
බුදුරදුනි
ලොවම අද අඳුරුයි නොදැමුණුකමින් උමතුයි
වෛරයෙන් වියරුයි
නොනිමෙන ගැටුම් මැද...
තණ්හා ජාලයක පැටලී වියවුල්ව වැරදුණු මාවතක ඇය යයි
ඔබේ පැමිණීම ගැන සන්තාපයෙන් පෙලෙන සත්වග
වැරැද්දෙන් මුදවන්න
විශ්වාසයේ නිත්‍ය හඬ සරෙන් නහවා
ඔබේ ආලෝකයෙන් මෙත් පියුම් පුබුදන්න
විපුල මුදු මධු නිදන් පුරවා
සැනසුමක නිදහසක ඉම් සොයා තැවෙන මේ සත්වග
දුක්බරින් මුදවන්න
ඔබෙ අමිල සත්ගුණැති දයාවෙන් නහවා
හැම අඳුරු කැලලක් ම ලෝකයේ හදවතින්
යළි නොනැගෙනා ලෙසින් පිසදා
ශාශ්වත ත්‍යාගයන් නිබඳ දෙන බුදු රදුනි
දෙනු මැනවි දනන් හට කැප කිරීමේ බලය
ඉවසන්න හදෙහි ඉඩ සලසා
ගනුමැනවි ඔවුන්ගෙන් තණ්හාව මද මාන
උනුන් අගයන්න සිත් සකසා
ප්රඥාවෙ නව හිරුගෙ සොබාමත් උදාවෙක
ඉඩදෙන්න අඳ අයට යළි පෙනුම ලැබගන්න
ඉඩදෙන්න මළ අයට යළි ආත්මය ගන්න
ඔබෙ අමිල සත්ගුණැති දයාවෙන් නහවා
හැම අඳුරු කැලලක් ම ලෝකයේ හදවතින්
යළි නොනැගෙනා ලෙසින් පිසදා
(රවීන්ද්‍රනාත් තාගෝර් 1934 මැයි 28 වැනි වෙසක් පෝදා වංග බසින් බුදුරදුන් වෙත කළ අභිිවාදනයකි. ඔහු ම ඉංග්‍රීසි බසට පෙරළූ එහි සරල පරිවර්තනයක් කිරීම සඳහා ගත් උත්සාහයකි.)
ලක්ෂ්මි මලලගම
අභය භූමිය
“විල්පත්තු අභය භූමිය
සතුන් හට ඇරුණකි”
ඒත් එක් දිනයක
සෙල්ලක්කාරයෙකුගේ අභය භූමිය වීය
පතරොම් පුරවා
ඉලක්කය බලලා
මෑනුවා මුව රංචුවකට
අහිංසකයෝ පැන විසිරුණාහ
හතර ගාතෙන් ඇද හැලුණු
තිත් ගොඩක් දැක
හෙතෙම් දිව්වා පස්වනක් ප්‍රීතියෙන්
කෙඳිරි ගාමින් නෙත් පියාගත්
“අහිංසකයාගේ කුස තුළ
තවත් අහිංසක ගුළියක්”
සඳුන් විජේසිරි
හෙට
හෙට දින හෙටම පවරා
අද දින ඇති දේ කරන්න
අද දින ඇති දේ හෙට දින
කරනට ඔබ නොසිතන්න
හෙට කියා දිනක් ඇතත්
හෙට ගැන ඔබ අද නොසිතා
අස්ථිර ජීවිතේ දැක දැක
නොපමාවෙන් වැඩ කරන්න
“අපපමාදෝ අමත පදං
පමාදෝ මච්චුනෝ පදං”
රෝයි වර්ණසූරිය
දුර හා ළඟ
දුරක ඉන්න විට
රිදුම් දෙයි පපුව
ළඟට ගන්නට සිතේ
සොයා බලන්නට සිතේ
ගෙදර එන්න පරක්කුද
දෙමි ඇමතුමක් විගහට
ළඟට දුටු විට
දැනෙයි මට
ඔබ කොතරම් දුරස් දැයි
සිතෙයි මට
මේ ඉන්නේ
මා අතැර ගිය
ඔබ වග
