
නජිබ් මහෆුස්
1988 දී නොබල් සාහිත්‍ය සම්මානයෙන් පුද ලද ඊජිප්තු ලේඛකයා වූ නජිබ් මහෆුස් 1911 දෙසැම්බර් 11 වන දින ඊජිප්තුවේ කයිරෝ නුවර කෙඩිවේට් නම් ස්ථානයේ උපත ලැබුවේය. අරාබි සාහිත්‍යයට අන්තර්ජාතික පිළිගැනීමක් ලැබුණ ප්‍රථම අවස්ථාව ලෙස ඔහුට නෝබල් සම්මානය ලැබීම සැලැකේ. නවකතා 34ක් කෙටිකතා 350ක් තිර රචනා දුසිමක් පමණ සහ නාට්‍ය 5ක් වසර හැත්තෑවක පමණ ක්‍රියාකාරීව වැඩ කළ කාලය තුළ ප්‍රකාශයට පත් කිරීමට හෙතෙම සමත් විය.
මධ්‍යම පන්තියට අයත් පවුලක උපත ලැබූ නජිබ් මහෆුස් සහෝදරයන් හතර දෙනකු සහ සොහොයුරියන් දෙදෙනකු ද සිටි පවුලේ බාල ම දරුවා විය. ඔහුගේ පියා අබ්දුල් අසීස් ඊබ්‍රාහිම් සිවිල් නිලධාරියකු වූ අතර මහෆුස් තම පියා පිළිබඳ ව සඳහන් කළේ පරණ තාලේ කෙනෙක් ලෙසයි. එහෙත් ඔහු තම පියාගේ අඩිපාරේ ගමන් කළේය. මහෆුස්ගේ මව ෆතීමා නූගත් තැනැත්තියක වුවත් ඇය ඔහුව සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථානවලට එනම් ඊජිප්තියන් කෞතුකාගාර සහ පිරමීඩ් නැරැඹීමට රැගෙන ගියාය.
මුස්ලිම් ආගමට කැපවූ පවුලක උපත ලැබු මහෆුස්ට තම ළමා කාලය ගත කිරීමට සිදු වූයේ දැඩි ආගමික පරිසරයක් තුළයි. මගේ පවුලෙන් කලාකරුවකු බිහිවෙතැයි කිසිවෙකු සිතන්නට නැති බව ඔහු වරක් සඳහන් කළේය.
1919 දී සිදුවූ ඊජිප්තියන් විප්ලවය එවකට සත් හැවිරිදි වියේ පසුවූ මහෆුස් කෙරෙහි දැඩි ලෙස බලපෑවේය. තම කවුළුවෙන් පිටත බැලූ ඔහුට නිතර දක්නට ලැබුණේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් පෙළපාළිකරුවන්ට වෙඩි තබන ආකාරයයි.
ප්‍රාථමික අධ්‍යාපන අවසන් කිරීමෙන් පසු 1930 දී මහෆුස් ඊජිප්තියන් විශ්වවිද්‍යාලයට (වර්තමාන කයිරෝ විශ්වවිද්‍යාලය) ඇතුළුව දර්ශනය හදාරා 1934 දී උපාධිය ලැබුවේය. 1936 දී දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම ආරම්භ කළ ඔහු අනතුරුව එය අතහැර දමා වෘත්තීය ලේඛකයකු වීමට තීරණය කළේය. අනතුරුව පුවත්පත් කලාවට පිවිසි හෙතෙම එල් හීලාල් සහ අල් අශ්‍රාම් පුවත්පත්වලට කෙටිකතා සැපයුවේය.
උපාධිය සමත් වීමෙන් පසු මහෆුස් ඊජිප්තු සිවිල් සේවයට එක්වී 1971 විශ්‍රාම ලබන තුරු විවිධ තනතුරුවල සේවය කළේය. කලා මණ්ඩලය සහ සිනමා පදනමේ ද සේවය කළ එතුමා අවසානයේ ඊජිප්තු සංස්කෘතික අමාත්‍යාංශයේ උපදේශකයකු ලෙස ද සේවය කළේය.
