තරු තොරතුරු | Page 2 | සිළුමිණ

තරු තොරතුරු

කෲ එකටම කැකිරි කන්න වෙලා

ටෙලි නාට්‍ය රූගත කිරිම් සඳහා නළු නිළියන්ට විවිධ ප්‍රදේශවලට යන්නට සිදු වෙනවා. සමහර වෙලාවට අගනුවරින් පිට දුර පළාත්වලට මේ විදිහට දුර ගියාම නළු නිළියන් විතරක් නෙමෙයි ටෙලි නාට්‍යයට දායක වන සෙසු ශිල්පීන්ටත් විවිධ දේවල්වලට මුහුණ පාන්නට සිදු වෙනවා.

ඒවා කරලියට පැමිණෙන්නේ කාලය ගත වෙලා. නමුත් ඒ අත්දැකීම්වල , අකරතැබ්බවල රසය නම් කවදාවත් අඩුවක් වෙන්නේ නැහැ. ඒවා ඔවුන් පවසන්නේ හිනාවෙන ගමන්.මේ විදිහට ටෙලි නාට්‍ය රූගත කිරීමකට දුර පළාතකට ගිය අපේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු මුහුණ දුන් අපූරු පුවතක් අපිටත් දැන ගන්නට ලැබුණා.

ඔහු තමයි ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ. සල්මල් ලන්ද ටෙලි නාට්‍යය රූගත කරන අතරතුර දී ජයලාල් රෝහණට හොඳටම උණ ගැණුනා. ඔහුව නිෂ්පාදන කණ්ඩායම කඩිනමින් වාරියපොළ රෝහලට ඇතුළත් කළා. කලාකරුවන්ට සමාජයේ කවුරුත් ආදරෙයිනේ. ඉතින් ජයලාල් රෝහණයන්ටත් වෛද්‍යවරුන්ගෙන් හෙද හෙදියන් ගෙන් හොඳ සැලකිල්ලක් ලැබුණා.

එනිසා ඉක්මනින්ම සුව වුණා. රෝහලෙන් පිටව යන්නට පෙර ජයලාල්ට වෛද්‍යවරයාගෙන් අපූරු ඔවදනක් ලැබුණා. ඒ තමයි කැකිරි දිගටම ආහාරයට ගන්න කියලා. මේ ඔවදන හිතට ගත්ත ජයලාල් අධ්‍යක්ෂවරයාට මේ ගැන පැවැසුවා.

වෛද්‍ය නියමය අනූව රූගත කරන කාලය පුරාම ඒ කියන්නෙ මාසයක් පුරාම නාට්‍ය කණ්ඩායමටම කැකිරි කන්න සිදු වුණා.ඒක නම් පුදුම කැකිරි කෑමක් තමයි. හැමදාම අපි කැකිරි කෑවා. මේ ගැන අදහස් දක්වන නාට්‍ය කණ්ඩායමේ අනෙක් අය පැවැසුවා. කොහොම හරි ඉතින් නාට්‍ය විකාශය වෙන කාලෙත් නාට්‍ය කෲ එකටම කැකිරියි- ජයලාල්වයි අමතක වුණේ නම් නැතිලු.


සිනමාවේ සමීප රූපය වේදිකාවේ දුර රූපය වූ පතී

ආචාර්ය ධර්මසේන පතිරාජ මෙරට සිනමාවේ දෙවැනි විප්ලවය සිදුකළ සිනමා පුරෝගාමියා බව අමුතුවෙන් කිවයුතු නැහැ. මේ ප්‍රවීණයා සිනමා කර්මාන්තයට පමණක් නොවෙයි මෙරට කලාවේ විවිධ අංශයන් හි ප්‍රගමනයට දායක වූ මෙන්ම ඒ ඒ කලාවන් නගාසිටුවීමට පෙරමුණගත් පුරාවෘත්තයක් (legend)ද වෙනවා.

ඒ අතර ඔහු ප්‍රබල නාට්‍යවේදියකු ද වෙනවා. ප්‍රබල සිනමා කෘති රැසක් ලාංකීය ෙප්‍ර්ක්ෂකාගාරයට තිළිණ කළ මේ කෘතහස්ත සිනමාවේදියා ගේ ආරම්භක කලා දිවියේ දී ඔහු අතින් රචනා වූ නාට්‍යය නිර්මාණ රැසක් අතුරෙන් වත්මන් ප්‍රේක්ෂකයාට,පාඨකයාට හමුනොවූ පතිරාජ නම් නාට්‍යකරුවා නාට්‍යය විෂය අලළා විරචිත ග්‍රන්ථ ත්‍රිත්වයක් පාඨකයා වෙත එළිදැක්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් බව අපිට දැන ගන්නට ලැබුණා.

මේ මස 31 වන බ්‍රහස්පතින්දා සවස 4.00 ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී මේ කෘති ත්‍රිත්වය දොරට වැඩීම සිදු වෙනවා. ධර්මසේන පතිරාජයන් තම ශාස්ත්‍රපති උපාධි නිබන්ධය ලෙස පේරාදෙණි සරසවියට ඉදිරිපත් කළ "සිංහල නාට්‍යයේ ආකෘතිය හා අන්තර්ගතය අතර අරගලය” ශාස්ත්‍රීය ග්‍රන්ථයත්, 1971 ජාතික නාට්‍යය උළෙලට පරිවර්තනය කර නිෂ්පාදනය කළ යුජින් ඉයනේස්කොගේ පුටු” නාට්‍යය කෘතියත්, පතිරාජ විසින් රචනා කර ධම්ම ජාගොඩ 1971 දී නිෂ්පාදනය කළ 'කොරා සහ අන්ධයා” නාට්‍යය පෙළ සහිත ග්‍රන්ථයත්, "වංගගිරිය” නම් අනෙක් නාට්‍යය කෘතියත් මෙලෙස එළිදැක් වෙන කෘති අතර වෙනවා.

