
එච්. එම්. මොරටුවගම සංස්කරණය කළ ‘මහගමසේකර සහ කලා නිර්මාණ’ කෘතියෙනි.
නිසර්ග සිද්ධ ප්‍රතිභාවක් ඇති කලාකරුවා විෂය ලෝකයෙහි ප්‍රවර්තමාන සංසිද්ධ තැන්පත් නැණින් ග්‍රහණය කරයි. හෙතෙම නිබඳව නිරන්තරව අවට ලෝකය නිරීක්ෂණය කරයි. තමා අවට විසිර පවත්නා කුදු මහත් දෑ පුන පුනා අවලෝකනය කරයි. ජගත් මාතාවගේ සෞන්දර්යයෙන් ද ඇගේ දූ දරුවන්ගේ දඟකාරකම්වලින් ද කලාකරුවා අපමණ අනුභූතීන් සිය හද මඬලෙහි ගබඩා කර ගනී. එලෙසින් ගබඩා කර ගනු ලබන අනුභූතීන් විචක්ෂණ කලාකරු විසින් උඩ - යට පෙරළමින්, සිතුවිලි සයුරෙහි පිනුම් ගසමින් පුන පුනා ආවර්ජනා කරයි. කළල රූ සෙයින් කලාකරු තුළ ජනිත වී වැඩෙන අනුභූතිය කලාකරුවා නොකඩවා පෝෂණය කරයි. කිසියම් දිනෙක රසිකයා දකින කලා කෘතිය කළල ලෙසින් ජනිත වන්නේ කලාකරු තුළ ය. පළමුව එහි ආස්වාදය ලබන්නේ කලාකරු ය. ඒ තුළින් ඔහු අපූර්ව ආස්වාදයක් ලබා එය පෝෂණය කරයි. මේ නිසා කලා කෘතියට කලාකරුගේ ආත්මය කා වැදේ. එබැවින් කලා කෘතිය කලාකරුගේ ආත්මය අනාවරණය කරන ඒකකයයි පිළිගත යුතු ය.
පුද්ගලයාගේ කෞශල්‍ය ඥානයට අනුගතව ඔහුගේ බොහෝ දෑ අඩු වැඩි වශයෙන් වසන් කළ හැකි ය. එහෙත් හොඳ කලාකරුවකුට කිසිම ලෙසකින් කිසිවක් වසන් කළ නොහේ. කුමක් නිසා ද යත් යහපත් කලාකරුවාගේ සූක්ෂ්මාත්මය කලා කෘතිය නමැති කැඩපතින් නිරුවත් කොට ප්‍රදර්ශනය කරනු ලබන හෙයිනි. කලා කෘතිය තුළට ගලා යන්නේ පුද්ගලයාගේ චින්තනය යි. ඔහුගේ පරිකල්පනය පවිත්‍ර නම් කලා කෘතිය පවිත්‍ර වෙයි; අපවිත්‍ර නම් කලා කෘතිය ද අපවිත්‍ර වෙයි. ක්ලිෂ්ට මනසකින් පිවිතුරු දෑ බිහි නොවේ. මේ අනුව කලාකරු පිවිතුරු පුද්ගලයෙක් ද, නොපිවිතුරු පුද්ගලයෙක් ද? යන්න ඔහුගේ කලා කෘතිය තුළින් විනිශ්චය කෙරේ. එම නිසා ලේඛකයා, කවියා, සංගීතඥයා, චිත්‍ර ශිල්පියා, මූර්ති ශිල්පියා ආදි සියලු කලාකරුවන් ඔවුන්ගේ කලා කෘති තුළින් හෙළි පෙහෙළි වන බව කිව මනා ය.
සේකර නමැති කලාකරුවා කවරෙක් දැයි බැලිය හැකි, බැලිය යුතු කැඩපත ඔහු ඔබටත් මටත් උරුම කොට තබා ගොස් ඇත. ඒ දායාදයෝ නම් ඔහුගේ අතින් ලියැවුණු පද්‍යයෝ ය; ගීතයෝ ය; නවකතාවෝ ය; කෙටිකතාවෝ ය; චිත්‍රයෝ ය; මූර්තිහු ය; විචාරාත්මක නිබන්ධනයෝ ය.
