ළාහිරු දහ­සක් හි උද­ය­රත්න ජීවිත රඟ­ම­ඬ­ලෙන් සමු­ග­නියි | Page 3 | සිළුමිණ

ළාහිරු දහ­සක් හි උද­ය­රත්න ජීවිත රඟ­ම­ඬ­ලෙන් සමු­ග­නියි

මීට දශක තුනකට ඉහත රූපවාහිනියෙන් විකාශනය වූ 'ළා හිරු දහසක් 'ටෙලි නාට්‍යය තවමත් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ පවතින්නක්. විටින් විට මේ ටෙලි නාට්‍යය ජාතික රූපවාහිනියෙන් විකාශය වීම නිසාම එය අදටත් අප නෙතු ගැටෙනවා. මෙනිසාම එහි චරිත අපේ හදවත් තුළ තවමත් ජීවත් වෙනවා. එතරමටම ඒ චරිත සමඟ බැඳීමක් , ළෙන්ගතුකමක් තවමත් අප සතුයි. මේ නාට්‍යයේ එන ප්‍රධාන චරිතයක් තමයි 'උදයරත්න'.

වඩු බාස්වරයකු සහ විදෙස්ගත වූ පුද්ගලයකු ලෙස අපූර්ව රංගනයකින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි 'උදයරත්න' එනම් සැබෑ දිවියේ රෝහිත සමරවීර පසුගිය දා සදහටම ඔහුට ආදරය කළ සැමගෙන් සමුගෙන ගියේ කවුරුත්ම නොහිතපු ලෙසයි. රෝහිතගේ විපත දැනගත් විගස අප ඔහු පදිංචිව සිටි රාජගිරිය කලපලුවාව නිවෙසට ගිය අතර ඒ වන විටත් ඔහුගේ අවසන් කටයුතු සිදු කර තිබිණි. ඔහුගේ ප්‍රිය බිරිය කාන්ති සමරවීර,දියණිය මෙන්ම බාලපුතු ද රෝහිතගේ වියෝව පිළිබඳ අප සමඟ කතාබහ කළේ දැඩි වේදනාවකින් යුතුවයි.

''දැනට මාස හයකට වගේ ඉහත සිටම පපුවෙ මහන්සිය මහත්තයට තිබුණා. මිය යන්නට පෙර උණ ගැනීම නිසා දවස් දහයක් පමණ එයා ගොඩක් දුර්වල වෙලා හිටියේ.කෑම බීම පවා නොගත්ත තරම්. පස්සේ උණ හොඳ වුණා. මරණයට හේතුව හෘදයාබාධයක් කියල තමයි වෛද්‍යවරු පවසන්නේ.උණ හැදුණාට පස්සේ මොනවත්ම කෑවෙ නැහැ. මියගිය දවසෙත් මාත් එක්ක හොඳට සාලෙට වෙලා කතාබහ කරමින් හිටියා. ඉන්පස්සේ නිදාගන්න යන බව කිව්වා.එපමණ තමයි. එයාව දකින්න ලැබුණේ පෙට්ටියක් මතයි''කාන්ති පවසන්නේ හැඬූ කඳුළෙනි.

''1993 දී වැලිඔය දී නාට්‍යයක් පෙන්වන්න ගිය අතරවාරයේ රිය අනතුරක් සිදුවුණා. එනිසා අවුරුදු එක හමාරක් විතර රෝහලේ නැවතිලා ප්‍රතිකාර ගන්න එයාට සිදු වුණා.ඊට පස්සෙ අවුරුදු 13 ක්ම අත්වාරුවලින් තමයි එහෙ මෙහෙ ගියේ. එනිසා එයා නළුවෙක් විදිහට ජනප්‍රියත්වයක් දිනාගත් සාර්ථකම කාලෙ කලාවෙන් දුරස්වයි එයාට ඉන්න සිදු වුණේ.

