විදෙස් චිත්‍ර­ප­ටය | Page 2 | සිළුමිණ

විදෙස් චිත්‍ර­ප­ටය

අද්භූත රසයෙන්, සංත්‍රාසයෙන් කුළු ගැන්වුණු ඇමෙරිකානු සිනමාපටය ‘ඇනබෙල්’ 2014 වසරේදී ලොව පුරා බෝනික්කා යන වචනයටත් ඇති කළේ භීතියකි. එය ‘ද කන්ජරිං’ සිනමාපට මාලාවේ දෙවැන්න වූ අතර ඩොලර් මිලියන 256.9 ක් තරම් ඉහළ ආදායමක් ලැබූ සිනමා පටයක් විය.

2013 වසරේ තිරගතවූ ‘ද කන්ජරිං’ කතාවේ චරිත වූ භූත ගවේෂක එඩ් සහ ලොරේන් තරුණ යුවළ හොල්මනක් බවට සැක කරන ඇනබල් බෝනික්කා සම්බන්ධයෙන් කරන අත්දැකීම් විවරණයෙන් ඇනබෙල් (2014) සිනමා පටය ඇරැඹිණි.

කතාව 1968 වසරේ සිදුවන්නක් ලෙස ඇරැඹී 1967 වසරේ භයානක අත්දැකීමක ප්‍රේක්ෂකයන් රැගෙන යයි. 1967 දී සැන්ටා ‍මොන්ටාහි පදිංචි වී සිටි ජෝන් හා මියා යුවළ සිය ප්‍රථම දරුවා පිළිබඳ බලාපොරොත්තු දල්වා සිටියහ. ජෝන් මියාට ඇය කැමැති ඉතා වටිනා ඉපැරැණි බෝනික්කකු තිළිණ කළේය. බෝනික්කා ලැබුණු දිනයේ රාත්‍ර‍ියේදී අසල්වැසි නිවෙසින් කලබගෑනියක් ඇසිණි. අසල්වැසි හිඟින්ස් මරා දමා තිබූ අතර මියා පොලීසියට ඇමතුමක් දෙද්දී මිනිසකුගේ සහ බෝනික්කකු අතින් රැගෙන සිටි කාන්තාවක විසින් පහර දෙන ලදී. පොලීසිය පැමිණ මිනිසා මරද්දී ගැහැනිය සියතින් ගෙල කපාගෙන මිය ගියාය. ඇයගේ ගෙලෙන් පතිත වුණු රුධිර බින්දු බෝනික්කාගේ මුහුණ මතට පතිත විණි.

මිය ගිය දෙදෙනා ඇනබෙල් හිඟින්ස් හා ඇයගේ පෙම්වතා ලෙස හඳුනා ගන්නා ලදී. ඔවුන් ඉතා බියකරු යක්ෂ අනුගාමිකයන් ලෙස හඳුන්වා ගත් අයයි.

බෝනික්කා අතැතිව ඇනබෙල් මිය ගිය විට, මියා සැමියා ජෝන්ට බෝනික්කා විසි කරන ලෙස පැවසුවා. අනතුරුව ඇති වන්නේ අද්භූත ගින්නකි. මියා ගින්නෙන් ජීවිතය බේරා ගන්නේ අනූනවයෙනි. ඇය නිරෝගී දරුවකු බිහි කරන අතර ලියා නම කුඩා දියණියට තබන්නීය. ඔවුන් අලුත් නිවහනක පදිංචියට ගොස් භාණ්ඩ අසුරද්දී ඇනබෙල්ගේ අත තිබූ ඉවතට විසි කළ බෝනික්කා හසු විය. ඉන්පසු ‍මියාගේ පවුලට ඇනබෙල් බෝනිකි සාපයෙන් ගැලවීමක් නොලැබිණි.

වසර දොළහකට පසු ඇනබෙල් යළි ක්‍රියාකාරී වී ඇත. ‘ඇනබෙල් : ක්‍රියේෂන්’ කතාව ඇරැඹෙන්නේ බෝනික්කන් නිෂ්පාදකයකු වූ සෑම් මලින්ස් සහ ඔහුගේ බිරිය ඇස්තර් ගෙනි. ඔවුන්ගේ දියණිය දොළොස් වසරකට පෙර ඛේදජනක ලෙස මිය ගියාය. ඇනබෙල් නම් වූ ඇය මිය ගියේ හත් හැවිරිදි වියේදී මෝටර් රථ අනතුරකිනි. කලකට පසු බෝනික්කන් නිෂ්පාදකයාගේ බිරිය අනාථ නිවාසයක දැරියන්ට හා එහි පැවිදි පාලිකාවට කැලිෆෝනියානු ගොවිපළ සහිත නිවෙසේ දොරටුව විවෘත කළාය. අනාථ නිවාසයේ දැරියන් රුදුරු යක්ෂයා ආරූඪ වුණු ඇනබෙල්ගේ ඉලක්ක බවට පත්වන අන්දම ඇනබෙල්: ක්‍රියේෂන්’ මඟින් නැරඹිය හැකිය.

‘ඇනබෙල් : ක්‍රියේෂන්’ පූර්ව දර්ශනය ලොස් ඇන්ජලීස් සිනමාපට උලෙළේදී මුල්වරට තිරගත කෙරිණි. එය ඇමෙරිකා එක්සත් ජනපදයේත් ලොව පුරාත් තිරගත කෙරුණේ අගෝස්තු 11 වැනි දිනය.