කලාකරු සතතාභ්‍යාසයෙහි තත්පර වෙයි; සෞන්දර්ය ගවේෂණයෙහි උත්සුක වෙයි. මා දැන ඇඳින ගත් දින සිට මියෙන තුර සේකරගේ චර්යාව ද එයම විය. කලාව තුළින් බ්‍රහ්මාස්වාදය ලද හැකි ය යන්න අප දෙදෙනාගේ නිගමනය විය. සංගීතය උපරිතන ශ්‍රේණිගත කළ පුද්ගලයා සිය කෙලෙස් මලෙන් මිදී පරම පවිත්‍ර සුන්දරතාවෙන් ආස්වාදනය ලබයි. ලෞකික සකල විධ වධ බන්ධනයන්ගෙන් විනිර්මුක්තව කලාකරුගේ සිත පුළුන් පෙඳක් සෙයින් නිවී සැනහී යයි.
මේ පරම පවිත්‍ර සුන්දරත්වය එක්කෝ බ්‍රහ්ම පදාර්ථය විය හැකි ය. නැතහොත් පරම රමණීය නිර්වාණ ධාතුව විය හැකි ය. නිරුක්ති කථනය කුමක් සූචනය කළ ද උපරිතන ශ්‍රේණිගත කලාකරුවා සියල් කෙලෙස් මළ සෝදා හළ අධ්‍යාත්මය නිවී සනහා ගත් වෘද්ධතර මුනිවරයකුගේ මානසිකත්වයට ළඟා වෙයි. කලාකරු සතර අගතියෙන් මිදී සිවු බඹ විහරණ ප්‍රගුණ කරන පරම පවිත්‍ර චේතනාවන්ගෙන් හෙබි උපරිම මානව ගුණ පිරි පුද්ගලයකු විය යුතු ය. සේකරයන් තුළ මේ සියල් යහ ගුණ ගැබ්ව පැවැත්තේ ය. ඔහුගේ අධ්‍යාත්මය විවර කොට දක්වන ඔහුගේ පද්‍යයෝ එබැව් හඬ ගා කියති; කෙටිකතාවෝ හඬගා කියති; චිත්‍රයෝ හඬගා කියති; මූර්තීහු හඬගා කියති; විචාර නිබන්ධනයෝ හඬගා කියති.
විශ්වගත ඥාන සම්භාරය අනන්ත ය, අප්‍රමාණ ය. ජගත් මිණිමුතු පිරි කලා සයුර අපාර ගම්‍ය ය. පුද්ගල සන්තක බුද්ධි ක්ෂේත්‍රය බෙහෙවින් සීමිත ය, පටු ය. එබැවින් යහපත් කලාකරුවා සිය ඥෙයපථය පෘථුලත්වයට පත් කර ගනු වස් නොතිත් ආශාවෙන් පත පොත පරිශීලනය කළ යුතු ය. අත්දැකීම් ලබා ගත යුතු ය යන්න සේකර මිය යන තෙක් ඇදහුවේ ය. එබැවින් ඔහුගේ අත්දැකීම් සිඳී නොගියේ ය, ඥානය පටු නොවූයේ ය. ඔහුගේ ආත්මයෙන් සජීවත්වය ලත් ඔහුගේ අවසාන පද්‍ය ග්‍රන්ථය ‘ප්‍රබුද්ධ’ මේ පණිවිඩය මා වෙතත් ඔබ වෙතත් ගෙන එයි. මාගේ ආත්මාවබෝධයට අනුව සේකර උත්තම ගණයේ මිනිසෙකි. හේ බෙහෙවින් කෙලෙස්වලින් මිදී වසන්නට දිරි දැරී ය. කලා ලොවෙහි දී හේ කිසිවකුට ඊර්ෂ්‍යා නොකළේ ය. ඔහු ලොව දෙස බලා ළපටි සිනහ පෑවේ ය. අහිංසක හස රැළෙන් සියලු දෙන පිළිගත්තේ ය. ඔහුගේ අධ්‍යාත්මගත ඒ නිර්ව්‍යාජත්වය ඔහුගේ කලා කෘතීන් තුළ රන් හුයක් සෙයින් දිව යයි.