ඒත් සුවපත් වුණාම 'තරුවක් ඉකිබීදී' කියන වේදිකා නාට්‍යය එයා නිර්මාණය කළා. එය රටවටා පාසල්වල ප්‍රදර්ශනය කළා. අපි දෙන්න මුණ ගැහුණෙත් කලාව නිසා. මමත් එයාගෙ නාට්‍යවල රඟපෑවා. හඳුනාගෙන දවස් දහයෙන් අපි විවාහ වුණේ. අවුරුදු 26ක් එකට ජීවත් වුණා. රෝහිතගේ ගතිගුණ හරිම හොඳයි. මනුස්සයෙක් විදිහට රෝහිත පුදුමාකාර හොඳයි. දරුවන්ට හරිම ආදරෙයි. මට ආදරේට කතා කළේ 'බබා'කියලයි. හැමවෙලාවෙම කියන්නේ බබා ඔයා තමයි මගේ අම්මා කියලා. මොන ප්‍රශ්න ජීවිතේට ආවත් අපි හරිම ආදරෙන් ජීවත් වුණා. කලා ක්ෂේත්‍රයේ වේවා පාසලක වේවා මොන උත්සවයකට ගියත් එයින් ලැබෙන කේක් කෑල්ල මට අරගෙන එනවා.

කවදාවත් එතැනදී ඒ දේවල් කන්නෙ නැහැ. මාත් එක්ක බෙදාගෙන තමයි කන්නේ. එයාට අවුරුදු 61 යි. හිතා ගන්න බැරි විදිහට අපිව දාල ගියා.කලපලුවාව ගමට එයා ඇත්තටම විශාල සේවයක් කළා. ගමේ හැම සමිතියකම ප්‍රධානත්වය ගත්තේ එයා. ඒ වගේම ඕනම දේක දි ඉදිරිපත් වෙලා කතා කරන්නේ එයා. එයා නැති සමිතියක් මේ ගමේ තිබුණෙ නැහැ.සණස සමිතිය වෙනුවෙන් නාට්‍යයක් කළා. 'සණසයි මට පාර කියන්නෙ' කියලා. එයාට අන්තර් ජාතික මට්ටමේ රන්පදක්කමක් අරන් දුන්නා. කවදාවත් එයා නාට්‍ය හොය හොයා ගියේ නැහැ. අධ්‍යක්ෂවරයෙක් ළඟට ඇවිත් කතා කළොත් හරිම ආසාවෙන් රංගනයට දායක වුණා. අවුරුදු 13ක් වගේ ලොකු කාලයක් අාබාධිතව සිටි නිසා වෙන්න ඇති ටෙලිනාට්‍ය ගොඩක් එයාගෙන් මඟ හැරුණා. සමහර වෙලාවට එයා අහනවා බබා මට මේ මොනවද වුණේ කියලා. කොහොම හරි 2005 විතර වෙන කොට එයාට හොඳටම සුව වුණා.ඉන්පසුව තමයි නාට්‍ය නිර්මාණය කරන්න පටන් ගත්තේ.

එයා රඟපාපු 'ලා හිරු දහසක් 'හැම වසරකම වගේ නැවත නැවත ජාතික රූපවාහිනියෙන් විකාශය වෙනවා. එයා ඒ නාට්‍ය දකින හැම වෙලාවෙම ඒ රංගනය ගැන හරියට සතුටු වුණා. ඒ කාලෙ දැන් වගේ විවිධ නාළිකා තිබුණෙ නැහැනෙ. එයා උදයරත්නගේ චරිතය ගැන කියන්නේ ,'මේ මගේ පෙර පිනකට ලැබුණු චරිතයක්' කියලයි. අද අපේ දුව එයාගේ අඩිපාරේ යමින් සිටිනවා.

දුව තවමත් පාසල් අධ්‍යාපනය හදාරනවා. දුවට හැමදාම කියන්නේ 'පුතේ, කලාව කියන්නේ කැලයක්.කැපිලි කෙටි අනන්තයි. ඒ කැලේ ඉන්න හාපොව්වෙක් වගේ ඔයා ඒ නිසා මේ ගමන විමසිල්ලෙන් යන්න කියලයි.දෙවැනි පුතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙන ගන්නවා. ලොකු පුතා රැකියාවක් කරනවා. මේ තුන්දෙනාටම එයා හුඟක් ආදරෙයි.රෝහිත කලා ලෝකයේ හැමදාමත් මතක් කරන නම් කිහිපයක් තිබෙනවා. ඒ ධම්ම ජාගොඩ සර්, හරිම ආසාවෙන් ධම්ම ජාගොඩගේ ගෝලයෙක් කියලා කියනවා.බුදු පහන තිබ්බත් සර්ව මතක් කරනවා. ජීවත් වෙන්න වත් පොහොසත් කම් නැති වුණත් එයා කවදාවත් මුදල් පසුපස හඹාගියේ නැහැ.

