ළමා­පි­ටි­යෙන් වේදි­කා­වට ඇවිත් පවු­ලම කලා­වට සම්බ­න්ධ­කර ගත්තා | සිළුමිණ

ළමා­පි­ටි­යෙන් වේදි­කා­වට ඇවිත් පවු­ලම කලා­වට සම්බ­න්ධ­කර ගත්තා

කැලණි පාලමෙන් වේදිකාවට අවතීර්ණව ගුවන්විදුලිය, පුංචි තිරය හා සිනමාව ජයගත් රංගන ශිල්පිනියකි ගීතා කාන්ති ජයකොඩි.මෙවර අමතක නොවන මතක විශේෂාංගයට එක්වු ඇය ගෙවුණු මතකයන් අවදි කළේ මෙසේයි.

 • ජෝතිපාලට ඇහෙන්න ගීතයක් ගැයුවා

 

මගේ ගම වැල්ලම්පිටිය.අපේ පවුලෙ අම්ම, තාත්ත ඇතුළුව සහෝදර සහෝදරියන් පස් දෙනයි.තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙස සේවයකළා. අම්මා ගෘහණියකව අපව රැකබලාගෙන සිටියා.

මම, අයියා,මල්ලී සහ නංගිලා දෙදෙනාම අදවන විට කලාවට සම්බන්ධව සිටිනවා. අපේ පවුල කලා පවුලක් වීමට බලපෑ මූලිකම හේතුව මම. මට මතකයි එතකොට මට වයස අවුරුදු හයක් විතර ඇති.

අපේ අම්මගෙ මහ ගෙදර තිබුණු කොටිකාවත්තෙ අපි නිතරම යනවා .ඒ ගේ ඉස්සරහ තිබෙනවා ‍තරමක් උස තාප්පයක්.එහෙ ගියහම අපි ඔතන තමයි දවසම ගෙවන්නෙ.

එහේ නැවතිලා හිටියා හැඩි දැඩි පුද්ගලයෙක්. එයා මාමාගෙ යාළුවෙක් කියල තමයි අපි දන්නෙ.දවසක් මාමා මාව තාප්පය උඩ තියල මෙයාට ලස්සනට සින්දු කියන්න පුළුවන්, මේ මාමාට ඇහෙන්න සින්දුවක් කියන්න කිව්වා.

මමත් ඉතින් හැඩදාලා'පිළිගන්න මම චන්න ඇමතී වෙමි'ගීතය ගායනා කළා. ෂා ..හරි ෂෝක්නේ ලොකු වෙලා ගායිකාවක් වෙන්න ඕන කියලා ඔළුව අත ගෑවා.

ලොකුවුණහම තමයි දැනගත්තෙ එදා එහෙම කියල තියෙන්න එච්. ආර් ජෝතිපාල කියන අසහාය ගායන ශිල්පියා කියල. මට ගොඩක්ම සතුටු හිතු‍ෙණ ඔහුගේම ගීතයක් ඔහුට ඇහෙන්න ගායනාකිරීමට වාසනාව ලැබීම ගැන.එතුමාගේ නිහතමානිකම අදත් මතක් වෙනවා.

 

• ළමා පිටිය අදත් මතකයි

 

මම පාසල් ගියේ වැල්ලම්පිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාල‍යට. උසස්.පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවෙ එම පාසලේදීමයි.ගීතා කාන්ති කියන චරිතය පුංචි කාලෙ නිහඬ චරිතයක්. ඒ වුණත් පාසලේ පොදුවැඩවලදීත්, ක්‍රිඩා කටයුතුවලදීත් මූලිකත්වය ගෙන කටයුතුකළා. පාසල් නෙට්බෝල් කණ්ඩායමේ නායිකාවත් සරඹ කණ්ඩායමේ නායිකාවත් වුණේ මමයි.