සේකර මනුෂ්‍යත්වය තැන්පත්ව වටහා ගත් කලාකරුවෙකි. මිනිස්කමේ උණුහුම ඔහුගේ හද මඬල උණුසුම් කළේ ය. මානව භක්තිය ශෛලමය පර්වතයක් සෙයින් ඔහු තුළ තැන්පත්ව පැවැත්තේ ය. බුද්ධියෙන් පරිපාකයට යත්ම එය වඩ වඩාත් ශක්තිමත් වූයේ ය.
මෙවන් යහ ගුණ පිරි නූතන සිංහල ගීත සාහිත්‍යයේ පරමාදර්ශී ගීත රචකයා ලෙස මා පිළිගන්නා මහගම සේකර පළමුවෙන්ම මට මුණගැසුණේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ ‘මධුවන්ති’ වැඩ සටහන තුළිනි. සිංහල ගීත සාහිත්‍යය ඉතාමත් ළදරු අවස්ථාව පසු කොට අද සෑහෙන දියුණු පියවරක පසුවන බව මගේ පිළිගැනීම යි. ‘මධුවන්ති’ වැඩ සටහන නූතන ගීත සාහිත්‍යයෙහි සන්ධිස්ථානය ලෙස හැඳින්වීම යුක්තියුක්ත ය. ගීත රචකයා, සංගීතඥයා සහ ගායකයා යන තිදෙනකුගේ සාමූහික ප්‍රයත්නයෙහි ප්‍රතිඵලයෙකි ගීතය. මේ පිළිබඳව සේකර ඉදිරිපත් කළ විවරණය ශාස්ත්‍රීය විනිශ්චය වෙයි:
“කවියක් නිර්මාණය වීම කවියාගේ පෞද්ගලික වෑයමක ප්‍රතිඵලයකි. එහෙත් ගීතයක් නිර්මාණය වීම සඳහා ගීත රචකයා, සංගීතඥයා සහ ගායකයා යන තිදෙනකු හවුල් විය යුතු ය. ඇතැම් ගීතයක් ඊට යොදා ඇති සංගීතය අනුව ද තවත් ගීතයක් එය ගායනා කරන ගායකයාගේ කටහඬ හා ගායන විලාසය අනුව ද උසස් තත්ත්වයක් ගන්නට පුළුවන. එහෙත් විශිෂ්ට ගීතයක් නිර්මාණය වීමට නම් මේ තිදෙන ම තමනට අයත් කාර්යයන් විශිෂ්ට අන්දමින් ඉටු කළ යුතු ය.”