ඉතින් මම
වද විඳිමි
තබාගෙන ඔබ
දුර හා ළඟ
කුසුම් නිශාන්ති පතිරාජ
(තුත්තිරි කාව්‍ය සංග්රහයෙනි)
මේ රැය ගෙවමි
ගල්ලැහැ පන් කපා තරණිය කොට කඳුර
තුන්පත් රටාවට වියලා දුන් පැදුර
හේනේ පැලේ එළුවට පස්සේ සොඳුර
අතගානවා හෙමිහිට ඇවිදින් අඳුර
මන්දාරමට බිය වී තරු සැඟවෙනවා
හිත නිදි බරයි කුරහන් මල් වැළපෙනවා
තනිකම හිත පුරා පාළුව අතුරනවා
රෑ දිග මනින්නට සී පද පෙලඹෙනවා
තරුපති දකින කොඳ කැකුළක අසිරි අරා
ඔය වත දකින්නට ජීවන සුවඳ පෙරා
සිත සන්තාප අමතක කර සතුට දරා
මේ රැය ගෙවමි හෙට ඉරමල පිපෙන තුරා
රුවන් රත්නායක රිල්ලොලුව
සිත නැති වී...
ඔබ නැති වු බව
සැල වූ විගසම
ඔබ
දක්නට ආ වේලේ
ඔබ සිටියා
සැටින් සැරසිලි මත
සුදු සාරියෙන් සැරසී
අත් මේස් අතැතිව
මා දෙස හෙළුෑ
නෙත් කැලුම්
පියාගෙන
ඔබ සිටියා
මා අත රැඳි
රතු රෝස මල් කලඹ
තබා
ඔබ දෙපා මත
සමු ගතිමි
සිතන්නට බැරි සිතින්”!
උදේනි සරත්චන්ද්‍ර
(හෙටත් උදේ ඒවි කාව්‍ය සංග්රහයෙනි)
පුතු සිහි වී
තෙරුවන් සරණය පතා
පොඩි පොඩි කවි පද ගොතා
මේ ලියන්නේ සිහිවීලයි
නුවර ඉන්න පොඩි පුතා
ගෙයි කිසි සද්දක් නැතේ
අම්මිත් තනියෙන් ඇතේ
නුවර ගියත් පුතා තවම
ගෙයි කියලයි මගෙ හිතේ
“බස්” එක “ඩෙස් ” එක “කසේ ”
තිබූ තැනම ඇත එසේ
කලුවර වෙන්නත් ඉස්සර
දැන් ගෙයි දොරවල් වැසේ
ඇදේ කොට්ට විසිරිලා
පාළුව ඇත රජවෙලා
පුතා නැති නිසා මිදුලේ
කොළ වැටිලා හැඩි වෙලා
තනිකම පාළුව හැඟෙයි
හොඳ උපමාවක් නැෙඟයි
“පිටකෝට්ටේ ” පුතත් එක්ක
නුවර ගිහිල්ලා වගෙයි
ගේ පුරාම පනිනවා
දැන් මැවිලා පේනවා
පුතාගේ කලිසන් දැක්කම
පපුව හෝස් ගානවා..
ගෙයි නැති විටකදි පුතු
මොකට ද මට මිණි මුතු
අජිතුයි මංගලයි නිශයි
මතක් කළැයි කිව යුතු
තුරුලුව තුරුලට ගතේ
ආදරයෙන් පිරි සිතේ
“කුණ්ඩසාලෙටත්” ඇහුණද
අම්මිගෙ කටහඬ පුතේ
දින ගැන ඉක්මන් කරන්
නිවාඩුවෙන් පල අරන්
පළවෙනිදට ගෙදර ඉන්න
එන්න ඕන රත්තරන්
ආදරයෙන් පිරි හිතේ
නිතරම පුතු ගැන හිතේ
යළි එන තුරු මෙහි පුතාට
තුන් සරණය ළඟ ඇතේ
ප්‍රේමකීර්ති ද අල්විස්
(ප්‍රේමකීර්ති ද අල්විස්
ගුණ සමරුව නිමිත්තෙනි.)
