ඔයාව පිළි­ගන්න අපි ආසා­වෙන් බලා ඉන්නවා | සිළුමිණ

ඔයාව පිළි­ගන්න අපි ආසා­වෙන් බලා ඉන්නවා

ෆියෝනා දුරකතන තිරය දෙස බැලුවේ මහත් බලාපොරොත්තුවෙනි. අසාර් ගේ ජංගම දුරකතන අංකය දකින්නට අපේක්ෂා කළ ද, දුරකතන තිරය මත සටහන් වී තිබුනේ රාඝව් ගේ දුරකතන අංකයයි. ලංකාවට ගිය විගස දුරකතන ඇමතුමක් දෙන්නැයි තමා හා ගුවන් තොටුපළට පැමිණි රාඝව් කළ ඉල්ලීම ඇයට සිහියට නැගුණේ එවරය. ෆියෝනා දුරකතන තිරය දෙස බලාගෙනම තේ පිළියෙල කළාය. බොහෝ වේලාවක් හඬ නැගූ දුරකතනය විසන්ධි විය.

“කමක් නෑ. තේ බීලම රාඝව්ට කතා කරනවා. ̃

ෆියෝනා ඉක්මනින්ම කිරි තේ කෝප්පයක් සාදා ගත්තාය. සැන්දෑ කාලයේ සිය ̈ වැඩපළ නිමා කර, තම උසැති මග් එක පිරෙන්නට කිරි තේ සාදා ගන්නා අයුරු දකින අසාර් තමාට සරදම් කර සිනාසෙන බව ෆියෝනාට සිහිවිය.

“කට කපලා කිරි තේ එකක් ඇදලා ඇරියම ආයෙ රෑට කන්නෙ කොහාටද? ̃

අසාර් කිරි පානයට එතරම් ප්‍රියත්වයක් දක්වන්නෙක් නොවේ. උදෑසනට පවා ඔහු බීමට පුරුදුව සිටියේ මෝල්ටඩ් මිල්ක් ස්වල්පයක් පමණි. දවසේ අනෙක් වේලාවන්හිදී පවා තේ බීමට උනන්දුවක් නොදක්වන අසාර් ඉඳහිට ග්‍රීන් ටී කෝප්පයක් පමණක් පානය කළේය.

ෆියෝනා තේ කෝප්පය ද ගෙන ගෙතුළට ගියාය. සෝෆාව මත දිග ඇදී විවේකීව එය බීමට සැරසුණද, නැවතත් දුරකතනය නාද වන්නට විය. එවරද ඇමතුම ලැබෙමින් තිබුනේ රාඝව්ගෙනි. ඇය වහා ඇමතුම හා සම්බන්ධ වූවාය.

“ලංකාවට ගියාට පස්සෙ ගෑනු ළමයට අපිව අමතකම වුණා නේද? ̃

දුරකතනය තුළින් රාඝව්ගේ කටහඬ ඇසිණ.

“අනේ නෑ රාඝව්. මං ගෙදරට ආවා විතරයි. පස්සෙ ස්මිතාටයි, ඔයාටයි කතා කරන්නයි හිතාගෙන හිටියෙ. ̃

“අක්කා දැනුත් ඇහුවා ෆියෝනා කතා කළාද කියලා. ̃

“ස්මිතාට කියන්න මම පස්සෙ කතා කරන්නම් කියලා. දැන් මහන්සියි. ̃

“මොනවද ගෑනු ළමයා කරන්නෙ දැන්? ̃

“දැන්ද? මං මේ තේ කෝප්පයක් හදාගෙන වාඩි වුණා විතරයි. ” ̃̃

“එහෙමනම් තේ බීලා ඉන්නකො. මං පස්සෙ ඔයාට කතා කරන්නම්. ” ̃̃

රාඝව් දුරකතනය විසන්ධි කළේය. ෆියෝනා දුරකතනය තැබුවේ තවමත් පහව නොගිය සිනාවෙන් යුතුවය.

කල්කටාවෙහි දී තම ගමන් සගයා වූයේ රාඝව් ය. ස්මිතාගේ එකම සොහොයුරා වූ රාඝව් ඇය මෙන්ම ප්‍රියමනාප ගති

පැවතුම් ඇත්තෙකි. කල්කටාවේ friends fm නම් ජනප්‍රිය ගුවන් විදුලි නාළිකාවේ සහන නිවේදකයකු වශයෙන්

කටයුතු කරන රාඝව් වාර්තා චිත්‍රපටි නිෂ්පාදනයෙහි ද නිරතව සිටියි.

