පෙරපාසල් ගුරු­තුමී | සිළුමිණ

පෙරපාසල් ගුරු­තුමී

දිනෙන් දින ව්‍යාප්ත වූ ඩෙංගු රෝගය හේතුවෙන් රෝහලට ඇතුළත්වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළයාම නිසා වාට්ටුව තුළ පැවතුනේ තදබදයක්. රෝගීන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඥාතීන්, හිතවතුන්ගෙන් වාට්ටු පිරීයමින් තිබුණා. විසිපස්වන වාට්ටුවේ සේවයේ නියුතු හෙදියන් දෙදෙන වාට්ටුව හරහා කඩිනමින් ගොස් ප්‍රසාද් දොස්තර මහතා සිටි කාමරයට පිවිසුණේ වාට්ටුවට තවත් රෝගියෙකු රැගෙන ඒම නිසයි.

“ඩොක්ටර් වාට්ටුවට පේෂන්ට් කෙනෙක් ඇඩ්මිට් කරල”

“ඩෙංගුද, ඇඳන් නැතිව ඇති නේද?”

“ඩෙංගු රෝගියෙක් නෙවෙයි වගේ ඩොක්ටර්. ඒත් ඇඳන් තමයි නැත්තෙ.”

“එහෙනං මොකද කරන්නෙ. අර දහනවයෙ ඇ‍ඳේ ලෙඩා ටිකට් කපලනේ ඉන්නෙ. ඒ ඇඳ හිස්වෙනකං ලෙඩාව ට්‍රොලියෙ ඉන්න අරින්න.

“ඩොක්ටර් පේෂන්ට් වයසක අම්මා කෙනෙක්. සිහි කල්පනාවත් අඩුයි.”

“හ්ම් යමු බලන්න.”

රෝගියා අසල අවුරුදු විසිපහක පමණ වයස කාන්තාවක් රැඳී සිටියා. දොස්තර මහතා රෝගියා අසලට ගොස් අසල සිටි කාන්තාවගෙන් තොරතුරු විමසුවා.

“ඔයාද ලෙඩාගෙ බාරකාරය”

“ඔව් ඩොක්ටර්”

“මොකද දැන් මේ අම්මට වෙලා තියෙන්නෙ.”

“උණ හැදි හැදි තිබුණ, එහෙදි බලපු ඩොක්ටර් කිව්ව ප්‍රෙෂර් එකත් අඩුවෙලා කියල. හොස්පිටල් ඇඩ්මිට් කරන්න කියල. සීනි වැඩි කමකුත් තියනව. නිතරම කලන්තෙ දානව. කොහොමත් අම්මගෙ සිහිකල්පනාවත් අඩුයි.

ප්‍රසාද් දොස්තර මහතා රෝගී කාන්තාව දෙස විමසිල්ලෙන් ටික වෙලාවක් බලා සිටියා. ඒ ඔහුගේ සිතට කිසියම් අතීත මතකයක් ගලා එමින් තිබුණ නිසයි.

“මේ අම්මගෙ නම?”

“පියවතී ඩොක්ටර්”

“ගෙවල්?”

“මාලිම්බඩ”

“මේ ඔයාගෙ අම්මද?”

“නෑ, මේ අපේ ලොකු අම්ම”

“කලින් මේ අම්ම මොනවද කළේ?”

“මේ ලොකු අම්ම ඉස්සර පෙර පාසලක් කළා. සමාරා පෙර පාසල කියල”

ප්‍රසාද් දොස්තර මහතා ඉහළට ඇදගත් හුස්ම පහළ හෙළන්න අමතක වෙලා වගේ මොහොතක් කල්පනාවේ ගැලී සිට අසල සිටි හෙදිය ඇමතුවා.

“තනුජා දහනවයෙ ඇ‍ඳේ ඉන්න ටිකට් කපාපු පේෂන්ට්ට වාඩිවෙලා ඉන්න පුටුවක් තියලදීලා මේ අම්මව ඒ ඇඳට ගන්න. සේලයින් දෙන්න ලෑස්ති කරන්න.”

