
කරඬුවක් බාන්ඩ (දරුවෙකු ප්‍රසූත කරන්නට) අම්මෙක් මාරයත් එක්ක අල්ලන මාලක්කම (මරණය සමඟ කැරෙන අසීමිත ප්‍රයත්නය) අච්චරයි - මෙච්චරයි කියන්ඩ බැරුවා. (අපමණයි - මෙපමණයි කියා ගණනය කැරුම අතිදුෂ්කරය) ඒජාමේ උන්දැට කටින විලිරුජාව (ප්‍රසව වේදනාව) ‘හරි’ කොරන්ඩ ඇහැකි (සමකළ හැකි) ‘ගායක්’ (වේදනාවක්) මේ මනුස්ස ලෝකේ කොයින්දැ තවත් ඈ...?”
ඒවාගෙම තමයි මේ ගාය දරා කොරාගන්ඩ බැරුව ‘මෝ’ ඇත්තී අදින මර කෙදිරිල්ල. (මාරාන්තික අඳෝනාව) දොරපෝරුව වහපු වැදූ ගේත් පිටවෙන මේ කෙදිරිය කණ වැටෙන කොටම, පිටංගනේ සෝදිසි මාදිසියෙන් ඉන්න ‘අප්පගේ’ පපු බිස්සේ ඇවුළුම් කන ගිනි වැට, ගිනි කඩාපු වල්හේනකින් ආකහේට නඟින ගිනි කන්දරාවටත් වැඩියිනෙවැ. (පියෙකුගේ හදවතේ මෝදුවෙන වේදනාව, වියළුණු වල්හේනක ගිනි ජාලා වටත් වඩා අධිකය.)
ඔය අල්ලපනල්ලේ මෝ ‘වඩමවාපු කරඬුවේ (මේ අතරතුරේ මව බිහිකළ දරුවාගේ) මූත්‍ර ඩිංගිත්ත ඇහැ ගැටෙන කොටම ‘මෝ’ උන්දැට අර තිබ්බ ගාය බාය අපෝවෙලා හිටං දරුසනාවෙන් උන්දෑ සැනෙහෙනවා මයි. (දරුවාගේ මුව දුටු සැනින් මවට වේදනාවත් අමතක වී දාරක ස්නේහයෙන් සැනසුම් සුවය ලැබෙනු ඇත) ඒ විතරක්යැ දරු පැට්ටාගේ කටහඬ කණ වදින කොටම, ගිනි මැලේකට වතුර වැක්කැරුවා වාගේ අප්පගේ පපු බිස්සේ පත්තු උන ගින්දරත් නිවී ගියේ සක්කර සම්පත්තියක් ඉහ උඩට පාත්වුණා වාගේ තංතෝසෙකින් ඕං.
ඒ කොරලා හිටං ‘අප්පයි - මෝයි’ මේ සක්කර සම්පත්තිය රැකුම් - බැකුම් කොරගන්නේ ඇහිගෙඩි වාගේ පරස්සමට තමයි (දෙනෙත් මෙන් මේ දාරක දායාදය දෙමහල්ලෝ ආරක්ෂාකර ගනිති) ඇගේ ඉහේ තියාගන තමයි මේ දරුවාගේ කරදඬු හයිහත්ති කොරන්නේ. එහෙම පැට්ටා ඇටා දැටියා කොරන්ඩ (එසේ ලොකු මහත් කිරීමට) මෝ උන්දෑ පොවන කිරි කන්දරාව මහ වැවේ වතුර දහරාවටත් වැඩියි කියලයි හිතෙන්නේ. ඒ වාගේම අප්පා උන්දා වස්සන දාඩිය දහරානිපාතෙන් වාන් ඇල උනත් ඉතිරෙන්නැත්තං මේං මගෙ කණ.
එහෙම දහදුක් විදලා තමයි උන්දැලා පුත්තු ‘නාඹු නෑඹියෝ’ ( තරුණ තරුණියෝ) කොරල ඔහේට පිටගං දොක්කන්නෙ. (ඔවුන් විවාහ දිවියට පමුණුවන්නේ) එහු කොරපු, දෑහම කනවෙච්චි (දෑස අන්ධ) මෝ උන්දෑ කෙනෙකුට, තමුන් වදා හදා ගත්තු දූ පුත්තු අහක බලා ගත්තට පස්සේ තමුන්ගේ ලේලි කෙල්ලන් කොරපු පන්කාදු කාරියට, උන්දෑ විහින් ඒ ලේලි කෙලීට ‘සත්ත දුන් හැටි’ (ප්‍රාර්ථනා කළ අයුරු) මේ හීබදෙන් (මෙම සීපදයෙන්) අහුලා ගත්තනං, තමයි කදිම.
වැදුං ලන්තෙ එල්ලී ගෙන
වැදුවත් රජ ගොල්ල
දූන්, පුතුන් මට දුන්නේ
උන්ගේ අටුපල්ල
ඉතිං මගේ කනවැල ගෙන
උඹ දෙන සැනසිල්ල
බුදුන් දැක නිවන් පලයං
මගේ ලේලිකෙල්ල
අද මෙවන් ‘ලේලිලා’ වාගේ ම ‘බෑනලා’ ඇන්ටිලාට, අන්කල්ලාට ‘කළුනික’ හොයන්නා වාගේ උනාට දූවරු - පුත්තු නං උන්දැලාට වැහි වැහැලා නෙවැ.
එහෙත් එදා ගමේ පුත්‍ර පුත්‍රිකාවන් සේම ලේලිලා, බෑනලා හැම කෙකුම මවුපිය කෙළෙහිගුණ නම් වූ උත්තම සීලයේ පෙහෙවස්ව සිටිය බව නම් සැබෑමයි, එදා මේ බෝසත් ගුණාංග මෙදා බාල පරපුර හමුවේ ‘වල්’ වැදුණේ, අන් කිසිවක් නිසා නොව බාලක බාලිකාවන් තම දෙමාපියන් වැඩිහිටියන් යථාර්ථවාදීව නොහඳුනන නිසාම ය. ඊට වගකියයුත්තේ වත්මන් තරුණ දෙමහල්ලන් බව නොකියා බැරිය. ඔවුන්ගේ දෙමහල්ලන්ට ඔවුන් නො සැළකීමේ විපාක තමා පසු පස හඹා තම දූ පුතුන් මඟින් ඊට විපාක දෙනු ඇත.
ඇරත්, පූර්ව සමයේ සිටම දරුවාට පටවන තරගකාරී ඉගෙනුම් රටාවන් තුළින් එකෙකු පරයා තවකෙකු නැගී සිටීමේ සටන් ක්‍රමවේද විනා, එකිනෙකාට ගරු කරමින් මානවාලය පුබුදු කැරෙන ගුණ ගරුක වගකියයුත්‍තන් බිහි කිරීමේ ශික්ෂණ ක්‍රියාදාමයක් අපේ බාලක බාලිකාවන්ට ළඟා කිරීමට අද උත්සුක වන්නකු ද නැත.