
විශෝධා
නෙත් අඳ මහා කවියා
බැහැ දැකීමට ගියෙමි පෙරදා
ඔහු වෙසෙන අසපුවට
ගොම්මන් සැඳ යාමේ
ඔහු මගේ අතගෙන
ඇසූ ප්‍රශ්නය මතකය
“ඔබ මොනවද කරන්නේ
මේ දවස්වල?”
“මම බවුන් වඩමින්
කාලය ගත කරන්නෙමි”
“ඉගැන්විය හැකිද මට
බවුන් වඩනායුරු?
“ඔබ කල් ගෙවන්නේ
බවුන් වඩමින් නොවෙද
කවියාණනි?”
“නොදැන සිටියෙමි ඒ වග
නොපෙනෙනා මුත්”
“අපට ලොව පෙනුණත්
ඔබ පෙනුම වේ යහපත්”
කවියා නිහඬ විය
මම ද නිහඬව සිටියෙමි.