
ස්විස්ටර්ලන්තය යනු ලෝකයේ තිබෙන ලස්සනම රටවල් අතුරින් එකක්. ඇල්ප්ස් කඳුවැටිය කේන්ද්‍ර කොටගෙන තිබෙන මනරම් පරිසරයේ තිබෙන ඇල්පයින් සුන්දරත්වය රසවිඳීමට ලොව පුරා සංචාරකයින් දහස් ගණන් ස්විස්ටර්ලන්තය වෙත පැමිණෙනවා.
කඳු නඟින්නන් හා පරිසර හිතකාමීන්ගෙන් පිරී යන මෙම ප්‍රදේශයේ සංචාරක අත්දැකීම ඉහළ දැමීමට හා සංචාරකයන්ගේ කාලය ඉතිරි කිරීමට එරට බලධාරීන් විවිධ පියවර ගනු ලබනවා. මෙහි පියවරක් ලෙසින් පසුගියදා පාලමක් විවෘත කරනු ලැබුවා.
එය ලෝකයේ දිගම පදික එල්ලෙන පාලම ලෙසින් වාර්තා පොත් අතරට එක් වුණා.
අඩි 1621 ක් දිග අඟල් 25.6 ක් පළල මෙම පාලම පොළවට වඩා අඩි 279 ක් උසින් පිහිටා තිබෙන අතර එහි බර ටොන් 8 ක්.
මෙහි පළල ඉතාමත් අඩු නිසා එකා පසුපස එකා ගමන් කිරීමට සිදු වූවත් එය එතරම් ගැටලුවක් නොවන්නේ පදිකයන්ගේ තදබදයක් නොමැති නිසායි.
වඩාත්ම වැදගත් කරුණ වන්නේ මෙම පාලමෙහි උසයි. මෙම ප්‍රදේශයේ සුලබ කඳු කඩාවැටීම් වලින් පාලම හා එහි පදිකයින් ආරක්ෂාකර ගැනීම මෙහි අරමුණයි. පාලම නොතිබූ සමයේ කඳු වැටියේ සිට පැමිණෙන ගල් වැදීම නිසා අනතුරු සිදුවූ අවස්ථාද තිබෙනවා. මෙම පාලමට යොදා තිබෙන නම වන්නේ චාල්ස් කෝනන් එල්ලෙන පාලම යනුවෙනි.
දිගම පාලම ලෙසින් ගිනස් වාර්තා පොතට තවම ඇතුළත් වී නැතත් නුදුරු අනාගතයේදීම අඩි 1279 ක් දිග ජපානයේ කොකොනෝ යුමේ පාලම පරදවමින් මෙය නිල වශයෙන් ගිනස් ලෝක වාර්තා පොතට එක් වේවි.
යකඩින් නිමවා තිබෙන මෙම පාලම ස්විස්ටර්ලන්තයේ සර්මැට් හා ග්රාචෙන් ප්‍රදේශ දෙක යා කරනු ලබනවා.
ඇල්ප්ස් කඳුවැටියේ වෙයිශෝන්, මැටර්හෝන් හා බර්නිස් කඳු මුදුන් වල සුන්දරත්වය රිසිසේ විඳගනිමින් පාලමේ ගමන් කිරීමට හැකි වූවත් උස් ස්ථාන වලට බිය පුද්ගලයින්ට නම් පාලමේ ගමන් කිරීම ත්‍රාසජනක අත්දැකීමක් වේවි.
මෙම ස්ථානයේම මීට පෙරත් පාලමක් තිබී ඇතත් 2010 වසරේ සිදුවූ ගල් පෙරලීමක් නිසා එම පාලම විනාශ වී තිබෙනවා.
මේ නිසා එම ප්‍රදේශ දෙක අතර ගමන් කිරීමට ගත වූ විනාඩි 10 ක පමණ කාලය පැය 3 ක් 4 ක් දක්වා දීර්ඝව ගොස් තිබෙන්නේ සංචාරක ආකර්ෂණයද තරමක් පහත හෙලමිනි.
කලින් පාලමට වඩා උසින් වැඩි පාලමක් ස්විස් ෆ්රෑන්ක් 750,000ක මුදලකට නිමවා තිබෙන්නේ මේ හේතුව නිසායි. සංචාරකයන්ගේ සුව පහසුව, ආරක්ෂාව හා කාලය ගැන සිතා සිදු කරන මෙම පියවරයන් සංචාරක ආකර්ෂණය හිමි අපේ රටටත් ආදර්ශයට ගත හැකියි.