
උදෑසන ම මහා කලහයකි. සෑම තුරු අගිස්සක් ම ආවරණය කරමින් කරමින් කාක්කන් එක් රැස් ව සිටින්නේ යුද්ධ සේනාවක් මෙනි. උහු පහර දීමට බලා සිටිති. මම විමසිලිමත් වීමි. සටන් කිරීමට ඉදිරිපත් වූ කාක්කෝ දහ පහළොස් දෙනා තවත් උන් වැනිම එහෙත් ප්‍රමාණයෙන් කුඩා කුරුල්ලකුට එළව එළවා පහර දෙති. අනෙක් කාක්කෝ අවශ්‍ය වුවහොත් පහර දීමට බලාපොරොත්තුවෙන් බලා සිටිති. කාක්කන් තමන්ගේ ම වර්ගයේ එකකුට පහර දීමට ඉදිරිපත් වූයේ ඇයි දැ යි ම සිත පැනයකි. උහු අපට වඩා බෙහෙවින් සමගි සම්පන්න වෙති; තමන්ගේ වර්ගයා ගැන බෙහෙවින් සිතති; එකිනෙකාට උදව් කර ගනිති.
එසේ නම් කුමක්ද සිදු වී ඇත්තේ. තව තවත් විමසිල්ලෙන් බැලූ කල මේ පහර දෙන්නේ කාක්කකුට නොවන බැව් මම හඳුනා ගතිමි. පහර කන්නාගේ ඇස් තද රතු පැහැතිය. කාක්කාගේ ස්වරූපය ම වුවත් ඊට වඩා මඳක් කුඩා ය. ඉදින් දැන් ඒ කවුදැයි ඔබ දන්නවාට සැක නැත. හැමදාමත් වගේ සිදු වන දේ මෙවරත් සිදු වන්නට ඇත. කොහා, කාක්කාගේ කූඩුවේ බිත්තර දමා හසු වන්නට ඇත. කොතෙක් පහර කෑවත් ඌ ගණන් ගන්නේ නම් නැත. නැවත නැවත එය ම කරන්නේ ය. හරියට සමහර මිනිසුන් වගේ ය. සමහර මිනිස්සු කොතෙක් පහර කෑවත් තම ජන්මීය පුරුදු වෙනස් කර ගැනීමට මැළි වෙති. කොහා කරන්නේ කාක්කාගේ කූඩුවේ බිත්තර දමා සිය දරුවන් කාක්කන් ලවා ලොකු මහත් කර ගැනීම පමණකි. මිනිස්සු අනෙකාගේ මුළු ආත්මය ම ගිනි තබා එයිනිදු සෑහීමකට ලක් නොවී ජීවිත කාලය පුරා ම එළව එළවා පහර දෙති; නැතිනම් හීන් නූලෙන් බෙල්ල කපති.
ජීවිතය පිළිබඳ මීට වඩා පුළුල් අර්ථයකින් සිතිය යුතු යැයි ම සිත කියයි. අපගේ අවශ්‍යතා ඉටු කර ගැනීමේ වුවමනාවට එහා ගිය පුළුල් අර්ථයක්... මගේ හෝ ඔබේ පවතින තත්ත්වය වැදගත් වන්නේ යථාර්ථය හා පවතින සබඳතාවේ ස්වරූපය අනුව පමණකැයි මා කිවහොත්... ඔබ එකඟ ද?
අපට උසස් වීමේ අභිලාෂයක් නොතිබිණි නම් කුමක් වේද? අප ව නොපිළිගැන්මට බඳුන් වේද? අනාගත සිහින අපෙන් දුරස් වී යාවිද? මේ සියල්ල ම නැති වූ විට අපේ ජීවිත නිකම් ම ගෙවී යාවි ද? එවිට ඔබේ මනසට දැඩි පීඩනයක් කනස්සල්ලක් දැනේවිද?
