දෙයි­යොත් දන්නෙ නෑ වේදි­කා­වට ඇවිත් වසර හයයි | සිළුමිණ

දෙයි­යොත් දන්නෙ නෑ වේදි­කා­වට ඇවිත් වසර හයයි

දශක හතරකට වැඩි කාලයක සිට වේදිකාව, පුංචි තිරය, සිනමාවෙන් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කළ සරත් කුලාංග නම් ප්‍රවීණ රංගන ශිල්පියා මෙරට කලාවේ සුවිශේෂි චරිතයකි.වේදිකාවෙන් තොර ලෝකයක් නැති නිසාම මෙවර ඔහු අලුත්ම වැඩකට අතගසා ඇති බවයි අපට ආරංචිවුණේ.ඒ ගැන වැඩි විස්තර කියන්නට රසඳුනට ගොඩ වැදුණු සරත් අප සමග කළ කතාබහයි මේ.

 

• මොකක්ද.. මේ අලුතෙන් කරන්න යන වෙනස..?

මා විසින් නිෂ්පාදනයකර අධ්‍යක්ෂණය කළ'දෙයියොත් දන්නෙ නෑ 'වේදිකා නාට්‍යයේ මුද්‍රිත නාට්‍ය පිටපත අද බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර්හි දී එළි දක්වනවා. එම නාට්‍යයේ ප.ව 3.30ට සහ 6.30ට දර්ශන වාර දෙකක් වේදිකාගත කිරීම සිදුකරනවා. මෙහි පළමු දර්ශනය 2011 වසරේ අගෝස්තු 24දා කොළඹ ලුම්බිනි රඟහලේදි රඟදැක්වුවා. 2017 වසරට අගෝස්තු 24දිනට නාට්‍ය වේදිකාගතකර වසර හයක් සම්පූර්ණයි. ඒ නිමිත්තෙන් තමයි 20වැනිදා මේ නාට්‍යයේ මුද්‍රිත පිටපත එළිදක්වන්නේ.

 

•'දෙයියොත් දන්නෙ නෑ'ප්‍රේක්ෂකයන්ට කොයිතරම් සමීපද..?

වසර හයක් තිස්සේ පටන් මේ නාට්‍ය රට වටේ වේදිකාගත වනවා. එහිදී ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හරිම ඉහළයි. මුළු නාට්‍යය පුරාම ගලායන්නෙ චරිත හයයි. ඒ චරිත් සේනානායක, විජය නන්දසිරි, කුමාර තිරමාදුර, මිහිර සිරිතිලක, තුෂාරි ගුණරත්න, තාරක උපේන්ද්‍ර, ඉන්දික ජයසිංහ . විජය නන්දසිරි කලාකරුවාගේ වියෝවෙන් පසු එම චරිතය රඟදක්වන්නේ මිහිර සිරිතිලක.මෙය ස්ත්‍රිත්වය ගැන කතාකරන නාට්‍යයක්. ගැහැනියක් බාහිර ලෝකයෙන් මිදි තමන්ගේ ස්වාමියා සමග එක්වි අවශ්‍යකරන ඉලක්කයට යෑම ගැනයි මෙහි කිය­ැවෙන්නේ.

සිංහල ගැමි නාට්‍ය ‍සම්ප්‍රදායද මේ නාට්‍යයට ඇසුරුකරගෙන තිබෙනවා. ඒ වගේම මෙහි විචිත්‍ර ඇඳුම් පැළදුම්, සංගීතය බහුලලෙස භාවිතාවන නිසා හරිම අලංකාරවත්. නාට්‍ය හා රංග කලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙයියොත් දන්නෙ නෑ නැරඹියයුතුම නාට්‍යයක්.මෙහි පිටපත අජිත් මෙන්ඩිස්ගේ, සංගීතය මගේ.

 

• ඇයි..මෙහි පිටපත මුද්‍රණය කරන්න සිතුවෙ..?

මේ පිටපතේ තියෙනවා අලුත් භාෂාවක්. 1880 ගණන්වල අපේ සමාජයේ සිදුවු කතා පුවතක් තමයි මෙමගින් පිළිබිඹුකරන්නෙ. මහ මුදලිලා, හෙංචලා, ගොවි පවුලමෙහි නිරූපිතයි. එකම කාන්තා චරිතයකින් ඉතාමත් රසවත් කතාවක් මෙහි කියැවෙනනිසා බොහෝ දෙනාගේ ඉල්ලීම මත මේ වෙනස කරන්න හිතුවා.

 

•ඔබ වේදිකාවේ ප්‍රවීණයෙක්..කොහොමද පැමිණි ගමන්මග..?