“රාඝව් හොඳ කෙනෙක්. මගේ පොත ලියලා ඉවර වුණාට පස්සෙ පිළිගැන්වීම කරන්නෙ එයාටයි, ස්මිතාටයි. ” ̃̃

ඉන්දියාවේ පුරාණ බ්‍රාහ්මණ සමාජය පිළිබඳව පොතක් ලිවිය යුතු යයි ස්මිතා හා දුරකතනයෙන් පවසද්දී

කල්කටාවට පැමිණෙන ලෙසත්, තමාට ඒ සඳහා උදව් කළ හැකි බවත් ස්මිතා පැවසුවාය. එහෙත් ඒ සඳහා අසාර්ගෙන් අවසර ගැනීමට මාස ගණනාවක් ගත වූ අයුරු ෆියෝනාට සිහි විය.

“ලබන මාසෙ යන්න. ̃ යි පවසමින් දිනෙන් දින කල් තැබූ ඉන්දියා ගමනට අසාර්ගෙන් අවසර ලැබුනේ ඉන්

මාස හයක් පමණ ඉකුත් වූ පසුවය. අවසානයේ තමා පැමිණෙන බව යළිත් ස්මිතාට දුරකතනයෙන් දැනුම් දුන් පසු

ඇය මඳ වේලාවක් නිහඬව සිටි අන්දම ෆියෝනාට සිහි විය.

“ඇයි ස්මිතා? මොකක් හරි ප්‍රශ්නයක්ද? ̃

“කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයා එන්න. ඔයාව පිළිගන්න අපි ආසාවෙන් බලා ඉන්නවා. ̃

ඒ අනුව මැයි මාසයේ එක් දිනෙක කල්කටාව බලා ගිය අන්දමත්, තමා කැඳවාගෙන යාමට ගුවන් තොටුපළට

පැමිණෙන බවට පොරාන්දු වූ ස්මිතා එහි නොපැමිණි අන්දමත් ෆියෝනා සිහි කළාය.

“ෆියෝනා? ̃

ස්මිතාගේ පමාව ගැන සිතමින් සිටියදී ෆියෝනා පසුපසින් පිරිමි කටහඬක් ඇසිණ.

“ඔව්. ̃

“මම ස්මිතාගේ මල්ලි. රාඝව්. ඔයාව ගෙදරට එක්ක එන්න කියලා අක්කා මට කිව්වා. ̃

ෆියෝනා සැක සිතින් රාඝව් දෙස බැ ̈වාය. එහෙත් ස්මිතාගේ දෙනෙත්ම ඒ සිනාවම ඇය මොහොතකින්

රාඝව් කෙරෙන් දුටුවාය.

“යමු. ̃

ෆියෝනා රාඝව් සමග ගමන් කලේ ස්මිතාට කුමක් සිදු වීදැයි කල්පනා කරමිනි.

“ඇයි ස්මිතා ආවෙ නැත්තෙ? ̃

ගුවන් තොටුපළෙන් පිටව බොහෝ දුරක් යනතුරු කතා නොමැතිව සිටි ෆියෝනා කටහඬ අවදි කළාය. රාඝව් සිනාසුණේය.

“අක්කා අසනීපෙන්.” ̃

“අසනීපයක්? මට කිව්වෙ නෑනෙ. ” ̃̃

“කිව්වා නම් ෆියෝනා එන එකක් නෑ කියලා අක්කා මා එක්ක කිව්වා. ̃

ෆියෝනා පසුතැවිලි වූවාය. සැබවින්ම ස්මිතා අසනීපයෙන් පසුවන බව දැන සිටියේ නම් මෙම ගමන නොපැමිණ සිටින්නට තිබිණ. එහෙත් දැන් පසුතැවිලි වීමෙන් පලක් නොමැති බව ඇය දැන සිටියාය.

“මොකක්ද අක්කට තියෙන අසනීපෙ? ̃

නිහඬව ඉදිරිය බලාගෙන රිය පදවමින් සිටින රාඝව්ගෙන් ඇය ප්‍රශ්න කළාය. එවේලෙහි රාඝව් ඇගේ මුහුණ දෙස සෘජුව බැලුවේය. ඔහුගේ මුහුණෙහි සඟවා ගත් සිනාවක් විය.