මා ඔබගේ සිත බෙහෙවින් ප්‍රශ්න කළා දැයි සිතේ. එහෙත් මා පැවසුවේ ඔබ, මා මුහුණ දෙන මේ තරගකාරීත්වයේ මූලික ඇරඹුම ගැනයි. අප සියල්ලන් ම විවිධ ආශාවන්, බලාපොරොත්තු පිටුපස හඹා යන අය නොවේ ද? ඔබ ගුරුවරයකු වී නම් ඔබේ ඉලක්කය විදුහල්පති වීම ය; ඔබ වෛද්‍යවරයකු නම් ඔබේ ඉලක්කය විශේෂඥ වෛද්‍යවරයකු වීම ය; ඔබ ලිපිකරුවකු නම් ඔබේ ඉලක්කය විධායක ශ්‍රේණියයි. ආගමික නිෂ්ඨාවක් පතා පැවිදි දිවියට ඇතුළත් වන ඇතමුන් පවා එහිදී විවිධ තනතුරු හඹා යෑම අද අරුමයක් නොවේ. එබැවින් ඔබ, මම, අප සෑම දෙනා ම කවර හෝ තත්ත්වයක් ලබා ගැනීමේ නොතිත් ආශාවෙන් යුක්ත බැවින් එක ම මට්ටමේ පුද්ගලයෝ ය.
ඔබ, මගෙන් අසාවි ඒ තරගකාරිත්වය නැත්නම් අප මේ කරන වැඩවල ඇති අර්ථය කුමක්ද කියා. එය සාධාරණ ගැටලුවකි. එහෙත් මා ඔබට යෝජනා කරන්නේ ඒ තරගකාරීත්වයෙන් මඳක් මිදී ඔබේ කටයුතු කර ගැන්මට උත්සාහ කළහොත් ඔබට ලැබෙන සැනසීම ගැන සිතීමට ය. තරගකාරීත්වය විසින් අපේ ඉසියුම් මනෝභාව විකෘති කර ඇති තරම මඳක් සිතන්න. වෛරය, භීතිය, නොසන්සුන්කම ඈ සෑම දෙයක් ම ඔබේ ජීවිත ගිලගෙන තිබෙන බැව් මා නොකීවත් ඔබේ සිත දනී. එසේ සිතමින් ම ඔබ තරගකාරීත්වය පසෙක ලා අපට පැවරී ඇති හෝ අප කරන දෑ නිවැරදි ව වඩාත් හොඳින් ඉටු කිරීමට මහන්සි ගන්නේ නම්... ඒ සඳහා ඔබේ සිත පාලනය කරගැනීම පමණයි අවශ්‍ය වන්නේ... ඔබ, ඔබේ සෑම සිතිවිල්ලක් දෙස ම, සෑම ක්‍රියාවක් දෙස ම සිහිකල්පනාවෙන් ඉවසීමෙන් බලන්නේ නම් මෙය අසීරු කරුණක් නොවේ. තරගකාරීත්වය විසින් අප සිතේ ඇති කරන වෛරය වෙනුවට තරගයෙන් තොර ව ඔබ, ඔබේ කාර්යය නිවැරදි ව ඉටු කරන්නේ නම්... ඔබට දැනෙන සැනසීම ගැන අත්හදා බලන්න යැයි මා ඔබට යෝජනා කරන්නේ එබැවිනි. අත්හැරීම තරම් ඔබට තවතවත් දේවල් ළඟා වන වාලම්පුරියක් නම් නැති බව මට විශ්වාසයෙන් කිව හැකියි.
නිකමට අත්හදා බලන්න. මෙතෙක් ඔබ සංසන්දනය කරමින්, සංසන්දනය වෙමින් සිතට මහත් පීඩාවක් නොදැනුවත්ව ම ළඟා කර ගනිමින් සිටි දේවල් අතහැර බලන්න. ඒ කිසිවක් නොසිතා ඔබේ කාර්යය ගැන පමණක් ම සිතමින් එය නිවැරදි ව ඉටු කරන්න. ඔබට දැනෙන සැනසීම පන්සල්, කෝවිල්වල මාස ගණනක් ගියත් නොලැබෙන බැව් නම් මට විශ්වාස ය. එකඟ ද සිත, මනස මඳක් පුහුණු කර බලන්නට...