
දෙක ම එකයි
‘මම හැමදාම උදේට නොවරදවාම ‘පත්තර පුවත්’ වැඩසටහන රූපවාහිනියෙන් බලන්නෙ මොකද දන්නවද? එතකොට මම දවස පටන් ගන්නෙ රටේ තොටේ වෙන හැම දෙයක් ගැන ම පුවත් ගැන දැනගෙන.’ අකිලා කුස්සියේ උයමින් සිටි තම මව දෙස බලා කීවා ය.
‘එහෙමද? එහෙම නං හෙට උදේට නිකං අපරාදෙ ඔය ‘පත්තර පුවත්’ බලලා කාලෙ නාස්ති කරන්ඩ ඕනැවෙන එකක් නැහැ.’
‘ඒක යස කතාවක්නෙ. ඒ කොහොමද පත්තරවල තියෙන නිව්ස් දැනගන්න එක කාලෙ නාස්ති කිරීමක් වෙන්නෙ?’ අකිලා විමතියට පත්වෙමින් තම මව විමසුවාය.
‘ඇයි දුවේ උඹලෑ නැන්දා හෙට උදේ ම අපේ ගෙදර එනවයි කියල මට කෝල් කරලා කිව්වනෙ. ඉතින් හෙම ආපුවාම එයා එකදිගට කියවන්නෙත් ඔය පත්තරවල තියෙනවා වගෙ රෙට් තොටේ ඕපාදූප නෙ. මව සාවඥ සිනාවක් නඟමින් කීවා ය.
එයත් රිංගලා!
‘රිලවා ගිරා බෙනේට රිංගුව කතාවක් පහුගිය දවස්වල ක්‍රීඩා ක්ෂේත්රයේ හැම තැනක ම බොහොම ජයට කතාබහට ලක්වුණා නේද?’ සෙනෙවි අඹතලේ හෝටලයේ හිඳ මීවිත තොල ගාමින් ජයශ්‍රී දෙස බලා කීවේ ය.
‘හැබෑ ද? ගිරවෙකුත් අතේ තියාගෙන අපේ තරුණ නළුවෙක් නිළියකුත් එක්ක ඉන්න ෆොටෝ එකක් පත්තරේක මුල් පිටුවේ දාලා තිබුණා මම දැක්කා. එහෙම නං මිනිහත් ෂුවර් එකටම ගිරා බෙනේකට රිංගලා!’ ජයශ්‍රි කීවේ උස් හඬින් සිනාසෙමිනි.
ඒවත් බොහොම වැදගත්
දඹදිව චාරිකා සංවිධානය කළ ආයතනය තව නොබෝ දිනකින් යාමට නියමිත දඹදිව චාරිකාවට සහභාගී වන අය කැඳවා ඔවුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පැවැත්වීය.
‘දඹදිව සිද්ධස්ථාන බලන්ඩ යද්දි අපිට හමුවෙන සමහර ඉන්දියානු නගර බොහොම අපිරිසුදුයි. ඒ හින්දා ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්ඩ එහේදි පාවිච්චි කරන්ඩ නාසය ආවරණය කරන වැස්මක් හැමෝම මතක ඇතිව ගේන්ඩ ඕනෙ. අනික එහේ තැන තැන විකුණන කෑම ජාති කන එකෙන් වළකින්ඩ ඕනෙ’ දේශකයා අවධාරණය කරමින් කීවේ ය.
‘එතකොට අපට ෂොපිං යන්ඩ දවස් කීයක් වෙන් කරලා තියෙනවද? මුම්බායි වලදි හින්දි චිත්‍රපටිවල ෂූටිං බලන්ඩ පුළුවන් නම් ඒකත් ගොඩක් වටිනවා.’ එක් තරුණ උවැසියක් නැගිට කීවේ ය.
මැලේ පබිලිස්
“චන්ද්‍රසිරි අයියෙ ඔයා මේ වෙනකං දිගට ම වගෙ ලිව්වේ විහිළු කතානෙ. ඉතින් මේ මොකද හිටපු ගමන් මැලේ කෑම ජාති හදන හැටි පත්තරේකට ලියන්ඩ පටන් ගත්තෙ?” චමරි දුරකතන ඇමතුමක් දෙමින් චන්ද්‍රසිරිගෙන් විමසුවා ය.
“ඇයි ඉතින් එහෙම ලියන එක නරකද?” චන්ද්‍රසිරි සිනාවක් නඟමින් ඇසුවේ ය.
“නෑ නෑ... ඒකෙ ඇති වැරැද්දක් නැහැ. ඒත් අර ඔයා ළඟකදි ලිව්ව විහිළු කතාවකින් හොඳට ම කිපිලා හිටිය බන්දුල මගෙන් අහනවා ‘දැන් අර චන්ද්‍රසිරියා මැලේ පබිලිස් ද කියල.’ ඒකයි.” චමරි කීවා ය.
එහෙම කරන්ඩ වෙයි
“දැන් ඔයාටයි මටයි වෙන්නෙත් අර සයිටම් එකට විරුද්ධව උද්ඝෝෂණය කරන අයියලා අක්කලා වගෙ වෙන්ඩ තමයි.” විනුදි සාලයේ සෙල්ලම් කරමින් සිටි තම නැඟණිය දෙස බලා කීවා ය.
“ඒ මොකද?” තම උකුලේ සිටි බෝනික්කා බිම තැබූ ඉනුල්යා අක්කා දෙස බලා ඇසුවා ය.
“ඇයි ළමයෝ දැන් මම අපේ තාත්තට කී දවසක් කිව්වද අපි දෙන්නට චිත්‍ර අඳින්ඩ පාට චෝර්ක් පෙට්ටියක් ගෙනත් දෙන්ඩ කියල. කෝ තාම ගෙනාවද? දැන් අපි දෙන්නටත් තියෙන්නෙ තාත්තට විරුද්ධව බෝඩ් ලෑලි උස්සාගෙන උද්ඝෝෂණයක් පටන් ගන්ඩ තමයි.’ විනුදි කීවා ය.
ඔයත් ඒ වගේ නෙ
“මොකද අනේ මේ කාමරේ පුරාම තැන තැන පත්තර ගොඩ ගහගෙන? ඕවා විකුණලා දාමුකො. එතකොට මේ කාමරෙත් අස් වෙනවා. අනික ඒකෙන් හොඳ ගතමනාවක් අතටත් ලැබෙනවනෙ.” තම සැමියාගේ ලියන කාමරය අතුගාමින් සිටි ශාන්ති, සැමියා දෙස බලා කීවේ නෝක්කාඩුවට මෙනි.
“ඔයත් හරියට ආණ්ඩුව වගේනෙ. දකින දකින හැමදේම විකුණන්ඩමනෙ බලන්නෙ.” චන්ද්‍රසිරි සාවඥ සිනාවක් පාමින් කීවේ ය.