කෙටිකතා කෙත අස්වද්දන අපූරු කෘතියක් | සිළුමිණ

කෙටිකතා කෙත අස්වද්දන අපූරු කෘතියක්

අ‍යෝධ්‍යා

කර්තෘ - ලීලානන්ද වික්‍රමසිංහ

ප්‍රකාශකයෝ - එස්. ගොඩගේ සහ සහෝදරයෝ

මිල - රු. 350

ගත්කතුවර මාධ්‍යවේදී ලීලානන්ද වික්‍රමසිංහ මීට ඉහත ‘සිරකරුවාගේ රාත්‍රිය’, ‘රසවසවුළු’ හා ‘වෘකයා’ යන කෙටිකතා සංග්‍රහ ලියා පළ කළ නිර්මාණාත්මක කෙටිකතා රචකයෙකි.

විවිධ තේමා මුල්කර ගනිමින් ලියා ඇති කෙටිකතා නිර්මාණ 15කින් අයෝධ්‍යා කෙටිකතා සංග්‍රහය සමන්විත‍වේ. ජලාශයක ගැඹුර, නවසඳ, ඉලුක් ඉස්කෝලය, සොල්දාදුවා, මිනිසා සහ ගැහැනිය, කොහොඹ ගස තනිවී නැත. තල් අරඹෙන් නික්ම යාම... ආදී වශයෙන් පෙළ ගස්වා ඇති මේ කෙටිකතා නිර්මාණ සියල්ල පාඨකයාගේ සිත් ඇද බැඳ ගනී. ඖචිත්‍ය බස් වහරකින් ප්‍රබන්ධිත එක් එක් කෙටිකතාව එහි ආරම්භයේ සිට අවසානය තෙක් කුහුල වඩනසුලු ය.

පූර්විකාව යටතේ කතුවරයා සඳහන් කරන පරිදි “මේ සෑම කතාවකට ම පිටුපසින් එයට අනුභූති වූ සුන්දර හෝ අසුන්දර හෝ කතා පුවතක් ඇත. මෙහි එන සෑම චරිතයක් ම ජීවිතයේ සැඟවී පවත්නා අඳුරු හා ගැඹුරු පත්ල ස්පර්ශ කිරීමට යොදාගත් ප්‍රතිනිර්මාණය කරන ලද ප්‍රයෝගයෝ වෙති” යන ප්‍රකාශය ‘අයෝධ්‍යා’ කෙටිකතා සංග්‍රහයේ ඇති සෑම නිර්මාණයකින් ම පාහේ ඉස්මතු වෙයි. එක් එක් කෙටිකතාවේ තේමාවෙන් ‘ජීවිතය විසඳාගත නොහැකි ගැටලුවකි. ඒ ගැටලුව වනාහි ජීවිතය හා ප්‍රතිබද්ධ වූ චෛතසික ගොනුවකි‍. දුක සැප සොම්නස දොම්නස ආදී වූ චිත්තවේගවලින් පිරී ඇති එය අනිත්‍යය වූවකි. එය වටහා ගැනීම අතිදුෂ්කර කටයුත්තකි” යන්න පාඨකයාගේ අ‍වබෝධයට හසුවන’යුරින් කෙටිකතාවේ බස හැසිරී තිබේ. මෙහිලා මේ කෙටිකතා කියවන පාඨකයා තුළ කතුවරයා සඳහන් කරන පරිදි ජීවිත පරිඥානයක් ඇති වෙයි. පහන් සංවේගය අවසන ජනිත වෙයි. ‘සොල්දාදුවා මිනිසා හා ගැහැනිය’ යන කෙටිකතාව මනුෂ්‍යත්වයේ උදාරත්වය පාඨකයා තුළ භාවාතිශය කරවයි. මෙහි සඳහන් මිනිසා සැඟවී ඇති සංකේතයයි. උදාර මිනිස්කම ජාති භේදය, ලිංග භේදය ඉක්මවා යන්නක් බව මෙහි නිරූපිත ගැහැනියගේ චරිතය කියාපායි. එහි කේන්ද්‍රීය චරිතය වූ සොල්දාදුවා පිළිබඳ කෙරෙන පහත සඳහන් විස්තරයෙන් සාමාන්‍ය මිනිසකු සොල්දාදුවකු වශයෙන් පන්නරය ලබන අයුරු කතුවරයා මෙසේ නිරූපණය කරයි.

