
1971 සාහිත්‍ය උත්සවය නිමිත්තෙන් දෙසැම්බර් 18 වැනිදා රත්නපුරයේ සුමන බාලිකා විද්‍යාලයීය ශාලාවේදී පැවැත්වූ සාහිත්‍ය සම්මන්ත්‍රණයේ දේශනය
“කවියෙකුගේ හොඳම නිර්මාණාංශ තුළින් මෙන් ම, ඔහුගේ පුද්ගලත්වය තියුණු ලෙස ප්‍රකට කරවන නිර්මාණාංග තුළින් ද මියගිය කවීන් හා ආදිකාලීන ලේඛකයන් ස්වකීය අමරණීයත්වය ප්‍රකාශ කරන බව අපට පසක් වනු ඇත.”
- ටී. එස්. එලියට්
නවීන බටහිර ලේඛකයන්, පැරණි සාහිත්‍යයෙන් ලද ආභාසය යන්න අතිශයින් පුළුල් මාතෘකාවක්. එංගලන්තය, ප්‍රංසය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය ආදී බටහිර රටවල ඉතා සාරවත් වූත් සුසංවර්ධිත වූත් සාහිත්‍ය කලාවන් දක්නට ලැබෙනවා. මේ විවිධ රටවල, එක් එක් ලේඛකයන් චිරත්තන සාහිත්‍යයෙන් ප්‍රභාවක් ලබා ඇති අයුරු පෙන්නුම් කිරීම විනාඩි 15 පමණ සුළු කාලයකට සීමා වූ කථාවකින් කිසිසේත් කළ නොහැකි දෙයක්. එවැන්නක් සඳහා අති විශාල ග්‍රන්ථයක් රචනා කිරීම අවශ්‍ය වෙනවා. එම නිසා මා මේ කථාවෙන් බලාපොරොත්තු වන්නේ පොදුවේ බටහිර රටවල ලේඛකයන් චිරත්තන සාහිත්‍යය සමඟ සම්බන්ධකම් ඇති කොට තිබෙන මූලික ක්‍රම පිරික්සා බැලීමට යි.
නවීන බටහිර ලේඛකයා හා පැරණි සාහිත්‍යය යන මාතෘකාව යටතේ කථා කිරීමේදී පළමුවෙන් ම සම්ප්‍රදාය යන සංකල්පය සාකච්ඡා කිරීමට සිදුවෙනවා. සම්ප්‍රදාය යන වචනය අපි භාවිත කරන්නේ ඉංග්‍රීසියෙන් Tradition යන පදයෙන් සූචිත අර්ථ දැක්වීම පිණිසයි. නිර්මාණාත්මක සාහිත්‍ය විෂයෙහි, සම්ප්‍රදාය ඉතාමත් වැදගත්. උසස් සාහිත්‍ය නිර්මාණය සඳහා සම්ප්‍රදාය මහත් පිටුබලයක්. ස්වකීය සම්ප්‍රදාය සහමුලින් ම අමතක කොට දමා ලේඛකයෙකුට උත්තම ගණයේ සාහිත්‍ය කෘති රචනා කරන්න බැහැ. සාහිත්‍ය විෂයෙහි මේසා වැදගත් ධර්මතාවක් වන සම්ප්‍රදාය යනු අතීතයට අයත්. අජීව වස්තුවක්, කෞතුක භාණ්ඩයක් බවයි. මෙය සම්පූර්ණයෙන් ම වැරදි මතයක්. සම්ප්‍රදාය යනු ජීව වස්තුවක්. වර්තමානයට වැදගත් වන අතීතයෙහි ජීව සාරය සම්ප්‍රදාය