ඔහුගේ සාහිත්‍ය චාරිකාවේ වැදගත් ම කෘති අතර “කයිරෝ” තුන් ඈඳුතු නවකතාවට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. මේ නවකතාවෙන් පළමුවන ලෝක යුද්ධ සමයේ සිට 1952 හමුදා කුමන්ත්‍රණයකින් ෆාරුක් රජු බලයෙන් පහකරන තෙක් කාලයේ කයිරෝවල වාසය කළ පාරම්පරික පවුල් කීපයක ජිවිත පිළිබඳ විස්තර කෙරේ. ඔහුගේ කෘති විවිධ මාතෘකා ඔස්සේ ලියැවී ඇත. සමාජවාදය, සමලිංගික සේවනය සහ දෙවියන් ඒ අතර වැදගත් විය. මේ විෂයයන් සමහරක් ඊජිප්තුවේ තහනම් මාතෘකා විය. 20 වන සියවසේ තම රටේ බුද්ධිමය සහ සංස්කෘතික සංවර්ධනය කෙරෙහි නැගෙනහිර සහ බටහිර බලපෑ බව ඔහු ප්‍රකාශ කළේය.
‘නිදැල්ලේ ගලා යන නයිල් නදිය’ 1966 ඔහුගේ වඩාත් ම ජනප්‍රිය වූ නවකතාවයි. අන්වර් එල් සදාත් බලයේ සිටි කාලයේ එම නවකතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය විය. නසාර්ගේ පාලන සමයේ ඊජිප්තුවේ සමාජ පරිහානිය මේ නවකතාවෙන් විවේචනය කෙරිණ. සදාත් ඒ නවකතාව තහනම් කළේය. 1990ට පෙර ඒ නවකතාවේ පිටපතක් සොයා ගැනීම අසීරු විය.
1959 දී පළවූ මුඩුක්කුවේ ළමයි නම් කෘතිය ඔහුගේ විශිෂ්ට කෘතිය ලෙස විචාරකයන්ගේ පැසසුමට ලක් විය. නිසරු කාන්තාරය මැද වූ ක්ෂේම භූමියේ ගෙබ්ලාවි නමැත්තා මහා මන්දිරයක් ඉදි කළේය. වේදනාවට, පීඩාවට සහ අසාධාරණයට ගොදුරු වන අය දකින ඔහු මුඩුක්කුවේ කෙළවර සිට මේ මහා මන්දිරයට ඇඟිල්ල දිගු කර මෙසේ විමසුවේය. මෙය අපේ මුතුන් මිත්තන්ගේ නිවසයි. අපි සියල්ලෝම මුතුන් මිත්තන්ගේ දරුවෝ වෙමු. එබැවින් අපටත් එහි අයිතියක් තිබේ. එසේනම් අප කුසගින්නේ ඉන්නේ ඇයි? අපි කුමක් කළ නිසා ද? ඒ පොත 2006 වන තුරු ලෙබනනය හැර අරාබි ලෝකය තුළ තහනම් කෙරිණ. මීට හේතු වූයේ දෙවියන්ගේ ප්‍රතිරූපය උපහැරණ කතා මඟින් නිෂේධනය කිරීම, යුදෙව් ආගම, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් දේවවාදයට එරෙහි වීම යන චෝදනායි.
මහෆුස්ගේ නිර්මාණ ප්‍රධාන වශයෙන් දේශපාලනික විය. ඔහු ඒ බව පිළිගෙන මෙසේ ප්‍රකාශ කර තිබේ. “මගේ සියලු රචනාවලදී ඔබට දේශපාලන කරුණු දැකිය හැකිය. ආදරය හෝ වෙනත් විෂයයක් අමතක කර ඔබට කතාවක් ලිවිය හැකිය. එහෙත් දේශපාලනය අමතක කළ හැකි නොවේ. එය අපේ සිතිවිලිවල මූලයයි.”