හෙදියන් දෙදෙන යුහුසුලුව අසල ඇ‍ඳේ ටිකට් කපා සිටි රෝගියාව පුටුවක හිඳුවා ඇඳ සූදානම් කිරීමේ යෙදුණා. ඒ අතර දොස්තර මහතා රෝගියා සමඟ කතාවට යොමුවුණේ තවත් තොරතුරු දැන ගැනීම සඳහායි.

“මේ අම්මගෙ නම මොකක්ද?”

රෝගියා අවට විපරම් කර බලමින් කල්පනාවට වැටුණා.

“අම්මට මාව අඳුනගන්න පුළුවන්ද?”

“ආ.. මේ අපේ” ඇය වචන ගළපන්න උත්සාහ කළා. ඇයට සිහිකල්පනාව අඩුබවක් දොස්තර මහතාට පෙනී ගියා. දොස්තර මහතා රෝගියාගේ හෘදය ස්පන්දනය සහ රුධිර පීඩනය මැන බැලුවා. අනතුරුව ඔහු රෝගියාගේ වම් අත දෙපසට හරවමින් බලා අතේ වූ කැළැල් කීපයක් දෙස විමසිල්ලෙන් බලා සිටියා.

“තනුජා මේ අම්මගෙ ප්‍රෙෂර් එක හුඟක් අඩුයි. අයි.සී.යූ. දාන්න වෙයි.”

දොස්තර මහතා සිය ස්ටෙතස්කෝපය මේසය මත තබා පුටුවේ හරි බරි ගැසී වාඩිවුණේ සිතේ පැවති නොසන්සුන් කම දුරුකර ගැනීමට මෙන් වටපිටාව දෙසට නෙත් යොමුකරමිනුයි. එවිට ඔහුගේ දෙනෙතට හසුවුණේ කුඩා දරුවෙක් වඩාගෙන සිටින කාන්තාවකගේ ඡායාරූපයයි. ඒ දෙස මඳ වෙලාවක් බලා සිටි ඔහුගේ දෙනෙත් තෙත්වන බවක් ඔහුට දැනුණා. ‘දෙයියනේ පියවතී ගුරුතුමී. මගේ පෙරපාසල් ගුරුතුමී. කොයිතරං කාලෙකට පස්සෙද. අනේ මගේ දෙවනි අම්ම. අපි කොයිතරං අකෘතඥද. අපේ ජීවිතයට මුලින් ම පාර පෙන්නපු ගුරුතුමී අපි අමතක කරල දැම්ම එක කොයිතරං පාපයක්ද. මට මතකයි පියවතී ගුරුතුමිය ඒ කාලෙ හරි ලස්සනයි. අපේ අම්මගෙ වයසෙ වගේ. මට ඒ සිද්ධිය තාම මතකයි. මාව පෙරපාසලට මුලින්ම බාරදීල ආපහු යන්න හදපු දවසෙ මං කෑ ගහගෙන අම්මගෙ පස්සෙන් දිව්වා. ඒ වෙලාවෙ ගුරුතුමිය ඇවිත් මාව වඩාගෙන ගියා. ඒ වෙලාවෙ තමයි මම ගුරුතුමියගෙ අත හැපුවෙ. අතින් ලේත් ගැලුවා. ඒත් මාව අතෑරියෙ නැහැ. පස්සෙ අම්මවත් පන්තියෙ වාඩිකරගෙන තමයි මාව තියාගත්තෙ. ඒකාලෙ ගුරුතුමියට මම කොයිතරං කරදර කළාද. පන්තියෙ හිටපු දඟම ළමය මම. අම්ම මාව පෙර පාසලට එක්කරගෙන එනකොට මගේ කමිසෙ අමුණල එවන ලේන්සුව හැමදාම ගලවල දමනව. ඉතින් ගුරුතුමී ඇවිත් මගේ ඔළුව අතගගා එක එක කතා කිය කිය ආපහු ලේන්සුව කමිසෙ අමුණනව. අනේ දෙවැනි අම්ම වගේ හිටිය ගුරුතුමීට දැන් ඒ දේවල් මොනවත් මතක නෑ. මාත් එක්ක එදා පෙර පාසලේ ඉගෙන ගත් දෙන්නෙක් ම අද වෛද්‍යවරු. සමහරු ඉංජිනේරුවො. සමහරු වෙනත් ඉහළ රැකියාවල්වල. අපි ඉගෙනගෙන ඉහළ රැකියාවල්වලට ගිය එක ඇත්ත. ඒත් අපි මේ ගතකරන ජීවිතේ මොකක්ද කියල හිතෙනව. බාහිර ලෝකය එක්ක අපේ තියෙන සම්බන්ධකම් හුඟක් ම පහළ මට්ටමක තියෙන්නෙ. හොස්පිටල් එකේ ඉඳල අපි කෙළින් ම යන්නෙ දිස්පැන්සරියට. ඒකෙ වැඩ ඉවරවෙලා ගෙදර යනකොට රෑ නවය විතර වෙනව. අපි ඒකාකාරී ජීවිතයකට කොටුවෙලා අපි කරන්නෙ සමාජ සේවයක් තමයි. ඒත් පොතක් පතක් කියවන්න විනෝද ගමනක් යන්න යාළු මිත්‍රයො මුණගැහෙන්න වෙලාවක් නැහැ.