හැටියට විග්‍රහ කරන්න පුළුවන්. සම්ප්‍රදාය මගින් සිදුවන එක් වැදගත් මෙහෙයක් නම් අප තුළ රස විඳීමේ ශක්තිය, රසඥතාවය, භාවකත්වය ඇති කිරීමයි. පැරණි සාහිත්‍ය කෘති, කියවීම නිසා ඒවායේ පැනෙනා විචිත්‍ර වාගුත්ති, කාව්‍යෝක්ති යනාදිය අපේ ස්මෘතියට පිවිසෙනවා. භාවකත්වය සකස් කිරීමෙහිලා මේ ස්මෘති මාත්‍රා ඉතා වැදගත් වෙනවා. එම නිසා සාමාන්‍ය රසිකයෙකුට මෙම ස්මෘති මාත්‍රා අතිශයින් වැදගත් වෙනවා නම්, නිර්මාණාත්මක ලේඛකයන්ට ඒවා කොයි තරම් වැදගත් විය යුතු ද යන්න සිතාගන්න පුළුවන්. ඇත්ත වශයෙන් ලෝකයේ උසස් සාහිත්‍යකරුවන් හැම දෙනාම සිය සම්ප්‍රදායවලින් ආභාසය ලබා ඇති බව පැහැදිලිව පෙනෙන කරුණක්. වර්තමාන ඉංග්‍රීසි කාව්‍ය ක්ෂේත්‍රය සකස් කිරීම සම්බන්ධයෙන් පුරෝගාමියෙක් හැටියට සැලකිය හැකි එස්රා පවුන්ඩ් ‘අපි හැම දෙයක් ම අලුතින් ගොඩනගමු’ යන උද්‍යෝග පාඨය ඉදිරිපත් කළත් ඔහු පාරම්පරික සාහිත්‍ය සම්ප්‍රදායට කොතරම් ණයගැති වූවා ද යන්න ඔහුගේ නිර්මාණාත්මක කෘති විග්‍රහ කරන විට පැහැදිලි වෙනවා.
මේ අනුව බලන විට සම්ප්‍රදාය යන්න නිර්මාණාත්මක සාහිත්‍ය විෂයෙහි අතිශයින් අර්ථවත් සංකල්පයක් බවත්, උසස් ලේඛකයන් නිතර ම සිය පාරම්පරික සම්ප්‍රදායෙන් ආභාසයක් ලබා ඇති බවත් අපට පෙනී යනවා. මේ සම්බන්ධයෙන් සුප්‍රකට බටහිර කවියෙකු හා විචාරකයෙකු වන ටී.එස්. එලියට්ගේ ප්‍රකාශනයක් මෙහිදී දැක්වීම උචිත යයි මම කල්පනා කරනවා. ‘සම්ප්‍රදාය යන්නට, පළමුවෙන් සිය විසිපස් වියට පසුව කවි ලියන කිසිවෙකුට අමතක නොකළ හැකි ඓතිහාසික විඥානය ඇතුළත් වෙනවා. මෙම ඓතිහාසික විඥානය සඳහා අතීතයෙහි අතීත භාවය මෙන් ම අතීතයෙහි වර්තමාන භාවයත් මූලභූත වෙනවා. මෙම ඓතිහාසික විඥානය තමා ජීවත්වන යුගයෙහි හා පරම්පරාවෙහි විශේෂතා වටහාගෙන පමණක් නොව හෝමර්ගේ පටන් අද දක්වා මුළු යුරෝපීය සාහිත්‍යයත්, එය තුළ තම රටෙහි සාහිත්‍යයත් එකම රටාවකට අනුව හැඩ ගැසී ඇති අයුරුත් වටහාගෙන ලිවීමට ලේඛකයන් පොලඹවනවා.”