(මහගම සේකරගේ ගීත, පි. 5)
මේ කාර්යය බෙහෙවින් දුෂ්කර ය. අර්ථවත් ගීතයක් ශ්‍රාවක ජනතාව වෙත ගෙන ඒමේ දී දරනු ලබන තැත අසීමිත ය. අප දෙදෙනා ‘රන් සළු’ තේමා ගීතය සැකැසූ අයුරු සේකර මෙසේ සිහියට නඟ යි:
“රන් සළු චිත්‍රපටයේ තේමා ගීතය මෙහි දී මට මතක් වෙයි. ආගමික හැඟීම් ජනිත කරවන සුලු, සාන්ත රසයෙන් යුක්ත ගීතයක් ඒ සඳහා අවශ්‍ය බව චිත්‍රපටියේ කථා රචක පී. කේ. ඩී. සෙනෙවිරත්න කියා සිටියේ ය. මෙහි දී මට එකවර ම සිහිපත් වූයේ මා අහස් යානයකින් අමෙරිකාව බලා ගිය ගමනේ දී ලද අත්දැකීමකි. යානය උස් කඳු මුදුන් පසු කර ඈත අහසේ වලාකුළුවලට ද ඉහළින් පියාසර කරමින් තිබිණි. එය වේගයෙන් පියාසර කළ ද මට හැඟී ගියේ නිශ්චලව එක තැනක නැවතී සිටින්නාක් මෙනි. කවුළුවෙන් පිට බලා සිටි මට ඇස ගැසෙන තෙක් මානයේ දුරට පුළුන් අතුරාලූවාක් වැනි සුදු පැහැ වලාකුළු තට්ටුවක් පමණි, දිස් වූයේ. මේ සුන්දර දර්ශනයෙන් වශීකෘත වූ මා සිතෙහි නිකෙලෙස් හැඟීමක් ඇති විය. චිත්‍රපට ගීතයේ එන,
‘කෙලෙස් මලින් මිදී
සිත සුවපත් වී
පා වී යයි නිසංසලේ
වලා අතුළ කඳු වැටි මුදුනේ
මහ රහතන් වැඩි මඟ ඔස්සේ’
යන ගීත ඛණ්ඩයේ අදහස මා සිතට පිවිසියේ ඒ අවස්ථාවේදී ය. මේ අදහසම තව දුරටත් සංවර්ධනය කොට ගීතය රචනා කිරීමට මම අදහස් කළෙමි. මේ අතර බදුල්ලට යාමට අවශ්‍යතාවක් මට ඇති විය. ඒ ගමනේ දී මී දුමින් වැසී ගිය කඳු වැටි අතරින් ගමන් කරන විට දුම්රියේදීත් හිරු බැස ගොස් මඳ අඳුර පැතිරෙන සැන්දෑවෙහි ඈත මිටියාවත දෙස බලා සිටින විට ඇල්ල තානායමේදීත් ගීතයේ ඉතිරි කොටස සම්පූර්ණ කර ගැනීමට මට හැකි විය.
මීළඟට ගීතයට තනුව යෙදිය යුතු විය. ගීතය චිත්‍රපටයට නඟන ස්ථානයටම ගොස් ඒ කාර්යය කළ යුතු බව සෙනෙවිරත්නගේ අදහස විය. මෙය අඹේපුස්සට නුදුරු ගමක පිහිටි ගල් කුලින් හා නිල් තුරුලියෙන් සැදි උස් කඳු මුදුනකි. සේනාසනයක පවත්නා වැනි සාන්ත ස්වභාවයක් එහි විය. එවැනි පරිසරයක දී වඩාත් උසස් නිර්මාණයක් අප අතින් බිහි වෙතැයි නිවැරැදි ලෙසම සිතූ සෙනෙවිරත්න අමරදේවයනුත් මාත් එහි කැඳවාගෙන ගියේ ය.
කඳු බෑවුමේ ගල් තලාවක අපි දෙදෙනා තනි වීමු. මම ගීතය ලියූ කරදාසිය අමරදේවට දුනිමි. ඔහු නිශ්ශබ්දව එය කියවන්නට විය. ඔහු එය කියවා අවසන් කරන තුරු මම ද ඉදිරියෙන් ඇති විශාල වෙල් යාය දෙසත් ඊට එපිටින් ඇති නිල්වන් කඳු වැටිය දෙසත් නිහඬව බලා සිටියෙමි. මඳ වේලාවකට පසු අමරදේව සර්පිනාව වාදනය කරමින් ගීතයට තනුව යෙදීමට පටන් ගත්තේ ය. ඔහුගේ අදහස් අනුව ඇතැම් ගීත පදයක දිග අඩු වැඩි කිරීමට මම කැමති වීමි. මගේ අදහස අනුව ඇතැම් ගීත පදයක තනුව වෙනස් කිරීමට ඔහු ද කැමැති විය.
“ගීතයට තනුව යොදා අවසන් කොට සර්පිනාව වාදනය කරමින්ම අමරදේව එය ගායනා කරන්නට විය. එය ගීත රචකයා, සංගීතඥයා සහ ගායකයා යන තිදෙන ඒකාත්මික වන දුර්ලභ අවස්ථාවක් විය.”