“මොකද ප්‍රසාද් මහත්තය කෑම කන්නෙ නැද්ද?”

“හා යමු යමු. පරක්කුත් වුණානේ”

දිවා ආහාරයෙන් පසු ප්‍රසාද් දොස්තර මහතා සිය වාට්ටුව දෙසට පියමං කළේ ගුරුතුමියගේ තත්ත්වය පරීක්ෂා කිරීමටයි. පියවි සිහියෙන් තොරව සයනයේ වැතිරී සිටින රෝගියා අසලට ගිය දොස්තර මහතා ඇගේ තත්ත්වය පරීක්ෂා කළා. එවිට ඔහුට පෙනී ගියේ රෝගියාගේ රුධිර පීඩනය දැඩි ලෙස පහත බැස ඇති බවයි. ඔහු අසල සිටි හෙදිය ඇමතුවා. “තනුජා ඉක්මනට මේ පේෂන්ට් අයි.සී.යූ එකට ගන්න ලේස්ති කරන්න. මම අයි.සී.යූ. එකට ගිහින් එන්නං. ඉක්මන් කරන්න.” ප්‍රසාද් දොස්තර මහතා කඩිනමින් දැඩි සත්කාර ඒකකය වෙත පිය නැගුවා. හෙදියන් දෙදෙන රෝගියා රැගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කළා. පසුව රෝහල් උපස්ථායකයින් දෙදෙනෙකු පැමිණ රෝගියා දැඩි සත්කාර ඒකකය වෙත රැගෙන යනු ලැබුවා.

“තනුජා මේ‍ පේෂන්ට පිටින් ගේන්න ඕන බෙහෙත් තුණ්ඩුව මට ගෙනත් දෙන්න. ලෙඩාගෙ අයිතිකාරයන්ට දෙන්න එපා. ධර්මදාස යවල අපිට ගෙන්න ගන්න පුළුවන්නේ. ලෙඩා ගැන අවධානයෙන් ඉන්න. හෙට මට එන්න වෙන්නෙ නැහැ. දන්නවනේ හෙට අපේ සංකේත වැඩ වර්ජනේ දවස.”

එසේ පවසමින් ප්‍රසාද් දොස්තර මහතා ඉවත්වී ගියා. රෝහලේ වැඩ අවසන් වීමෙන් පසු ඔහු සිය පෞද්ගලික බෙහෙත්හල වෙත ගියේ සිතේ බරක් දරාගෙනයි. පෞද්ගලික බෙහෙත්හලේ රෝගීන්ට ප්‍රතිකාර කර ‍ෙවනදාට වඩා කලියෙන් දොස්තර මහතා නිවස බලා පැමිණියා.