ටී.එස්. එලියට් මෙහිදී විමර්ශනයට භාජන කරන්නේ බටහිර රටවල සාහිත්‍ය බව ඇත්ත. එහෙත් එම ප්‍රකාශයෙන් ධ්වනිත වන අර්ථය නැත්නම් මූලධර්මය අප කාහටත් වැදගත්. මේ අනුව බලන විට අපට පැහැදිලි වන්නේ කවර ලේඛකයෙකුට වුවත් සිය පාරම්පරික සාහිත්‍ය සම්ප්‍රදාය වැදගත් වන බවයි. මෙය බටහිර ලේඛකයන් මැනවින් වටහාගෙන තියෙනවා. නවීන බටහිර ලේඛකයන් වස්තු විෂය අතින්, රචනා රීතිය අතින්, සන්දර්භ විධි අතින් පුදුම එළවන අන්දමේ අත්හදා බැලීම් පවත්වා තියෙනවා. එම නිසා බොහෝ දෙනෙක් කල්පනා කරනවා නවීන බටහිර ලේඛකයන් ස්වකීය සම්ප්‍රදායන්ට සම්පූර්ණයෙන් ම පිටුපා ගොස් තිබෙන බව. එහෙත් මෙය වැරදි මතයක්. ඔවුන් කොතරම් නව අත්හදා බැලීම් පැවැත්වූවත්, ඒවා සියල්ලම සිදුකොට තිබෙන්නේ සම්ප්‍රදාය විසින් හික්මවන ලද සාහිත්‍ය මනසකින් යුතුවයි. එම නිසා නවීන බටහිර ලේඛකයා හා පැරණි සාහිත්‍යය යන මාතෘකාව ගැන කථා කිරීමේදී පළමුවෙන් ම කිව යුතුව තිබෙන්නේ සම්ප්‍රදාය ගරුකව, බොහෝ ලේඛකයන් පැරණි සාහිත්‍යයෙන් ආභාසයක් ලබා තියෙන බවයි. සම්ප්‍රදාය යන්න ඉතා සියුම් දෙයක්. මේ නිසාම අසවල් ලේඛකයා අසවල් රචනය නිර්මාණය කිරීමේදී අසවල් ආකාරයට සිය සම්ප්‍රදායෙන් ආභාසයක් ලබා තියෙනවා කියා පැහැදිලිව පෙන්නා දීම තරමක් අමාරුයි. එය ඉවෙන් මෙන් වටහා ගන්නා දෙයක්.
එහෙත් යම් යම් ලේඛකයන් චිරන්තන සාහිත්‍ය කෘතිවලින්, පැහැදිලි ලෙස දැක්විය හැකි අන්දමට, ආභාසය ලබා ඇති අවස්ථාත් එමට දක්වන්න පුළුවන්. උදාහරණයක් හැටියට එංගලන්තයේ හා ඇමරිකාවේ විසිවැනි සියවසේ ඇති වූ කාව්‍ය විප්ලවය සලකා බලමු. මේ කාව්‍ය විප්ලවයෙන් පසුව බිහි වූ රචනාවල දක්නට ලැබෙන එක් මුඛ්‍ය ලක්ෂණයක් නම් සංකීර්ණ ආවේගයන්ගේ ප්‍රබල සංඝට්ටනය විදහා දැක්වීමයි. මෙහි දී ඔවුන් ජෝන් ඩන්, ජෝර්ජ් හර්බට්, ඇන්ඩ්රූ මාවල් වැනි දහහත් වැනි සියවසේ කවීන්ගේ රචනාවලින් විශාල ආභාසයක් ලැබුවා. උත්ප්‍රාසයට හා සන්දිග්ධාර්ථයන්ට මුල් තැනක් ලැබනෙ පරිදි දහහත් වැනි සියවසේ කවීන් කාව්‍ය රචනා කළා. එමෙන්ම “a bracelet of bright hair about the bone” වැනි කාව්‍යෝක්තිවල දක්නට ලැබෙන පරිදි ප්‍රබල ව්‍යතිරේකාලංකාරයට මුල් තැනක් දුන්නා. මෙහි bright hair යන යෙදුමත් bone යන වචනයත් එක්තැන් කොට ඇති ආකාරයෙන් ව්‍යතිරේකාලංකාරය ජනිත වෙ නවා. මෙම ලක්ෂණ නවීන ඉංග්‍රීසි හා ඇමරිකානු පද්‍යවල බහුලව දක්නට ලැබෙන අතර ම එම කවීන්ම ප්‍රකාශ කොට ඇති