අපි ජීවත් වුණේ පාසල්වලට ගිහින් පාසල් නාට්‍ය පෙන්වලා. අද දවස ජීවත් වෙන්න තියෙන්නේ රුපියල් 200 ද කාටවත් කරදරයක් නැතිව එය පිරිමහ ගෙන ජීවත් වුණා.එයා නාට්‍ය කලාව තුළම හිටිය මිසක් වෙනත් රැකියාවක් කරලා කාගෙන්වත් ජීවත් වෙන්න බලාපොරොත්තු වුණේ නැහැ. ඇත්තටම මිය යන විටත් මුදල් හදල් යහමින් තිබුණෙ නැහැ. මළගෙදර සියලු වැඩකටයුතු කළේ කලපලුවාව ගමේ ගම්වැසියන්. ඇත්තටම කියන්න දුකයි. කලාව වෙනුවෙන් කැපවී සිටියත් රෝහිතගේ මළගමටවත් එයත් එක්ක එකට රඟපාපු කිසිම කලා කරුවෙක් ආවෙ නැහැ. අඩුම තරමින් ජාතික රූපවාහිනියෙන් ශෝකය ප්‍රකාශ කිරීමක්වත් ලැබුණෙ නැහැ.

අදටත් උදයරත්න කියන චරිතය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. එයාට ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඔවුන්ටවත් ඒ ප්‍රවෘත්තිය හරි හැටි ලැබුණෙ නැහැ. කිසිම මාධ්‍ය ආයතනයකින් එයා මිය ගිය පුවතවත් කිව්වෙ නැහැ. මම 'තාත්ත පව් පුතේ' කියලා අපේ පුතාව රූපවාහිනියට ඇරලා තමයි එයා මිය ගිය පුවත ප්‍රවෘත්ති විකාශය ට කියන්න කියන එක දැන්වුවේ. ඇත්තටම එය හරිම වේදනාත්මක ශෝචනීය අත්දැකීමක්. ඒ වගේම මගේ සැමියාට කරපු අසාධාරණයක් ලෙසයි මට දැනෙන්නේ. මම අහන්නේ ඇයි එහෙම කලාකරුවකුට කරන්නේ කියලා? ඒ වගේම පසුගිය දවසක රූපවාහිනියට මහත්තයා ගිහින් තිබෙනවා. එතැන දී ඔහු හඳුන්වා දී තිබෙන්නේ මම තමයි 'ලා හිරු දහසක්' හි 'උදයරත්නට' රඟපෑවේ කියලා.

එවිට ඒ අදාළ කෙනා කිව්වලු එහෙම නම් පරාක්‍රම නිරිඇල්ලගෙන් ඒ බවට ලියුමක් ගෙන එන්න කියලා. එදා එයා ගෙදර ඇවිත් ඒ ගැන කිය කියා හොඳටම ඇඩුවා. ඒ වගේ තත්ත්වයක් තමයි අද දුප්පත් කලාකරුවන්ට අත්වෙලා තිබෙන්නේ.යහමින් මුදල් හදල් තිබුණ නම් අද මේ ගේ පුරාවටම කලාකරුවන් රොද බැඳගෙන ඉඳියි.මුදල් මත තමයි හැම දෙයක්ම අද තීරණය වෙන්නේ. කොහොම වුණත් කලපලුවාව ගමේ ජනතාව කවදාවත් රෝහිතවත් අපිවත් අත්හැරියෙ නැහැ. හැම‍දෙනාම අපිට උපරිමයෙන් උදව් කළා. මට දැනෙන්නේ රෝහිත මුදල් නෙමෙයි මිනිසුන්වයි හම්බ කළේ.

ඒ ගැන ලොකු සතුටක් හදවතේ තියෙනවා. නමුත් එයා කලාවට කළ සේවය වෙනුවෙන් පෙරළා මේ සමාජයෙන් ලැබිය යුතු නිසි ගෞරවය එයාට ලැබුණ ද කියන එක මට තවමත් ගැටලුවක්? කොහොම වුණත් රෝහිත නැති පාඩුව හැමදාමත් අපි ට තදින්ම දැනේවි.දෙනෙත් බොඳ කරමින් ගලා හැලෙන කඳුළු බිඳු පිසදමන කාන්ති සුසුමක් වාතලයට මුසු කරමින් පැවැසුවා. 

Comments