua Azul හෙවත් නිල් ජලය ලෙසින් හඳුන්වන්නේ.

ජලයට මෙම වර්ණය ලැබී තිබෙන්නේ එහි අධික ලෙසින් දියවී තිබෙන හුණුගල් නිසා . ජලයේ අඩංගු කැල්සියම් කාබනේට් හා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පැහැයට හුරු පැහැයන්ගෙන් යුක්තයි. ජලයට වැටෙනා හිරු එළියේ තිබෙන නිල් පැහැය හැර අනෙකුත් සියලුම වර්ණයන් ජලය විසින් අවශෝෂණය කරන අතර පතුලේ වැදී අපගේ නෙතට පැමිණෙනා ආලෝකයේ අඩංගු වන්නේ මනරම් නිල් පැහැයක් පමණයි. වියළි කාලයට තමයි මෙම නිල් පැහැය වඩාත්ම හොඳින් පෙනෙන්නේ. එයට හේතුව තමයි වියළි කාලයේ එනම් දෙසැම්බර් මස සිට ජූලි මාසය තෙක් විශේෂයෙන්ම අප්‍රේල් මැයි වැනි මාස වලදී හිරු එළිය හොඳින් පතිත වීම හා අඩු ජල කඳක් පැවතීම. වැසි කාලයට වර්ෂාව දැඩි ලෙස පතිත වීමෙන් විශාල ජල කඳක් ඇති අතර ගංගාවේ නිල් පැහැය අඩු වෙනවා සේම එහි භයානක කමත් වැඩි වනවා. මෙම නිල් ගංගාව සුපැහැදිලි ජලය සහිත අඩි තුනක පමණ ගැඹුරකින් යුතු ශුමුල්හා ගංගාව වෙතටගලා බැසීමෙන් අනතුරුව කෙළවර වනවා.

මෙක්සිකෝවේ වඩාත්ම සිත් ඇදගන්නා ස්වාභාවික ස්ථානය ලෙසින්ද බොහෝදෙනා මෙම ස්ථානය හඳුන්වන අතර දෙස් විදෙස් සංචාරකයින්ගෙන් සෑම විටම මෙම නිල් ගංගාව හා අවට ප්‍රදේශ පිරී පවතිනවා. පාලනයකින් තොරව පැමිණෙන අති විශාල සංචාරකයන් පිරිස පාලනය කිරීම සඳහා වසර 1980 දී මෙම ස්ථානය රජය මගින් ආරක්ෂිත පරිසරයක් ලෙසින් නම් කරනු ලැබුවා. එසේ වුණත් ඕනෑම සංචාරකයකු හට මෙම දිය ඇලි වල පිහිනීම, දිය ඇලි අවට කඳවුරු බැඳීම හා ඔරු පැදීම සිදුකළ හැකියි. මේ නිසා ත්‍රාසජනක ඔරු පදින්නන්, කඳු නගින්නන්, පක්ෂීන් නරඹන්නන්, සිත්තරුන් හා ඡායාරූප ශිල්පීන් අතර මෙම නිල් ගංගාව ඉතාමත් ප්‍රසිද්ධයි.

පහළට කඩා හැලෙන විවිධ ප්‍රමාණ වලින් යුත් දිය ඇලි විශාල ප්‍රමාණයක් මෙම නිල් දිය ඇලි පෙළෙහි තිබෙන අතර එයින් උසින් වැඩිම දිය ඇල්ල වන්නේ ‘මිසොල් හා’ නම් අඩි 120 ක උසින් යුතු දිය ඇල්ලයි. තරමක් පළලින් යුතුව තටාකයක් වෙත කඩා හැලෙන නිල් පැහැති ජල කඳ චිත්‍රපටයක් තුළින් අපි දකිනා විසිතුරු දිය ඇල්ලක තිබෙන සුන්දරත්වයෙන් යුක්තයි. ජලය කඩා හැලෙන ශබ්දය හා මුසුවෙන වනාන්තරයේ කෘමීන්ගේ නාදය ඈත අතීතයේ විසූ ඇමෙරිකානු ශිෂ්ටාචාරවල මිනිසුන් මෙහි ජීවත් වූ අයුරු සිහිපත් වන බවද බොහෝ දෙනා පවසති.

Comments