අපි නෙට්බෝල් තරග සඳහා සමස්ථ ලංකා තරගවලට පවා යනවා.මම අනෙක් යහළුවන්ට වඩා උස නිසා ෂූටර් විදිහට ක්‍රිඩාකළා. අද වගේ ඒ කාලෙ ගෙවල්වලට විදුලි එළිය තිබුණේ නෑ.

හවසට අපි කට්ටිය එකතුවෙලා පොල්අතුවලින් හට් ගහලා වේදිකාව උඩ පෙට්ට්‍රල් මැක්ස් ලාම්පුව තියාගෙන නාට්‍ය රඟපානවා. මම රෙද්ද හැට්ටෙ ඇඳල ගම දුව ලෙසත් අයියා කොල්ලා වගේත් 'චන්දන ඇඟ ගාලා කොණ්ඩෙ කඩා දාලා 'ආදි ගීතවලට රඟපානවා.ගමේ යහළුවො පිරිසක් සිටියා අපිත් එක්ක මේ වැඩවලට හවුල්වෙන. අපි කරන මෙවැනි දේ දකින අම්මාට මාව ගුවන්විදුලියේ ළමාපිටියට සම්බන්ධ කිරීමට අවශ්‍යතාව හොඳටම තිබුණා.

ඔහොම ඉන්නකොට අපේ ඥාතිවන නන්දා රත්නතුංග මහත්මියගේ මග පෙන්වීම මත ගුවන්විදුලියේ ළමාපිටියට සම්බන්ධවෙන්න අවස්ථාව ලැබුණා.

මමත්,අයියාත් දෙදෙනාම ළමා පිටියට ගියත් මගේ ඉදිරිපත්වීම අයියාට වඩා වැඩි නිසා කරුණාරත්න අබේසේකර මහතා කරන සරස්වතී මණ්ඩපයට යන්න අවස්ථාව හිමිවුණේ මට.

මට මතකයි නිර්මලා පීරිස්,දමයන්ති ජයසුරිය, රෝහණ සිරිවර්ධන යන ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන් එදා ළමා පිටියේ සින්දු කියපු හැටි.

ළමා පිටියෙ සින්දු කියන අතරෙදි කරුණාරත්න අබේසේකරයන්ගේ සංගීත සන්ධ්‍යාව වැඩටසටහනේ නාට්‍ය පැත්තට ළමයි තෝරාගත්තා.

නිරංජලා සරෝජනී, රෝහණ සිරිවර්ධන, පරාක්‍රම පෙරේරා, සමන් අතාවුදහෙට්ටි, කමල් දේශප්‍රිය, චිත්‍රාකුමාරි කළුබෝවිල, යන අය එදා මා සමග සංගීත සන්ද්‍යාවට සහභාගිවුණා.

අපි පුහුණුවීම් කරද්දි විහිළු කරගන්නවා,රසබර කතා කියනවා. එතකොට මගේ වයස අවුරුදු 14ක් විතර ඇති.

දවස් දෙකක් පුහුණු කරල තුන්වැනි දවසෙ රෙකෝඩින් කරනවා.

අමරදේව, සනත් නන්දසිරි, නන්දා මාලනී, සරත් දසනායක,ඩී.ආර් පීරිස් වැනි ප්‍රවීණයන් යටතේ තමයි පුහුණුවීම් කරන්නෙ.

සනත් නන්දසිරි මහතා‍ පුහුණුකරන දිනයට එතුමාගෙ ගෙදරට අපිව එක්කගිහින් හොදට කන්න දීල රෙකෝඩින්වලට එක්ක එනව.

ඒ අතීතය හරිම මිහිරියි. අදටත් අපි හමුවුණහම ඒව කියල කොයිතරම් නම් සතුටු වනවාද..?