මෙහිදී මේ පිළිබඳව මහාචාර්ය කාලෝ ෆොන්සේකා, නාට්‍යවේදී කපිල කුමාර කාලිංග හා ආචාර්ය සෞම්‍ය ලියනගේ, පතිරාජගේ නාට්‍යය භාවිතාව සම්බන්ධ කෙටි දෙසුම් පැවැත්වීමට නියමිත අතර ඩබ්ලිව්.ජයසිරි මෙහි පුරක ලෙස කටයුතු කිරීමට නියමිත වනවා.

සිනමාවේදී සමීප රූපයක් වූ එහෙත් නාට්‍ය වේදිකාවේදී දුර රූපයක් වූ ධර්මසේන පතිරාජ නම් වූ නාට්‍යකරුවා පිළිබඳ කතිකාව සඳහා එක් වන ලෙස පාඨක ඔබටත් ආරාධනා කරනවා.

 


ලයනල් වෙන්ඩ්ට්-කලාව සහ ජීවිතය'

සම්පත් බණ්ඩාර ප්‍රවීණ මාධ්‍යවේදියෙකු ලෙසත් ,ග්‍රන්ථ කතුවරයකු ලෙසත් ප්‍රකට චරිතයක්. මේ දවස්වල කවුරුත් සම්පත් ගැන කතාබහ කරන්නේ ඔහු රචනා කළ නවතම කෘතිය නිසා. ඒ තමයි 'ලයනල් වෙන්ඩ්ට්-කලාව සහ ජීවිතය'යන චරිතාපදාන කෘතිය.මේ කෘතිය දොරට වඩින්නේ මේ මාසෙ 30 වැනි දා සවස 3.30ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දීයි.

මේ පිළිබඳව සම්පත් අපි සමඟ පැවැසුවේ මෙවැන්නක්.' ලාංකේය කලාව විප්ලවීය පරිවර්තනයකට ලක්කළ යුග පුරුෂයෙක් ලෙස ලයනල් වෙන්ඩ්ට් හඳුන්වන්න පුළුවන්. ඔහුගේ පර්යේෂණාත්මක චරිතාපදානය වගේම ඔහුගේ කලා සම්ප්‍රදානය දුර්ලභ ජායාරූප රැසක් සමඟ මෙ කෘතිය ඔස්සේ විවරණය කෙරෙනවා.

ඒ වගේම ඔහුගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ කළ මෙරට ප්‍රථම නූතනවාදී කලා පෙරමුණ වශයෙන් හැඳින්විය හැකි '43 කණ්ඩායම'පිළිබඳ සවිස්තර පරිච්ජේදයක් මෙහි ඇතුළත් වෙනවා. මෙය ලයනල් වෙන්ඩ්ට් කලාකරුවා පිළිබඳ ප්‍රථම චරිතාපදාන කෘතියයි.

මෙහි දී ප්‍රවීණ අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ 'ලයනල් වෙන්ඩ්ට් ' විශේෂ වාර්තා චිත්‍රපටය තිරගත කිරීම ද සිදු වෙනවා. ඒ වගේම මහාචාර්ය සරත් චන්ද්‍රජීව , ප්‍රවීණ ජායාරූප ශිල්පී ලාල් හෑගොඩ, සපුමල් පදනමේ සභාපති රොහාන් ද සොයිසා දෙසුම් පවත්වනවා.

 


අශිකා ගොළු වෙලා

අශිකා මතසිංහ කිව්වම ඇයව කවුරුත් හොඳින්ම හඳුනනවා. ජනප්‍රිය නිළියක ලෙස ක්‍ෂේත්‍රයේ නමක් දිනා සිටින මේ සුරූපිනිය ගැන නවතම තොරතුරු මොනවද කියලා අපි විමසා බැලුවා. අශිකා මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම චරිත සමඟ කාලය ගත කරන බව අපිට දැන ගන්නට ලැබුණා.

'මේ දවස්වල ෂර්ලි පී.දෙලංකාවල ගේ නවතම ටෙලිනාට්‍යයක ට මම දායක වෙනවා. මේක නිවෙසටම වයස ගත වන යුවතියකගේ කැරැක්ටර් එකක්. මනමාලයො මොනතරම් බලන්න ආවත් එක එක වැරදි හොය හොයා ඇය විවාහය කල් දමනවා. මේ චරිතය වෙනස්ම මඟක යන චරිතයක්.

ඒ වගේම මම පසුගිය දවස්වල ගොළු චරිතයක් රඟපෑවා. මේ චරිතය හරිම සුවිශේෂී චරිතයක්.ලොකු බයිසිකලයක් පැදගෙන නගරය වටා මේ ගොළු යුවතිය හරිහරියට වැඩ කටයුතු කරනවා. කොහොමත් මේ දවස්වල එහි රූගත කිරිම් නැවතිලා. යළිත් ආරම්භ වේ. පළමු වරට ගොළු චරිතකයකින් ප්‍රේක්ෂකයා අතරට එන්න මට හැකි වෙයි කියා මම හිතනවා.

 

Comments