අන්දමට, ඔවුන් දහහත් වැනි සියවසේ ජෝන් ඩන් වැනි රචකයන්ගෙන් නොමඳ ආභාසයක් ලබා තියෙනවා. ඇතැමුන් විදග්ධ සාහිත්‍ය කෘති වලින් නැත්නම් මහා සම්ප්‍රදායෙන් එළියක් ලැබුවා. මේ අතර ‘සමහරුන් ගැමි සාහිත්‍ය නිර්මාණවලින් නැත්නම් චූල සම්ප්‍රදායෙන් එළියක් ලැබුවා. ඉතාමත් ජනප්‍රිය කවියෙකු වන ස්පාඤ්ඤ ජාතික ෆෙඩෙරිකෝ ගාර්සියා ලොර්කා නිදර්ශනයක් හැටියට දක්නට පුළුවන්. ඔහු සිය පද්‍ය කාව්‍යයන් රචනා කිරීමේදී සිය රටේ ගැමි ගීවලන් මහත් ප්‍රතිෂ්ඨාවක් ලැබුවා. භාෂාව හා කාව්‍යෝක්ති අතින් පමණක් නෙවෙයි නවීන ලේඛකයන් පැරණි සාහිත්‍යයෙන් ආභාසයක් ලබා තියෙන්නේ. ඇතැම් සාහිත්‍යකරුවන් පැරණි ලේඛකයන් විසින් පරිචිත තාල, විරිත් වැනි රචනෝපක්‍රම ද ඉතා සාර්ථක ලෙස යොදාගෙන තියෙනවා, උදාහරණයක් වශයෙන් එලිසබිතියානු යුගයේ ජනප්‍රියව පැවති Lambic Pentametre යන දසමන් විරිත ටී.එස්. එලියට් වැනි ලේඛකයන් ඉතා ශූර ලෙස, නව ජීවයකින් යුතුව, සිය කාව්‍යවල හා නාට්‍යවල යොදා තියෙනවා.
ඇත්ත වශයෙන් නවීන බටහිර ලේඛකයන් ආභාසයක් ලබා තියෙන්නේ ස්වකීය පාරම්පරික සාහිත්‍යවලින් පමණක් නොවෙයි. බොහෝ දෙනා පිළිගන්නා අන්දමට විසිවැනි සියවසේ පහළ වූ ශ්‍රේෂ්ඨතම නාට්‍යකරුවා නම් ජර්මන් ජාතික බෙර්ටෝල්ට් බ්‍රෙච්ට්ස්. ඔහුගේ කීර්තිය විශ්වව්‍යාප්ත කිරීමට ඔහු විසින් ඉදිරිපත් කරන ලද නව රංග සංකල්පය මූලෝපකාර වුණා. මෙම රංග සංකල්පය සකස් කිරීමේදී ඔහු පාරම්පරික චීන ගීත නාටකයෙන් විශාල ආභාසයක් ලැබුවා. ක්‍රෑර රංගන යන රංගන විශේෂය ජනප්‍රියත්වයට පත් කළ ඇන්ටොයින්, ආර්ටෝ තවත් කීර්තිමත් නාට්‍යකරුවෙක්. ඔහු බලි දූපතෙහි පැරණි නාට්‍යවලින් එළියක් ලැබුවා. ඩබ්ලිව්.බී. යේට්ස් නමැති සුප්‍රකට අයිරිස් ජාතික නාට්‍යකරුවා පුරාතන ජපානයේ නෝ නාට්‍ය ක්‍රමයෙන් ප්‍රභාවක් ලැබුවා. විසිවැනි සියවසේ එංගලන්තයෙත් ඇමෙරිකාවේත් ඇති වූ උග්‍ර කාව්‍ය විප්ලවයට පදනම් වූ එක් සාහිත්යික වාදයක් තියෙනවා. එය තමා සංකල්පය රූප වාදය. (Imagism) එස්රා පවුන්ඩ්, රිචඩ් ඇල්ඩිංටන්, එමි ලොවල්, හිල්ඩා ඩූලිට්ල් වැන්නවුන් සංකල්ප රූපවාදය බිහි කිරීමේදී චිරන්තන ජපන් හා චීන පද්‍යවලින් හා පැරණි ග්‍රීක පද්‍යවලිනුත් මහත් පිටුවහලක් ලැබුවා. මෙයින් අපට පැහැදිලි වන්නේ නවීන යුරෝපීය හා ඇමරිකානු ලේඛකයන් සිය රටවල පුරාතන සාහිත්‍ය කෘතිවලින් පමණක් නොව, පෙරදිග රටවල පුරාතන සාහිත්‍ය කෘතිවලිනුත් ප්‍රතිෂ්ඨාවක් ලබා ඇති බවයි.