 

• සුරංගනී අදටත් ජනප්‍රියයි

 

හැමදාම අම්මට මාත් සමග ගුවන්විදුලියට යන එක අපහසුනිසා අැයට බැරි දවසට අයියව තනියට යවනව. ඔහොම ගිහින් එයත් ළමා පිටියට සම්බන්ධවනවා.බිමල් ජයකොඩිගේ පියා ඔහුයි. අයියටත් මගේ තනියට යන්න බැරි දිනවලට මල්ලී හෝ නංගිලාව මා සමග යවනව.

පියල් ජයකොඩි මල්ලීත් ගුවන්විදුලියෙ සරළ ගී ගායකයෙක් වු‍ෙණ් එහෙමයි. නංගී ශ්‍රියානි ජයකොඩිත්, රත්නා ලාලනි ජයකොඩිත් ගීත ගායනයටත් රංගනයටත් යොමුවන්නේ එසේයි.

පසුකාලීනව මට අවුරුදු 21දී විතර ගුවන්විදුලි සහන නිවේදිකාවක් ලෙස අම්බිගා ගීතයෙන් ගීතය ආදි වැඩසටහන් ඉදිරිපත්කළා. ළමා පිටියෙ සිටිනකාලෙ බන්දුල විතානගේ මහතාගේ 'ලංකා කතාව' කියන නාට්‍යයේ කැතරින් කුමාරිට රඟපෑවා. ඒ පාසල් යන ගමන්.

පසුව වැනීසියේ‍ වෙළෙන්දා නාට්‍යයට සම්බන්ධ වනවා. ටික කලයි එහි රඟපාන්නෙ. රූපවාහිනියෙ ළමා අංශයෙන් කළා 'හත් පණ' නාට්‍යය. එහි ගම දුවගේ චරිතය රඟපානකොට මට වයස අවුරුදු 18ක් විතර ඇති.

පසුව ගීතා කාන්ති ජයකොඩි කියන රංගන ශිල්පිනියව රටක් හදුනගන්නෙ 'කැලණි පාලමේ' සුරංගනීගේ චරිතයෙන්. ආර්. ආර් සමරකෝන් මහතා දවසක් ඇහුවා රඟපාන්න කැමැතිද කියා මම ගෙදරින් අහල කියන්නම් කීවා. අම්මලාගෙ අකැමැත්තක් තිබුණෙත් නැති නිසා කැම­ැතියි කීවම මම නාට්‍ය රඟපානව බලන්න ඕන කියා දවසක් මම නාට්‍යක් රඟපානව බලන්න ආවා. පස්සෙ දන්වන්නම් කීවා.

ඊට අවුරුද්දක‍ට විතර පස්සෙ කැලණි පාලමේ ස්කූල් ගර්ල්ගෙ චරිතයට මා තෝරාගත්බව දන්වා එවා තිබුණා. එදා ඉදන් කැලණි පාලමේ සුරංගනී ලෙස රඟපානවා.සුරංගනී රසිකයන් අතර අදත් ජනප්‍රියයි.

 

• පවුලම කලාවට සම්බන්ධයි

 

එදා මෙදාතුර වේදිකා නාට්‍ය15ක විතර රඟපෑවත් කැලණි පාලමේ සුරංගනී ගොඩක්ම රසිකයන් අතරට ගියා.

ටෙලිනාට්‍ය 100පමණ රංගනයෙන් දායකවී තිබෙනවා. ඒවා රූගතකිරීම් කරනවිට මුහුණ පාන්න සිදුවු සිදුවීම් කියන්න බැරිතරම්.

චිත්‍රපට 15ක පමණ රඟ පා තිබෙනවා. අද අපේ පවුල කලා පවුලක් වෙලා.

මගේ දුව රෂිපබා සන්දීපනිත් කලාවට සම්බන්ධයි.

එදා වගේ නෙමෙයි අද කලාව වෙනස් ඒ නිසා වැඩිපුර චරිත හොයාගෙන හැල්මේ දුවන්නැතුව ජීවත්වෙන්න සරිලන තරමට මුදල් ලැබෙන සේ රඟපෑමේ නිරතවෙනවා. 

 

Comments