1988 දී මහෆුස්ට නෝබල් සාහිත්‍ය සම්මානය හිමි විය. ඒ ත්‍යාගය ලැබු එක ම අරාබි ලේඛකයා ඔහුයි. ඒ ත්‍යාගය පිළිබඳ නිවේදනය ලැබීමෙන් පසු ඔහු මෙසේ පැවසුවේය. “මගේ ජීවිතයේ ප්‍රථම වරට මට නෝබල් ත්‍යාගය ලැබී තිබේ. මගේ සාහිත්‍යය අන්තර්ජාතික මට්ටමින් පිළිගැනීමට ලක්ව ඇති බවට එය සාක්ෂියකි. අරාබි සාහිත්‍යයට ලෝකයේ දොරගුලු විවෘතව ඇත. එය බොහෝ කලක සිට පැවැති අපේක්ෂාවන් ඉටුවීමකි.” මහෆුස්ගේ වයෝවෘද්ධ භාවය නිසා ඔහුට ඒ සම්මානය ලබා ගැනීම සඳහා ස්වීඩනයට යාමට නොහැකි විය.
ඔහුගේ නවකතා නිසා ඔහුට මරණ තර්ජන එල්ල විය. මරා දැමීමට දැරූ ප්‍රථම උත්සාහය ව්‍යර්ථ විය. එම නිසා ඔහුට පොලිස් ආරක්ෂාව සපයනු ලැබුවේය. එහෙත් 1994 දී ඉස්ලාම් අන්තවාදියෙක් 82 හැවිරිදි වියේ පසුවූ මහලු නවකතාකරුගේ ගෙළට පිහියෙන් ඇන්නේය. එය සිදු වූයේ කයිරෝවේ පිහිටි ඔහුගේ නිවසින් පිටතදීය. ඔහු ජිවිතය බේරාගත් නමුත් මේ නිසා ස්නායු ආබාධයකට ලක් විය. ඉන් අනතුරුව ඔහු ආරක්ෂකයන්ගේ දැඩි රැකවල් මධ්‍යයේ පසු විය.
වයස අවුරුදු 43 වනතුරු මහෆුස් තනිකඩ ජීවිතයක් ගත කළේය. විවාහය තමාගේ සාහිත්‍ය ජීවිතයට බාධාවක් වනු ඇතැයි ඔහු කල්පනා කළ බව පෙනී යයි. “මම විවාහයට බිය වෙමි. මගේ සහෝදර සහෝදරියන් විවාහය නිසා කෙතරම් සමාජ බැඳීම්වලට ලක්ව සිටින්නේ ද? මා හිතන විදියට විවාහ ජීවිතය මගේ කාලය විනාශ කර දමනු ඇත. විවාහයෙන් මගේ නිදහස නැතිව යනු ඇත.”
කෙසේ වෙතත් 1954 දී ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාවේ කාන්තාවක සමඟ විවාහ වූයේය. ඒ විවාහයෙන් ඔහුට දියණියන් දෙදෙනෙකු ලැබිණ. මහෆුස් මහජනයා ඉදිරියේ පෙනී සිටීමට කැමැත්තක් නොදැක්වුවේය. ඔහු පුවත්පත් සඟරාවලට සම්මුඛ සාකච්ඡා ලබා දීමට අකමැති වූ අතරම ගුවන් විදුලි වැඩසටහන්වලට ද සහභාගි නොවූවේය. තම පෞද්ගලික ජීවිතය ගැන විමසමින් කෙරෙන සම්මුඛ සාකච්ඡා ගැන ඔහු මෙසේ කීවේය. “ඔබගේ පුවත්පත්වල සහ ගුවන් විදුලි සාකච්ඡාවලදී සිදු කෙරෙන්නේ විහිළු කතායි”
නජීබ් මහෆුස් 2006 අගෝස්තු 30 දින ඔහුගේ වයස අවුරුදු 94 දී අභාවප්‍රාප්ත විය.