අරුත්බර කවි
ආදරයට අයිති සිත මිස නොවෙයි ගත
ජීවිතයට අයිති දුක දත යුතුයි සත
අයිතිය ඔබේ හැමදා පවතින්නෙ නැත
දාල යන්න වෙනවා එහි සැකක් නැත
මලකින් හැලුණ පෙති මළ යළි ගන්නෙ නැති
අපේ වුවමනාවට මල් පීදෙන්නෙ නැති
හිරු නැති ලොවක සඳු ගැන අහලවත් නැති
රැය දහවල කියා කිසි වෙනසකුත් නැති
මලක හැඩය නැහැ එහි පෙති හැලුණාම
විලක හැඩය නැහැ විල මල් වැරුවාම
වතක හැඩය නැහැ හම රැළි වැටුණාම
අපට උරුම නැහැ මේ ලොව හැමදාම
ජයසේන කොඩිතුවක්කු
විදෙස් කවිය
විසකුරු
මුහුණු දෙකක් ඇති මිනිසා
විසකුරුය ඔළු දෙකක් ඇති සර්පයෙකුට වඩා
සපා කෑවොත් ඔබව සර්පයෙකු
උරා ඉවතට ගත හැකි නමුදු ඒ විෂ
සපා කෑවොත් ඔබව මිනිසෙකු
ඉවතට ගත නොහැකිය ඒ විෂ!
කලක් වෛද්‍යවරියක ලෙස කටයුතු කළ තස්ලිමා නස්රින් ලොව පුරාම කතාබහට ලක්වූ බංග්ලාදේශ ලේඛිකාවකි! කිවිඳියක, නවකතාකාරියක මෙන්ම පුවත්පත් තීරු ලිපි රචිකාවක ලෙසද ඇය ප්රකටය! කලක් තිස්සේ කාව්‍ය නිර්මාණ රචනයෙහි නියැළෙමින් කාව්‍ය සංග්‍රහයන් ගණනාවක් ලියා පළ කළ ඇය 1993 වසරේදී රචනා කළ ‘ලජ්ජා’ නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය!
එම කෘතියෙන් ඉස්ලාම් ආගමට අපහාස කෙරෙන්නේ යැයි චෝදනා කරමින් මූලධර්මවාදීන් විසින් එල්ල කරන ලද පීඩනය හමුවේ රටින් පළා යන්නට පවා ඇයට සිදු විය! වර්ෂ 1994 සිට රටින් පිටුවහල්ව සිටිමින් විප්‍රවාසී දිවියක් ගත කරන ඇය දැනටද කාව්‍ය නිර්මාණ ඇතුළු විවිධ නිර්මාණ මෙන්ම ස්වයං ලිඛිත චරිතාපදානයක්ද කොටස් වශයෙන් ලියා පළ කරමින් සිටින්නීය!
‘විසකුරු’ නමැති මෙම නිර්මාණය මඟින් කියා පාන්නේ මිනිසාගේ ගති සොබාව ගැනය! මුහුණු දෙකක් ඇති මිනිසා ඔළු දෙකක් ඇති සර්පයෙකුටත් වඩා විසකුරු බව කිවිඳිය කියයි! එය සැබෑවකි! මුහුණු දෙකක් හෙවත් ස්වරූප දෙකක් ඇති මිනිසා සැබැවින්ම ඉතා විසකුරුය! එවැන්නෝ එදිනෙදා ජීවිතයේදී අපට හමු වෙති! උඩින් හොඳ හිත පෙන්වමින් යටින් උගුල් අටවන මිනිසුන් බොහෝ වෙති! ඔවුන් ඇතැම් විට පෙනී සිටින්නේ ඉතා යහපත් සත්පුරුෂයින් ලෙස වුවද ඔවුන්ගේ සැබෑ ස්වරූපය ඊට හාත්පසින්ම වෙනස්ය!