(මහගම සේකරගේ ගීත, පි. 6-7)
මෙය සම්පූර්ණයෙන් සත්‍යයකි. සේකර රචනා කළ සැම ගීතයක් මෙන්ම මා ගායනා කෙළේත්, ඒවාට සංගීතය සැපැයුවේත් මේ පදනම මත පිහිටා ය. සේකරගේ මේ ප්‍රකාශය සමඟම එවන් අපූරු තවත් සිද්ධියක් මගේ මතකයට නැඟේ:
පුන් සඳින් ගලනා සඳ කැන් මිහි කත සිප ගනී. ශේන් (පලිහක්කාර) ගේ නිවහන කුඩා කඳු ගැටයක් මත පිහිටා තිබිණ. ඒ රාජගිරියේ මාදින්නාගොඩ ය. නිවහන වටා සුදු වැලි අතුල මිදුල ය. සුදු වැලි මතින් සඳ රැස් ගලා බසී. සේකරත්, මමත් දැන් සඳ කැන් සිඹිනා සුදු වැලි මත ය. සේකර මුමුණන්ට වූයේ ය. මුවින් එක් එක් පද ගිලිහිණ. අපි දෙදෙන ඇසිල්ලකින් එක් කුටියක යහන මතට වීමු. සේකර කරදාසියක් රැගෙන කුරුටු ගාන්නට විය. දැහැනින් අවදි වූ හේ මා අත තැබූ කඩදාසියෙහි මෙය දිස් විය:
“ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ළපලු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගේ නාමය වේ.
සැඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ළඳ ලියන්ගේ සීන අතරේ
මැවේ ඒ රූපේ
රනින් කළ වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරාගී නිල් නුවන් බඳුනින්
නුරා වෑහෙන්නේ.”
එක් දහස් නව සිය හැට ගණන්වල කළ නළ දමයන්ති මුද්‍රා නාටකයේ තේමා ගීතය බිහි වූයේ එසේ ය.
සේකර අතිශය ශූර රචකයෙකි. නූතන සිංහල ගීත සාහිත්‍යයෙහි පරමාදර්ශී රචකයා සේකර යයි මම නොබියව පවසමි. දේශීය සංස්කෘතිය හා සම්භාව්‍ය සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය කවරක් දැයි මනාව පසක් කර ගැනීමට හෙතෙම වෙර වීරිය දැරී ය. එහි පල විසින් ඔහුගේ සැම ප්‍රකාශයක්ම අපේ සංස්කෘතිය උරා බීගෙන ජීව ගුණය ලද්දේ ය. අපේ සම්භාව්‍ය සිංහල සාහිත්‍ය සම්ප්‍රදාය තුළ කිඳා බැස්සේ ය. මේ සඳහා ඔහු පර්යේෂණශීලීව කරුණු හදාළේ ය, ඒ නිසා ඔහුගේ ගීත රචනා අංශ තුනකින් පෝෂණය ලද්දේ ය.
1. සම්භාව්‍ය සිංහල සාහිත්‍යය
2. ගැමි සාහිත්‍යය
3. නූතන ජන වහර
මේ අංශ තුනෙහිම මනා පරිචයක් ලබා සේකර ගීත රචනා කළේ ය. ඔහුගේ ගීත අර්ථ පූර්ණ ය, භාව පූර්ණ ය, රස පූර්ණ ය. සව්වන්ගේ දන මන පුබුදු කරල යි. ශ්‍රාවකයාගේ හද ක්ෂණිකව කම්පනයට පත් කරල යි. රචනය තුළින් ඒ වූ පරිදිම වන චිත්‍රයක් ශ්‍රාවක සන්තානයෙහි චිත්‍රණය කරලයි.