ද කන්ජරිං, ඇනබෙල්, මඟින් ඇරැඹි ත්‍රාසජනක සිනමා අන්දරය ‘ඇනබෙල්: ක්‍රියේෂන්’ මඟින් තවත් බියකරු වී ඇත්තේ වඩ ව‍ඩාත් ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට ආකර්ෂණය කර ගනිමිනි. සුබවාදී විචාරක ප්‍රතිචාර සමඟ සති අන්තයේ සිනමා පටයෙන් ලද ආදායම ඩොලර් මිලියන 71 ඉක්ම වීය.

‘ඇනබෙල් : ක්‍රියේෂන්’ නිර්මාණය පිළිබඳ මුලින් ම රසිකයන්ට නිල වශයෙන් දැන ගැනීමට ලැබුණේ 2015 ඔක්තෝබර් මාසයේදීය. ඇනබෙල් අධ්‍යක්ෂණය කළ ජෝන් ආර්. ලි‍යොනෙට් වෙනුවට ඩේවිඩ් එෆ්. සෑන්ඩ්බර්ග් නවතම සිනමා පටයේ අදියුරුවමට යොදා ගන්නා ලදී. ගේරි ඩොබර්මන් රචනයෙන් ද පීටර් සැෆ්රන් සහ ජේම්ස් වෑන් නිෂ්පාදනයෙන් ද ඇනබෙල් සිනමා පටයට වගේ ම ඇනබෙල් : ක්‍රියේසන් සඳහා ද දායක විය.

‍ෙඩ්විඩ් එෆ්. සෑන්ඩ්බර්ග් භීහත්ස්‍ය රසය ගෙන දෙන නිර්මාණ කිරීමට නමගිය අධ්‍යක්ෂවරයකි. අනාථ නිවාසයේ පාලිකාව වන සිස්ටර් චාර්ලට්ගේ චරිතය නිරූපණය කරන්නේ ස්ටෙෆනී සිග්මන් නම් මෙක්සිකානු ඇමෙරිකානු තාරකාවයි. ජැනිස් නම් ආබාධිත අනාථ දැරියගේ චරිතය නිරූපණය කරන්නේ පහළොස් හැවිරිදි ළමා නිළිය ටලිතා බේට්මන්ය. සිනමා පටයේ ප්‍රධාන තාරකාවද ඇයයි. ලුලූ විල්සන් රඟන්නේ ජැනිස් ගේ හොඳම යෙහෙළියගේ චරිතයයි.

ඇනබෙල් වලිස් ‘ඇනබෙල්’ සිනමා පටයේත් ‘ඇනබෙල් : ක්‍රියේෂන්’ සිනමා පටයේත් මියාගේ චරිතය නිරූපණය කරන්නියයි. මමී (2017) සිනමා පටයේ ජෙනී හැල්සේ චරිතයට පණ දෙන්නේ ද ජෙනී ය.

සිනමා පටයේ මූලික රූගත කිරීම් වැඩි හරියක් සිදු කෙරුණේ 2016 ජුනි මාසයේදී කැලිෆෝනියාවේ හා ලොස් ඇන්ජලීස් වෝනර් බ්‍රදර්ස් චිත්‍ර‍ාගාරවලය. පළමු කන්ජරිං සිනමා පටවල තිබූ පැරැණි පාසලක පෙනුම ලබා දීමට අධ්‍යක්ෂවරයාට අවශ්‍ය විය. භූතාත්මයක් රැගත් සිනමා පටයක් නිර්මාණය කළ ද සෑන්ඩ්බර්ග් අවතාර, යක්ෂ ආත්ම විශ්වාස කරන්නේ නැත. තමන් ජීවිතයේ කිසි දිනෙක එවැනි දේ අත්දැක නැති බව ඔහු පවසන්නේ එම විශ්වාසයට තව දුරටත් පවතින්නට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටිමිනි.

චාලට් කන්‍යා සොයුරියගේ චරිතය නිරූපණය කරන සිටෙෆනී සිග්මන් බෝනික්කාට තරමක් බියවී ඇති අතර ඇනබෙල් සිනමාපටය සඳහා (කන්ජරිං 2) ආගමික නායකයන්ගේ ආශිර්වාද ලබාගත් බව දැන ගත් ඇය මේ සිනමා පටය රූගත කිරීමේදී ද එසේ ආගමික වතාවත් කරන ලෙසට ඉල්ලා තිබේ. හැත්තෑහතර වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ හොඳ ම සංගීත නිර්මාණය (බෙස්ට් ඔර්ජිනල් ස්කෝ) සඳහා නිර්දේශ වුණු බෙන්ජමින් වොල්ෆික් සිනමා පටයේ සංගීත අධ්‍යක්ෂවරයායි.

ඇනබෙල් : ක්‍රියේෂන් බෙදා හැරීම වෝනර් බ්‍රදර් සමාගමෙනි. මිනිත්තු 109ක් පුරා රසිකයන් බියකරු ලොවකට කැඳවාගෙන යාමට සිනමා නිර්මාණය කෙතරම් සමත්වී තිබෙනවාද කිවහොත් සිනමා පටය නිෂ්පාදනයට වැයවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක වියදම මෙන් තුන් ගුණයකටත් අධික මුදලක් පළමු තෙදින තුළ උපයා ගැනීමට සමත්වී තිබේ. උතුරු අමෙරිකාවේ සිනමාපටය තිරගත කෙරුණේ ද නට් ‍ෙජාබ් 2 : නට් බයි නේචර්, ද ග්ලාස් කාස්ල් සිනමා පට සමඟිනි. ‘ඇනබෙල් : ක්‍රියේෂන්ස්’ ට ඒ කිසිවක් අභියෝගයක් වී නැත.

 

අන්තර්ජාලයෙනි

 

Comments