එවැනි මිනිසුන් හඳුනාගැනීම ද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ! ඔවුන් සපා කෑවොත් ඉතා භයානක තත්ත්වයක් ඇති විය හැකිය! එවැනි මිනිසුන් සපා කන්නේ කිසිවෙකුටත් නොදැනෙන අයුරිනි! ඒ නිසාම ඔවුන් සපා කන බව එක විට දැනගත නොහැකිය! ඒ සපාකෑම ගැන දැනගන්නට ලැබෙන විට සිදු විය යුතු හානිය සිදුව අවසන්ය! එබැවින් එවැනි සපා කෑමකින් ශරීරගත වන විෂ ඉවත් කිරීම අපහසුය! සර්පයෙකු සපා කෑවොත් ඒ විෂ උරා ඉවත දැමිය හැකි වුවද, මිනිසෙකු සපා කෑවොත් ඒ විෂ ඉවතට ගත නොහැකියැයි කිවිඳිය පවසන්නේ එබැවිනි!
අජිත් නිශාන්ත
සංසාරෙ දුර වෙච්චි
පොඩි පැලේ ගහ වෙච්චි
ගහ හොඳින් මෝරච්චි
මල් පීරී පේවෙච්චි
බිඟු පෙමින් මත් වෙච්චි
කුස හෙමින් මෝරච්චි
හිත තුටින් නෑ වෙච්චි
ඵල දැරූ මව් වෙච්චි
රෑ දිවා නැති වෙච්චි
ධම්මි අනුරපුර
තනියට සිටි සඳ
නිසොල්මනේ සිටි සඳ
ජනෙල් පියන් අතරින්
ගෙතුලටම ඇවිදින්
මොකක් දෝ කියයි; මට
අදහාගත නොහැකිව
සිටින විට
මතක්කර දෙයි; අතීතයම.
මහා වැස්සෙන් තෙමී
මහා කන්දෙන් බැස
පියස්සක නොදැක - මහ වන මැද
අතරමං වී සිටින විටි
තරු පාර කියූ මාවතේ
ඇවිද ගිය මතකය
මා වෙහෙස කරවයි; අද
ඉර සඳට කතා බැහැ
කියූ මුත්
මා සසල කරවනා සඳ
බොහෝ දේ මතකයට ගෙන එයි
කමලා ධර්මලතා ජයසූරිය
හද හඬන හඬ!
නුඹ වියෝ වූ සොවින්
මට වඩා හයියෙන්
මගේ කඳුළු හඬන හඬ
නුඹට ඇහෙනවද සොඳුරිය?