‘සේකරගේ ඈත කඳුකර හිමව් අරණේ...’ කියවන විට කව් සිළුමිණෙහි ඇතැම් යෙදුම් මගේ සිහියට නැඟේ. ගැටවරයෝ චිත්‍රපටය සඳහා ඔහු ලියූ ‘හාරිච්චි බෝරිච්චි...’ වත්මන් ජන වහර කෙතරම් උචිත ලෙසින් ඔහු යොදා ගත්තේ දැයි ප්‍රකට කර යි. ‘පිලේ පැදුර හේනට අරගෙන යනවා’ කියවන විට ගැමි සාහිත්‍යයෙන් ඔහු ලත් ආභාසය පැහැදිලි වෙයි.
කලාකරුවකුට උචිතානුචිත බව (ඖචිත්‍යය) පිළිබඳ පැහැදිලි අවබෝධයක් පැවැතිය යුතු ය. කිසියම් අත්දැකීමක් ඉදිරිපත් කිරීමේ දී එය තෝරා බේරා ගෙන ඖචිත්‍යය ආරක්ෂා කරමින් ඉදිරිපත් කළ යුතු වෙයි. මේ සඳහා සුවිශද බුද්ධියක් මෙන්ම ගැඹුරු ඉවසීමක් ද අවශ්‍ය වෙයි.
සේකර සිය නිර්මාණ කෙළේ බොහෝ ඉවසිල්ලෙනි, පරිස්සමිනි. ඔහු අතිධාවනකාරී රචකයකු නොවූයේ ය. ශූර සිත්තරකු ඉතා ඉවසිලිවන්තව තැන්පත්ව වර්ණ සංයෝජනය කරන්නාක් සෙයින් සේකර සිය රචනා කළ බව කිව යුතු ය. මේ නිසා ඔහුගේ රචනා එකිනෙක පරයමින් සාර්ථක වූයේ ය.
සේකර කලා මාධ්‍යයන් කීපයක කුසලතා ප්‍රදර්ශනය කළ කලාකරුවකු වුව ද ඔහු අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨ කවියෙකි. ගීත රචකයෙකි. භාරත දේශයේ සිටි ශුර්දාස් (භක්ති ශුර්දාස්) වෛෂ්ණව සාහිත්‍යයෙහි ගීත රචකයා යි. ඔහුගේ ගීත රචනා අදත් භාරතයෙහි අග්‍රගණ්‍ය ගායකයෝ ගයති. හින්දුන්ගේ භගවද් ගීතාව, ජයදේවයන්ගේ ගීත ගෝවින්දය හා ථාගෝර්ගේ ගීතාංජලිය ද භක්ති පූර්වක හැඟීම් ගැබ් කොට ගත් රචනයෝ යි. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ගණයෙහි ගායකයෝ මහත් බැති සිතින් යුතුව මේ රචනා ගායනා කරති. එලෙසින් ම සේකරගේ රචනා ද ගායනා කළ හැකි ය.
සේකරගේ සැම පද්‍ය නිර්මාණ සංග්‍රහයක් තුළින්ම ශ්‍රේෂ්ඨ ගායනා සඳහා යෝග්‍ය රචනා සොයා ගත හැකි ය. ඇතැමකු ඒවා තුළ කාව්‍යමය දොස් ඇතැයි දකින්නට පුළුවන. එහෙත් ඒවා ගීතවත්ව ගායනා කිරීමට කිසිදු අපහසුවක් නොමැත.
අපේ සම්භාව්‍ය සාහිත්‍යාගත මයූර සන්දේශය, සැලලිහිණි සන්දේශය, ගුත්තිල කාව්‍යය හා කාව්‍යශේඛරය (ඇතැම් පද්‍ය) යන පද්‍ය ග්‍රන්ථයන්හි පැනෙන පද්‍ය රමණීය ලෙස ගායනා කළ හැකිය. ගුත්තිල කාව්‍යය මුළුමනින්ම ගීත නාටකයක් බඳු යයි මම හඟිමි. ඉහත මා සඳහන් කළ සම්භාව්‍ය පද්‍ය ග්‍රන්ථ අප සතු ශ්‍රේෂ්ඨ පද්‍ය ග්‍රන්ථ ලෙස සියලු දෙනම අවිවාදයෙන් පිළිගනිති. එම පද්‍ය නිර්මාණයන්හි සතාතනිකව එම ශ්‍රේෂ්ඨත්වය උරුම කොට ගෙන ඇත්තේ ඒවා රචනා කළ කවීන් සතුව පැවැති ගීතවත් බව නිසා යයි කිව යුතු ය. එම නිසා සේකරගේ පද්‍ය නිර්මාණ ගීතවත් වීම ඔහු දෝෂ දර්ශනයට ලක් කිරීමට තුඩු දෙන්නක් නොව ඔහු සම්භාවනයට පාත්‍ර වීමට තුඩු දෙන්නකියි මම විශ්වාස කරමි.