මගේ පාසල හොරණ තක්ෂිලා මධ්‍යමහා විද්‍යාලය. මගේ කලාවේ මූලික අඩිතාලම ලැබුණේ එතැනින්.

1976දි කොක් සන්නිය නාට්‍ය සඳහා හොඳම නාට්‍ය සංගීතය සඳහා සම්මාන ලැබුණා.එය ඒ අසම්මත සංගීත භාණ්ඩවලින් කරන ලද නිර්මාණයක්. පසුව 1977දි දිගඅඬුකාරයෙක් නාට්‍යයටත් සම්මාන හිමිවුණා.ඒ පැමිණි ගමන්මග තමයි අද දක්වා දශක හතරකට වඩා වැඩි කාලයක් රංගනයේ නියැළෙන්නේ.

 

• ඔබ..අද වේදිකාවට නැතුවමබැරි චරිතයක්ද..?

ඇත්තටම අද මා රඟ නොපාන වේදිකා නාට්‍යය ඇත්තේ සුළු ප්‍රමාණයයි. ඒ තරමටම වේදිකාවට බද්ද වු චරිතයක් සරත් කුලාංග කියන්නෙ. දැනට වේදිකා නාට්‍ය 100ක පමණ රඟ පා තිබෙනවා. ඒ අතරින් අබුද්දස්ස කෝලම, ජසයා හා ලෙන්චිනා, මධුර ජවනිකා, නරි බෑණා, කපුවා කපෝති, මල්වඩම් අනවශ්‍යයි, වෙස් ගත් බොස්, යෙර්මා, ආදිය විශේෂයි.වේදිකා නාට්‍ය රංගනය හරිම අසීරු වැඩක්. ඒක ටෙලිනාට්‍යයක, චිත්‍රපටයක රඟපානවාට වඩා ගොඩක් අසීරුයි. වේදිකා නාට්‍යයකට හැමදාමත් අලුත් දවසක්. එහි රංගන ශිල්පීන් ඇතුළු අනෙකුත් පිරිසත් හැමදාමත් එක පවුලක්වගේ සිටියයුතු වනවා. එහෙම නැතිවුනොත් එහි පැවැත්මක් නැතුව යනවා.

 

• පුංචි තිරය සහ සිනමාව ගැන මොකද හිතන්නේ..?

ටෙලි නාට්‍ය සහ චිත්‍රපට විශාල සංඛාවකට මේ වන විට රංගනයෙන් දායක වී තිබෙනවා.එයට අමතරව වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය, වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය, වේදිකා නාට්‍ය රචනය, ටෙලිනාට්‍ය සංගීතය, හඬ කැවීම්, නිවේදනය ආදි කලාවට සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවල නියැළෙනවා.

අද රූපවාහිනි නාට්‍ය පිරිහිලා. සුළු පිරිසයි ක්ෂේත්‍රය ගැන අවබෝධයෙන් වැඩ කරන්නේ.බොහෝ පිරිසක් වෘත්තියට අවංක නෑ. ඒකයි මේ පිරිහීමට මුල.

විශේෂයෙන් කලාවේ රැඳී සිටින්න අවශ්‍ය දැනුම, අභ්‍යාස ගොඩනගාගතයුතුයි. එසේ නැතිවුණොත් රැඳි සිටින්න අමාරුයි. අද බොහෝ කලාකරුවන්ගේ සිහිනය වාහනයක් මිලටගෙන සුඛෝපභෝගි ජීවිතයක් ගතකිරීමයි.කලාව එවැනි සුළු දේවලට සීමා කරගෙන. ඒ ක්‍රමයට ඇතැම් ප්‍රවීණ කලාකරුවන් පවා පත්ව සිටීම ගැන තිබෙන්නේ කනගාටුවක්.

 

• ඔබ වෘත්තියෙන් ගුරුවරයෙක්..?

ඔව්. 1979සිට 2014 වසර දක්වා ශිෂ්‍ය උපදේශනය හා මාර්ගෝපදේශනය පිළිබඳ සහකාර විදුහල්පතිවරයෙක් ලෙස සේවයකළා. 2014වසරේ සිට විශ්‍රාම ගොස් මේ වන විට පූර්ණකාලීනව කලාවේ නිරතවනවා.

මගේ දුවත් නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරියක්. පුතා පෞද්ගලික බැංකුවක සේවය කරනවා. ඔවුන් දෙදෙනාම විවාහකයි. බිරිඳ වරාය අධිකාරියේ සේවය කරන්නෙ. මේ සියලු දෙනාගෙන්ම මට විශාල සහායක් ලැබෙනවා. 

 

Comments