විසිවන සියවසේ බටහිර සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ඉතා ම වැදගත් උද්භූතීන් දෙකක් හැටියට බෙර්ටෝල්ට් බ්‍රෙච්ට්ගේ රංග කලාවත්, එස්රා පවුන්ඩ් ඇතුළු කවින්ගේ සංකල්ප රූප වාදයත් දක්වන්න පුළුවන්. මේ උද්භූතීන් දෙකටම චිරන්තන සාහිත්‍යය මහත් පිටුබලයක් වී තියෙනවා.
නවීන බටහිර ලේඛකයා හා පුරාතන සාහිත්‍යය අතර පවත්නා සම්බන්ධය පරීක්ෂා කිරීමේදී මේ තාක් අපි සාකච්ඡා කළේ එක එල්ලේම පැරණි සාහිත්‍යයෙන් ලබා ඇති ආභාසයයි. මෙය තමා ඉතාමත්ම සරල ක්‍රමය. එහෙත් මීට වඩා සංකීර්ණ ස්වරූපයකින් මෙම සම්බන්ධය දක්නට ලැබෙනවා. ඇතැම් නූතන කවීන් පැරණි පද්‍ය පාඨ උත්ප්‍රාසයක් දැනෙන පරිදි යොදා ගෙන තියෙනවා. පැරණි සමාජවල සරල සෞන්දර්යත්, වර්තමාන සමාජයේ සංකීර්ණ වූත් කර්කශවූත් ස්වභාවයත් එකට ගටා පෙන්නුම් කිරීමට ඔවුන් මෙම ක්‍රමය භාවිත කරනවා. මේ සම්බන්ධයෙන් ටී.එස්. එලියට්ගේ ‘ද වේස්ට් ලෑන්ඩ්’ නමැති කාව්‍යය අතිශයින් වැදගත්. මෙම ලක්ෂණය එහි බහුල වශයෙන් දක්නට ලැබනෙවා. මම එයින් උපුටා ගත් අවස්ථාවක් දෙකක් දක්වන්න කැමතියි. ඔහු එහිදී එක් තැනක ස්පෙනසර් නම් කවියා ‘ප්‍රොතැලමියන්’ නම් කාව්‍යයෙහි තේම්ස් නදිය වර්ණනා කිරීමේදී යොදා ගත් කාව්‍යොක්තියෙක් වර්තමාන අවධියේ රස බව දැක්වීමට යොදා ගෙන තියෙනවා. ස්පෙන්සර් තේමස් නදියේ දුටුවේ මල් පියලියි. එලියට් දකින්නේ සිගරට් කොට හා කාඩ්බෝඩ් පෙට්ටියි.
‘ද වෙස්ට් ලෑන්ඩ්’ කාව්‍යයෙහි ම ඔහු තවත් තැනක ඇන්ඩ්‍රෑ මාවල් නම් පැරණි කවියාගේ පද්‍ය ඛණ්ඩයක් මඳක් වෙනස් ස්වරූපයකින් ඉදිරිපත් කරනවා. මෙහිදීත් අරමුණ පුරාතන සමාජය හා නූතන සමාජය අතර වෙනස සංක්ෂිප්ත ලෙස පෙන්නුම් කිරීමයි. මේ මාවල් ගේ පද්‍ය ඛණ්ඩයයි.
But at my back I always hear
Time’s wineed chariot hurrying near.
එලියට් එය මඳක් වෙනස් කොට දක්වන්නේ මේ ලෙසට යි.
But at my back from time to time I hear
The sound of horns and motors.
ටී.එස්. එලියට් ඇතැම් විට පැරණි පද්‍ය ඛණ්ඩ උත්ප්‍රාස ජනනය සඳහා යොදා ගන්නා අතර තවත් සමහර අවස්ථාවන්හි පැරණි කාව්‍යෝක්තිවලින් ධ්වනිත වන හැඟීම් සමුදාය නව අත්දැකීමක් පරිපෝෂණය කිරීම සඳහා යොදා ගන්නවා.