“ඇත්තටම මම දැනගෙන හිටියෙ නෑ. නැත්නම් මම එන්නෙ නෑ ස්මිතාට කරදර කරන්න. ̃

“ඔයා එන එක අක්කට කරදරයක් නෙමෙයි. ̃

රථයේ කවුළුවෙන් එපිට බලා සිටි ෆියෝනා තුළ ඇති වූයේ මහත් දුකකි. මෙයට වග කිව යුත්තේ අන් කිසිවෙක් නොව අසාර් නොවේදැයි ඇය තරහෙන් සිතුවාය. යාමට සූදානම් වූ දින වල ඔහු තමාට යාමට ඉඩ ලබා දුන්නේ නම් සියලු තොරතුරු සොයාගෙන මේවනවිට පොත ද ලියා හමාර කරන්නට ඉඩ තිබිණ.

“ඔන්න අපි ගෙදරටත් ආවා. ̃

රාඝව් පවසද්දී පවා ඇයට බියක් දැනිණ. එහෙත් මෝටර් රථය පැමිණෙන හඬ ඇසී ඉදිරියට පැමිණි ස්මිතා දුටු ෆියෝනාගේ දෙනෙත් වල කඳුළු නැගිණ. ඒ වනවිට ස්මිතා පස්මසක පමණ ගැබිනියකව සිටියාය.

ෆියෝනා සිතිවිල්ලේම තේ කෝප්පය හිස් කර තිබිණ. ඒවනවිට ද නිදිමතක් දැනෙමින් තිබුණ ද, නින්දට යාමට පෙර කළ යුතු දෑ බොහෝය. පළමුව අසාර්ට කුමක් සිදු වූයේදැයි සොයා බැලිය යුතුය. ෆියෝනා අසාර්ගේ ජංගම දුරකතනයට නැවතත් ඇමතුමක් ලබා ගත්තද, එය ක්‍රියා විරහිතව තිබිණ. මහත් බියක් මෙන්ම සැකයක් ඇගේ සිත පුරා

පැතිර යමින් තිබිණ. උඩු මහලේ පිහිටි අසාර්ගේ කාර්යාල කාමරයට ගොස් ඔහු පිළිබඳ තොරතුරක් සොයා ගැනීමට ඇය සිතුවාය. එහෙත් නිහඬ නිවසේ උඩුමහලට තනිව යාමට බියක් දැනෙයි. පියගැටපෙල අසළ නතර වී බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටි ෆියෝනා සිතට දිරි ගෙන උඩුමහලට ගියාය.

තමා ලිවීම සඳහා භාවිතා කරන කුඩා කාමරයේ දොර හැර දමා තිබෙන අයුරු ඇය දුටුවාය. පරිගණකය සහ එහි ඇති අනෙක් දෑ සියල්ලම තිබූ අයුරින්ම තිබේ. අසාර් තමා නමට ලියා ඇති කිසියම් ලියවිල්ලක් මෙහි කොතැනක

හෝ තිබෙන්නට ඇතැයි සිතුණද එවන් කිසිවක් සොයා ගැනීමට ෆියෝනා අපොහොසත් වූවාය. අවසානයේ දී ඇය ඔහුගේ කාර්යාල කාමරය දෙසට පිය නැගුවාය. කාමරයේ දොර වසා අගුළු ලා තිබිණ. ඇය හැඬුම් මුහුණින් යුතුව එය විවර කරන්නට තැත් කළාය. සාමාන්‍යයෙන් අසාර් බැහැර යන අවස්ථා වල දී කාර්යාල කාමරය වසා තැබුවද, යතුර රැගෙන නොයයි. එහෙත් අද සුපුරුදු පරිදි යතුරු කටෙහි යතුර දක්නට නොමැත. ඔහු කොහිද? කොතැනක යන්නට ඇත්ද?

ෆියෝනා ජංගම දුරකතනයෙහි අසාර්ගේ නිවසෙහි අංකය සෙව්වාය. නිවසෙහි දුරකතන අංකය තිබුණද, විවාහ වී මෙතෙක් කලක් ගත වුව ද එම නිවසට ඇමතුමක් දීමට තරම් සම්බන්ධයක් අසාර්ගේ නිවැසියන් සමග නොවීය.

කෙසේ වෙතත් සිතට ධෛර්යය උපදවා ගත් ඇය නිවසේ අංකයට ඇමතුමක් ලබා ගත්තාය.

“හලෝ... ̃

ෆියෝනාගේ හදවත ගැහෙන හඬ ඇයටම ඇසෙන්නාක් මෙන් විය. මේ අසාර් නොවේද? 

 

Comments