
සාහිත්‍යයේ වසන්ත සමය ද?
අවුරුද්දකට වතාවක්, ශ්‍රී ලංකාවේ සාහිත්‍යය, පිළිබඳ කතා කරන්නෙ, වාද විවාද ඇතිවෙන්නෙ, මත ගැටුම්, මඩ ගැසීම්, අවලාද නගන්නෙ සැප්තැම්බර් මාසෙ විතරක් ද කියලා ඉන්ද්‍රචාපට කල්පනා වෙනවා. ඉන්ද්‍රචාපගෙ සමීප රූප පිරිල ඇඳෙන්නෙ, මේ දවස්වල කතා වුණු, කතාබහ වෙන, සාහිත්‍ය සම්මාන උලෙළ, ජයග්‍රාහී පොත් පත් නාමාවලී, කෙටි ලැයිස්තුගත සම්මාන සඳහා තරග වදින නවකතා පොත්වලින්. සම්මාන කාට හිමි වුණත්, හොඳ සාහිත්‍යයක් බිහි වෙනවනම්, සමාජයේ ප්‍රගමනයට, පාඨකයන්ගෙ ඥානය පුළුල් කරන්න, රස වින්දනය ඉහළට නංවන්න හැකි වර්ගයේ නිර්මාණ බිහිවෙනවනම් සම්මාන උලෙළ සංවිධායකයන්ගෙ, ඒවා භාරව ඉන්න රාජ්‍ය හා පෞද්ගලික ආයතන මේ රටේ සාහිත්‍යලෝලී ප්‍රජාවගෙ ගෞරවයට පාත්‍රවෙයි අනිවාර්යයෙන්ම. එහෙම නැතුව, ඒ ඒ ආයතන, කණ්ඩායම්වල පෞද්ගලික, න්‍යාය පත්‍රවලට, සාහිත්‍ය මාසයෙ, ඊට පෙර සති කිහිපයෙ, පොත්පත් අලෙවි කර ගැනීමේ වෙළෙඳ පරමාර්ථය ම මුල් කරගෙන සම්මාන පිරිනැමීම සිද්ධ වෙනවනම්, පාඨකයො ප්‍රශ්න කරාවි, සම්මාන උලෙළ පවත්වන්නෙ, ප්‍රකාශකයන්ගෙ පසුම්බි තර කර ගන්න ද, රජයේ ප්‍රතිපත්ති අලෙවි කරන්න ද කියලා. ඉන්ද්‍රචාපගෙ සමීප රූප අතර ඇඳෙන සාහිත්‍ය සම්මාන උලෙළ කිහිපයක් දැනටමත් මූලික වටයේ ප්‍රතිඵල නිකුත් කරල අවසන්. පළමු වතාවට ප්‍රකාශකයන්ගෙ සංගමය පවත්වපු රජත පුස්තක සම්මාන සඳහා නිර්දේශිත හා සම්මාන දිනූ කවි කෙටිකතා දැනටමත් පාඨකයො කියවීමට රස විඳීමට පටන් අරගෙන. රජත පුස්තක සම්මාන පිළිබඳ විවිධ මත, චෝදනා තිබුණත්, ඉන්ද්‍රචාප ඒ සම්මාන උලෙළ පටන් ගැනීම පිළිබඳ සතුටුයි.
අපේ සාහිත්‍ය උත්සව සම්මාන ප්‍රදාන, සිංහල සාහිත්‍යයට පමණක් සීමා නොවුණු, දෙමළ, ඉංග්‍රීසි ලේඛක ලේඛිකාවන්ගෙ හපන්කම් ද අගය කෙරෙන උලෙළ වීම ඉන්ද්‍රචාපගේ සතුටටත් හේතුවක්. මේ වනකොට සාහිත්‍ය වසන්තය උදාවෙලා වගේ.
ස්වර්ණ පුස්තක නවකතා සම්මානයට නිර්දේශ වුණු නවකතා, ගොඩගේ ජාතික සාහිත්‍ය උලෙළේ ප්‍රථම වටයෙන් අවසාන වටයට ආ නවකතා දැනටමත් ප්‍රසිද්ධ වෙලා අවසන්. ස්වර්ණ පුස්තක මධ්‍ය මණ්ඩලය තෝරන අවසාන කතා පොත් පහ වගේම ගොඩගේ සම්මානය හිමිවන නවකතාව, ස්වර්ණ පුස්තකය වන නවකතාව මොකක්ද කියල දැනගැනීමේ කුහුලින් පාඨකයො ඉන්නෙ. රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිළිබඳ තවම කිසිදු මූලික තොරතුරක් නෑ. ඒ සම්මාන ප්‍රමාණය ඉතා විශාල වග ඉන්ද්‍රචාප දන්නවා. භාෂා තුනෙන්ම පළවුණු අංශ විශාල සංඛ්‍යාවකට සම්මාන පිරිනැමීම, භාරදූර, වගකීම් සහිත, ඒ වගේම අතිශය දුෂ්කර අභියෝගයක් වගෙයි ඉන්ද්‍රචාප දකින්නෙ. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනටම අදාළව, රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමීමට සංස්කෘතික දෙපාර්තමේන්තුව, රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය කටයුතු කරන අතරේ තවත් සාධනීය සම්මාන උලෙළක් පිළිබඳ ඉන්ද්‍රචාපගෙ සමීප රූපයෙ සටහන් වෙනවා.
ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උත්සවය (Fariway Galle Literary Festival) ඉන්ද්‍රචාපගෙ සමීප රූපයට එකතු වෙන්නෙ වැදගත් පණිවුඩයක් ද සමඟ. රාජ්‍ය සාහිත්‍ය සම්මාන හැරුණම භාෂා තුනෙන්ම ලියැවුණු හොඳම නවකතාවලට සම්මාන පිරිනමන්නෙ ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය සම්මාන උලෙළත් වීමයි ඒ වැදගත් පණිවුඩය.
ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේදී වුණත් වර්ෂයේ හොඳම දෙමළ නවකතාවට, ඉංග්‍රීසි නවකතාවට සම්මාන පිරිනැමීම ගැන කල්පනා කළොත්, උදා වුණු මේ සාහිත්‍ය වසන්ත සමයේ, වැදගත් තීරණයක් පිළිබඳ අපූරු පුවතක් වෙනවාට කිසිම සැකක් නැහැ. ඔවුන්ගේ වාර්ෂික පොත් ප්‍රදර්ශන සැණකෙළිය ජාත්‍යන්තර නම්, සිංහල නවකතා විතරක් ප්‍රවර්ධනය කිරීම ඒ තරම් යුක්ති යුක්ත නෑ කියල ඉන්ද්‍රචාප කල්පනා කරනවා. සාහිත්‍යයේ වසන්ත සමයේ, මල් ගොමුවක පිපී සුවඳ හමන මල් මෙන් වඩාත් නිර්මාණශිලී කලාත්මක සාහිත්‍ය කෘති සමීප රූපයට එක්වනු දැකීම ඉන්ද්‍රචාපගෙ අභිලාෂය.