Unreal city
Under the brown fog of a winter dawn
a crowd flowed over London bridge, so many.
I had not thought death had undone so many.
ලන්ඩන් පුරය විස්තර කරන මෙම පද්‍ය ඛණ්ඩයෙහි සතරවන පාදය ඩාන්ටේ ගේ ඉන්ෆර්නෝ’ නම් කෘතියෙන් උපුටා ගන්නා ලද්දක්. අපාය විස්තර කරන කාව්‍යෝක්තියක් මෙහි ලන්ඩන් පුරය විස්තර කිරීම සඳහා යොදා ගෙන තිබෙනවා. මේ අනුව බලන විට අපට ස්ඵූට වන්නේ නවීන ලේඛකයන් ඉතා සංකීර්ණ ලෙස පැරණි සාහිත්‍ය කෘති උපයෝගී කොට ගෙන ඇති බවයි.
නවීන බටහිර ලේඛකයන් හා පැරණි සාහිත්‍යය අතර සම්බන්ධය සම්මර්ශනය කිරීමේ දී අපගේ අවධානයට හසු විය යුතු තවත් සංකීර්ණ උපක්‍රමයක් නම් පැරණි කතා පුවත් නව විවරණයකින් යුතුව ඉදිරිපත් කිරීමයි. මේ සම්බන්ධයෙන් විසිවැනි ශත වර්ෂයේ ප්‍රංස නාට්‍යකරුවන්ගේ ප්‍රයත්න ඉතා වැදගත්. ජින් ගිරෝඩූ, ජින් අනුඩි, ඇල්බට් කැටූ, ජෝන් පෝල් සාත්, ජෝන් කොන්ටෝ වැනි විශ්ව සම්මානයට පත් නූතන ප්‍රංස නාට්‍යකරුවන් ග්‍රීක නාට්‍යකරුවන් විසින් ගවේෂණය කරන ලද පුරාකථා අමුතු ආකාරයකට විග්‍රහ කොට නව දෘෂ්ටියක් ඉදිරිපත් කිරීමට ඔවුන් සම්තව තිබෙනවා. ඔවුන් පැරණි කතා පුවත් උපයෝගී කොට ගත්තේ සමකාලීන අත්දැකීම්, සමාජ තත්වය හා සත්තාව වඩාත් ප්‍රබල ලෙස නිරූපණය කිරීමටයි. ජෝන් අනුයිගේ “රියුරිඩිස්” “ඇන්ටිගනි” වැනි කෘති විමසීමෙන් මෙය වටහා ගන්න පුළුවන්. කාලීන අත්දැකීම් හා සමාජ තත්වයන් ප්‍රකාශ කිරීමට නූතන ප්‍රංස නාට්‍යකරුවන් පැරණි කථා වස්තු යොදා ගත්තේ ඇයි? පැරණි කථා වස්තුවල, පුරාකථාවල සදාතනික මනුෂ්‍ය අත්දැකීම් ගැබ් ව තියෙනවා. එම අත්දැකීම් ගවේෂණය කිරීමෙන් අතීතය හා වර්තමානය අතර පවත්නා සමීප සම්බන්ධයත් දේශ කාල භේදයෙන් විනිර්මුක්ත වූ පොදු මානුෂිකත්වයක් ගෙන හැර දැක්වීමට ඔවුන් අදහස් කළා.