“මොකද අද වේලාසනින් කලබලෙන් වගේ”

“මොකුත් නෑ. අද අපේ මොන්ටිසෝරි ගුරුතුමී ඇඩ්මිට් කළානේ. ටිකක් අමාරුයි වගේ.”

“ඉතිං?”

“ඉතිං මගේ හිතට හරි නෑ. ඒ ගුරුතුමී ගැන කලින් නිකංවත් හොයල බලන්න බැරි වුණානේ. දැන් සිහි කල්පනාවත් නැහැ. හෙට මට ලෙඩා බලන්න යන්න විදියකුත් නැහැ.”

“ඒ ‍මොකද?”

“ඇයි හෙට අපේ සංකේත වැඩ වර්ජනේනේ.”

“ඒකත් එහෙමද, ඇයි මේ ඩෙංගු වසංගතෙත් වැඩි වෙච්ච වෙලාවක?”

“මොනව කරන්නද සංගමේ කියන ඒව කරන්නත් එපාය.”

එදින රාත්‍රියේ සිත සැහැල්ලු කරගෙන නිදා ගැනීමට උත්සාහ කළත් දොස්තර මහතාගේ මනස ඉදිරිපිට කුඩා කල සිදුවූ සිදුවීම් සිතුවම්පටක් මෙන් දිග හැරෙන්න වුණා. පෙර පාසලේදී ඉගෙනගත් කවි සින්දු මතකයට ගලාගෙන ආවා. මුලදී දඟ වැඩ කළත් පසුව ගුරුතුමී සමඟ ළෙන්ගතුකමින් වැඩ කළ හැටිත්, පෙර පාස‍ැලේ විවිධ ප්‍රසංග අවස්ථාවලදී ගුරුතුමිය තමාව ඉදිරියට ගත් අයුරුත් ඔහුට කල්පනා වුණා. එවැනි එක් අවස්ථාවක විකට ඇඳුම් තරගයකදී තමා දොස්තර කෙනෙකු මෙන් ගුරුතුමිය විසින් වෙස්ගැන්වූ අයුරුත් ඔහුගේ මතකයට ආවා. ඒ හැම දෙයක් ගැනම මෙනෙහි කරමින් දොස්තර මහතා නින්දට පිවිසුණේ පසුදින රෝගියා බැලීමට යාමට නොහැකි වීම ගැන සිතේ ඇතිවූ කනස්සල්ලෙන් යුතුවයි.

වැඩ වැරුමෙන් දිනකට පසු ප්‍රසාද් දොස්තර මහතා රෝහල වෙත ගොස් කඩිනමින් දැඩි සත්කාර ඒකකය වෙත පිය නැගුවේ රෝගියාගේ තත්ත්වය දැන ගැනීම සඳහායි. එසේ ඉදිරියට පියනගන දොස්තර මහතා අබියසට වාට්ටුවේ හෙදියන් දෙදෙනා කලබලෙන් පැමිණෙන අයුරු දුටුවා.

“තනුජා කොහොමද පේෂන්ට?”

“සර් ලෙඩා අන්තරා වෙලා.”

“මොනවා!”

“ඔව් සර් ඇටෑක් එකක් ඇවිත්. තාම අයි.සී.යූ එකේ අයින් කළේ නැහැ.”

ප්‍රසාද් දොස්තර මහතා දැඩි සත්කාර ඒකකය වෙත දිව ගියා. ගුරුතුමියගේ නිසල සිරුර අසල ඒකකය බාර වෛද්‍යවරු සහ හෙදියන් සිය කාර්යයේ නිරතවී සිටියා. ප්‍රසාද් දොස්තර මහතා හෙමි හෙමින් සිය පෙර පාසල් ගුරුතුමියගේ දේහය අසලට ගොස් අත අල්ලා ගත්තා. ඔහු අවසන් වරට තමාගේ දත් පහරින් ඇතිවූ තුවාල කැළැල් සහිත අත හෙමින් පිරිමැද්දේ දෑසට ගලා එන කඳුළු ආයාසයෙන් මැඩ ගනිමිනුයි.

Comments