නිහාල් ගුණවර්ධන
රැක ගනිමු
සුදුකොඩි ලිහී හඬමින් බිම මත වැටුණ
සිංහල කොඩිය ලෙලදී අහසට නැගුණ
නිවහල් රටක් දුක්විඳි සතහට ලැබුණ
අපි රැකගනිමු දිනු ඒ නිදහස විඳින
කේ. ලිලියන් පෙෙර්රා
ඉඩ දෙන්න සිහිනයට
ඉඩ දෙන්න ඔබේ සිහිනයන්ට
ළඳු කැලෑවල පිපෙනා වන මල් සේම
නිදහසේ මෝදු වෙන්නට
එපමණක් නොව
ඉඩ දෙන්න ඒ මල් වල සුවඳ
ඇති, නැති භේදයකින් තොරව
විඳගන්නට සැමට
ඉඩදෙන්න යුවතියන්ගේ ප්රමෝදයට
දරුවන්ගේ සතුටට
වැසි පතන, වියළුණු දිය ඇලි වලට
මුහුද මැද සරනා නැවියන්ට
සිහිල් මුදු පවනක් ම වන්නට
සියුමැලි මනාලියන් අසිරිමත් දින
පලඳනා කිරුළ වන්නට
ඉඩ දෙන්න ඔබේ සිහිනයන්ට
සතුට, සැනසුම, ආදරය ගෙන එන
හිණිමඟක් වන්නට
Ahmed gumaa Siddiek
අහමඩ් සිද්දීක්
1957 දී සුඩානයේ දී උපත ලද අහමඩ් සිද්දික් 2004 දී ආචාර්ය උපාධිය ලද්දේ සුඩානයේ ධම්ඩුමාර විශ්ව විද්‍යාලයෙනි. සිහිනයන් පිළිබඳ විවිධ පැතිකඩ ඔස්සේ කවි නිර්මාණය කර ඇති ආචාර්ය හිද්දික් දැනට ව්‍යවහාරික වාග් විද්‍යාව පිළිබඳ සහාය මහාචාර්යවරයා ලෙස සෞදි අරාබියේ සක්රා විශ්ව විද්‍යාලයේ සේවය කරයි.
පරිවර්තනය සමන් හේරත්
අවුකන පිළිමය අබියස
මලින සිතුවිලි සසල කළ හිත
සනසවාලු සමිඳ පින්සර
ඔබේ පායුග තබා පුදනෙමි
හදේ සුපිපුණු සුවඳ සියපත
මහා කරුණා නෙතින් නිසසල
දෙවාලන එක බැල්ම සමිඳුනි
සිතේ කෙලෙසුන් නිවා පිසදා
සිතට නිසැකව බවුන් කැඳවයි
ඈත වන ගැබ මතින් සපැමිණි
සීත සුළඟක පහස විද විඳ
මෑත ඇති නිල් දියෙන් පෝෂිත
කලාවැව දෙයි නැවුම් සීතල
අසා ගන්නට මිහිරි බණ පද
පියාගමි මම, මගේ නෙත් දෙක
ඇසෙයි සුමධුර පිරිත් ස්වර මට
පිළිම පාමුල නිහඬ වූ සඳ
තිලක් ඒකනායක
ගමන
නෙක කිළි කුණු රැගෙන
දෙගොඩ තලා ගලා බසින
රුදුරු දිය දහරක් සේ
දිව්වෙමි හසරක් නොදැන
ඉකුත් වුන කාලය පුරාවට
“ඔළගුව’ ද කරට ගෙන...
සකුණ මියැසිය මැද
රන් වනින් දිදුලන
මහ බෝදියේ සෙවණ යට
නැවතුනෙමි මදකට
නිවා ගන්නට විඩා
“ඔලගුව” තබා පයෙකින්...
ළා තණ පතක වැතිරුණ
උදෑසන පිණි බිඳක
පිවිතුරු බව දැනී සිත
යළි නැඟී සිටියෙමි
නගින්නට ජීවිතයෙ දුර්ගය
“ඔළගුව” දෙස නොබලාම
ඒ. දන්තනාරායන
මනාලිය
හදවත් කැඩපතෙහි
තෙළි තුඩින් සිතුවම් කළ
ආදරේ සිතුවමයි
මුළු හදින් මා පැතුව
නෙතු ගැටුණු ඒ රුවෙන්
ලද සෙනෙහෙ විඳින්නට
සිහින දකිනා විටක
හිමිවෙලා සේ දැනුණු
සුපෙම්බර මනාලිය
දෛවයෙන් සොරාගෙන
නිහඬවම සමුගන්නවා මිසක
යළි යළිත් දෙහදවත්
කඳුළකින් සරසවන්නේ කුමට
හෂාන් ඉහළගෙදර