මා ගැයූ සේකරගේ පළමු වැනි ගීතය මගේ මතකයට නැඟ එයි:
“මළ ඉර බසිනා හැන්දෑ යාමේ
ඔබගෙන් සමු ගන්නම්
අඳුරට ඉඩ දී අඳුරෙහි සැඟවී
ඔබගෙන් වෙන් වී මම යන්නම්.
නිඳි නැති යානේ
රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ
සුළඟේ දැවටී ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්
සියුමැලි දෑතින් ඔබ හිස අතගා
ඔබ නිදි කරවා මම යන්නම්.
අලුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග
පිනි කඳුළක් රඳවා
සුසුමක් වාගේ ඉන් පිට වී
ඔබගෙන් වෙන් වෙන්නම්.
අඳුරට ඉඩ දී අඳුරෙහි සැඟ වී
ඔබගෙන් වෙන් වී මම යන්නම්.”
මා ගැයූ සේකරගේ ගීවල අග්‍ර ඵලය ‘ඈත කඳුකර හිමව් අරනේ...’ යයි මම පිළිගනිමි. මෙය ගීත රචනය, සංගීත රචනය හා ගායනය ඉතාම අනුකූලතා පූර්වකව එකිනෙකට පෑහුණු ගීතයක් ලෙස සදාකල්හි මගේ මතකයේ රඳා පවතිනු ඇත. අන්‍යෝන්‍ය වශයෙන් අංශ තුනෙහි අනුකූලතා පූර්වක ගුණය මෙහි උපරීම මට්ටමින් සංකලනය වී පවතී. ගීත රචනය, සංගීතය හා ගායනය යන අංශ තුන උපරීම ඖචිත්‍යයෙන් යුතු බව දක්නට පිළිවන.
පෙරදිග ලෝකයෙහි දෙවඟනෝ දෙදෙනෙක් බුහුමන් ලබති. ඒ කලාවට අධිපති සරස්වතී හා ධනයට අධිපති ලක්ෂ්මී ය. ධනයට අධිපති ලක්ෂ්මී ඉදිරි දොරින් පිවිසෙන විට සරස්වතී පෑළ දොරින් පියමං කරයි. සේකර වෙත කිසි දිනෙක ලක්ෂ්මී ළඟා නො වූ නිසාදෝ ඔහු මියෙන තුරුත් සරස්වතී ඔහු වැලඳ ගෙන සිටියා ය. ඔහු කීර්තිය සොයා බඩ නොගෑ අතර ඔහු වෙත එය ගලා ආයේ ය. කුලී නිවැසියකුව මියගිය සේකර වෙත ජනතාව රොද බැඳ ගෙන ඇඳී ආයේ එ බැවින් විය යුතු ය.
සේකරගේත් මගේත් ඇසුර සුහදයෝ ‘ගී පොත යි මී විත’ යි නිබඳව සඳහන් කළ හ. අප සුහදයන්ගේ එතෙපුළ බුහුමන් පෙරදැරිව ඉවසමි. සේකර ඇසුරු කළ සැම මොහොතක්ම බෙහෙවින් ප්‍රසන්න ය, නව ප්‍රබෝධයක් ජනනය කළේ ය. ඔහුගේ වියොවින් මා බෙහෙවින් හුදෙකලා වූ බව නොවළහා කිව යුතු ය.