... තමා යුද හමුදාවට බැඳීමට තීරණය කළේ ජීවත්වීමේ සටන සඳහා මිස ජාත්‍යාලය හෝ යුද කිරීමේ ආශාව නිසා නොවන බව සිහි කළ සොල්දාදුවාගේ මුවඟට සිනාවක් නැඟිණ. එහෙත් යුද ඇඳුම ඇඟලා ගිනි අවිය සුරතින් ගත් සැණින් තමාගේ දෙපතුලේ සිට හිස් මුදුන දක්වා සිරුර ඇතුළතින් දිව ගිය කිසියම් රහස් සංඥා ධාරාවකින් තමා වෙළී යන්නාක් මෙන් ද යන්ත්‍රයක් මෙන් අණ පිළිපැදීමටත් තම මාතෘ භූමිය වෙනුවෙන් පෙරමුණ ගත යුතුය යන හැඟීමෙන් තමා පොලඹවනු ලැබූ අයුරු පුදුම සහගත ය.‍

මෙහි නිරූපිත ගැහැනිය මනුෂ්‍යත්වය හමුවේ එඩිතර තැනැත්තියකි. ඈ තමාගේ දිවි ගැනවත් නොතකා සොල්දාදුවා තුළ සැඟවී ඇති මිනිසා සොයා පැමිණියා ය. “අපි රෑට රොටී පිච්චුවා. ඒ වේලාවේ මේ ඇත්තා ඉන්නෙ බඩගින්නෙ නේද කියලා හිතුණා. මේ මේ ඇත්තගෙ පංගුව‍; ඕ සොල්දාදුවාගේ මුහුණ නොබලා කීවා ය.”

එය මනුෂ්‍යත්වය පිළිබඳ කදිම නිරූපණයකි. ඇගේ උදාරත්වයෙන් සොල්දාදුවා විමතියට පත් වෙයි. “ඒ බං උඹට බය හිතුණෙ නැද්ද ආපසු එන්න...” යන පැනයෙන් පසක් වෙයි‍.

“මොකටද බය වෙන්නෙ ගැහැනියක් මිනිහෙකුට කවදාවත් බයවෙලා නෑ” ඇය මඳක් සිනාසෙමින් කීවා ය.

“ඒත් මම සොල්දාදුවෙක්, නුඹලාගේ හතුරෙක්”

“මට එහෙම හිතුණේ නෑ.” ඕ ගානකට නැතිව කීවා ය. ගැහැනිය ආපසු යන තුරු ම සොල්දාදුවා ඉන්පසු කිසිවක් කතා නොකර සිටියේ ය.

වෙඩි වැදුණු සොල්දාදුවාට පානය කිරීම සඳහා ලබාදීමට ජලය නොමැති තැන තම දරුවාට එරී තිබූ කිරි ඔහුට පොවා පණ දී සිය නිවසට රැගෙන ගොස් එහි තබාගෙන ප්‍රතිකාර කිරීමට තරම් ඕ උදාර තැනැත්තියක් වූවා...

මනුෂ්‍යත්වයේ අපූර්වත්වය පිළිබඳ එවන් සංවේදී නිරූපණයක් ඉස්මතු කෙරෙන ‘සොල්දාදුවා මිනිසා හා ගැහැනිය’ කෙටිකතාව පාඨකයා තුළ රසවින්දනය තීව්‍ර කරන එකකි.