නවීන බටහිර ලේඛකයා හා චිරාත්තන සාහිත්‍ය අතර පවත්නා සම්බන්ධය විග්‍රහ කිරීමේදී අපගේ සැලකිල්ලට ලක් විය යුතු තවත් සංකීර්ණ උපක්‍රමයක් නම්, වර්තමාන අත්දැකීමකට නිශ්චිත රටාවක් හා සංවිධානාත්මක ස්වරූපයක් ආරෝපණය කිරීමට පැරණි කථා වස්ත්‍ර යොදා ගැනීමයි. උදාහරණයක් වශයෙන් වර්තමාන අවධියේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් නවකතාවක් ගෙන හැර දක්වන්න කැමතියි. එනම් ජේම්ස් ජොයිස්ගේ “යුලීසීස්” නවකතාවයි. මේ නවකථාවට පදනම් වී ඇත්තේ අයර්ලන්තයේ ඩබ්ලින් පුරයේ වෙසෙන ලියෝපෝල්ඩ් බ්ලුටි හා ස්ටිවන් ඩිඩල්ස් යන දෙදෙනාගේ පැය විසි හතරක අත්දැකීම් සමූහයයි. ඉතා විශාල නවකතාවක් වන මෙය සවිස්තර ලෙස ඔවුන් සිතුම් පැතුම්, කල්පනාවන් චින්තාවන් නිරූපණය කරනවා. මෙම අත්දැකීමට සංවිධානාත්මක ස්වරූපයක් ආරෝපණය කිරීම පිණිස ජේම්ස් ජොයිස් එක් උපක්‍රමයක් යොදාගෙන තියෙනවා. එනම් හෝමර්ගේ “ඔඩිසි” කාව්‍යයෙහි සිදුවීම් වලට මෙම නවකතාවෙහි අත්දැකීම් සම්බන්ධ කොට දැක්වීමයි. මෙම කාර්ය ජොයිස් ඉටු කර ඇත්තේ ඉතා ශූර අන්දමිනුයි. ‘යුලීසිස්’ නවකතාව ඉතාමත් පහසුවෙන්, විසිරි ගිය සිදුවීම් හා සිතුවිලි රැසක් ඇතුළත් ප්‍රපංචිත අත්දැකීමක් බවට පත් වන්නට ඉඩ තිබුණා. එහෙත් එය නොවන්නේත් ඊට නිශ්චිත රටාවක් ආරෝපණය වන්නේත්, හෝමර්ගේ කාව්‍යය ඇසුරු කර ගැනීම නිසයි.
මේ අනුව බලන විට නවීන බටහිර ලේඛකයන් පැරණි සාහිත්‍ය සමඟ විවිධාකාර සම්බන්ධකම් ඇති කොට ගෙන තිබෙන බව පෙනී යනවා. සමහරුන් චිරන්තන සාහිත්‍ය කෘතිවලින් එක එල්ලේම ආභාසයක් ලැබුවා. සමහරුන් පුරාතන සමාජය හා නූතන සමාජය අතර දක්නා වෛෂම්‍යය උත්ප්‍රාසවත් ලෙස දැන්වීම පිණිස පැරණි සාහිත්‍ය ඛණ්ඩ යොදාගෙන තියෙනවා. තවත් සමහරුන් පැරණි සාහිත්‍ය කෘතිවල දක්නට ලැබෙන කතා පුවත් වර්තමාන ජීවිතයට අදාළ වන පරදි ප්‍රතිවිවරණය කළා. තවත් සමහරුන් සිය වර්තමාන අත්දැකීම්වලට නිශ්චිත රටාවක් ආරෝපණය කිරීම පිණිස පුරාතන සාහිත්‍යගත කථා ප්‍රවෘත්ති උපයෝගී කොට ගෙන තියෙනවා. මේ සියලු අවස්ථා ඉතා පහසුවෙන් නිදර්ශනානුසාරයෙන් විශද කරන්න පුළුවන්. එහෙත් මේ හැරුණු විට, බටහිර සෑම උසස් ලේඛකයෙක්ම සිය පාරම්පරික සාහිත්‍ය සම්ප්‍රදායෙන් ජීව සාරය ලබමින් සිය ගද්‍ය පද්‍ය කෘති රචනා කර ඇති බව කිව යුතු යි. මෙය නිදර්ශනානුසාරයෙන් පහසුවෙන් දක්වන්න බැහැ. මෙය අන්තර්ඥානයෙන් වටහා ගත යුත්තක්.
එම නිසා සමස්ත වශයෙන් සලකා බලන විට අපට කිව හැක්කේ නවීන බටහිර ලේඛකයින් හා පැරණි සාහිත්‍ය කෘති අතර ඉතා අර්ථවත් වූත් ජීවසාධක වූත් සංවාදයක් නිරන්තරයෙන් ම පවත්නා බවයි.