‘තල් අරඹෙන් නික්ම යාම’ කෙටිකතාව කාලීන අවශ්‍යතාවක් සපුරාලූ සාර්ථක නිර්මාණයකි. කොටි සංවිධානයේ කෲරත්වය, අමානුෂිකත්වය, ඔවුන් තුළ සැඟවී ඇති යථා ස්වරූපය, කතාවේ නිරූපිත මුත්තු සාමිටත් ඔහුගේ පවුලටත් අත්වූ ඉරණමෙන් පසක් වෙයි. මෙහි නිරූපිත මුත්තුසාමි, මුතුලක්ෂ්මී, පූර්ණම් හා විජායි කොටි සංවිධානයේ අමානුෂිකත්වයෙන් පහර කෑ ඔවුන්ගේ කෲරත්වයට භාජනය වූ සමස්ත අහිංසක ද්‍රවිඩ ජනතාව සංකේතවත් කරයි. ජීවිතය පුරා හරිහම්බ කළ දේ කුඩා කරත්තයක පටවා ගැනීමට සලස්වා හිස හැරුණු අතක ගමන් කිරීමට මුත්තුසාමිලාට සිදුවූයේ කොටි සංවිධානයේ අදුරදර්ශී දර්ශනය නිසා ය. එහෙත් අතරමගදී

“ඕක අතහැර දමාපල්ලා. දැන් ඕක ඕනෑ නෑ”

යයි ගිනි අවියක් අතින් ගෙන කිසිදු ළතෙත් බවකින් තොරව අණ කරන්නේ මුත්තුසාමිගෙන් ම කොටි සංවිධානය උදුරා ගත් ඔහුගේ ම පුත්‍රයා ය. ඔහු සතු මානුෂික ගුණාංග සියල්ල කොටි සංවිධානය විසින් විනාශ කර දමන ලද සැටි!

අයෝධ්‍යා කෙටිකතා සංග්‍රහයේ එන ‘සමු ගැනීමේ රාත්‍රිය’ තාරුණ්‍ය ප්‍රේමය පිළිබඳ වර්තමානයේ අත්විඳින්නට නොලැබෙන විරල අත්දැකීමක් විකාශනය වෙයි. ආදරය හමුවේ සදාචාරය රජ විය යුතු අයුරු ඉන් ඉස්මතුවෙයි.

සාහිත්‍ය නිර්මාණයක සර්ව කාලීන බව එහි සාර්ථකත්වය පිළිබිඹු කරයි. ‘අලුත් ඉස්කෝලේ’ ඊට නිදසුනකි. එදා අලුත් ඉස්කෝලය මෙදා තට්ටු ඉස්කෝලයක් බවට පත් වී ඇත. එහෙත් එදා තිබූ මානව චර්යා, අත්දැකීම් අදට ද පොදු ය. වරදකරු නිදොස් වෙයි. අවංකව වැඩ කරන නිවරදකරු දඬුවම් විඳී!

මේ කෙටිකතා රචකයාගේ වර්ණනා චාතුර්ය මේ කෘතිය පුරා ම අවශ්‍ය තැන්වල මතුවෙයි. එය ප්‍රවීණත්වයකි. මේ එබඳු එක් වර්ණනයකි.

වම් ඉවුර ඇළ දෙපස වැදුණු මාරියාවේ හඬ හැරෙන්නට ඉවුරෙහි වැඩුණු කඩොලාන මඳ සුළඟට අසුවී නැමෙමින් ජලයේ වැදෙන හඬ පැහැදිලිව ඇසිණ. කඩොලානේ සැඟවී සිටි කෑදැත්තෝ තොර තෝංචියක් නැතිව කෑ ගැසූහ. (වම් ඉවුර පි. 66)

මේ අයුරින් සලකා බැලීමේදී ගත්කතුවර ලීලානන්ද වික්‍රමසිංහගේ ‘අයෝධ්‍යා’ කෙටිකතා සංග්‍රහය පුරන්ව ඇති කෙටිකතා සාහිත්‍ය කෙත යළි අස්වද්දන්නට නව පරපුරට පන්නරයක් වේවා!

Comments