
මීට කලකට ඉහතදී ‘කවිකාර සිත’ නමැති සංයුක්ත තැටිය හරහා ගායකයකු ලෙස ඉදිරියට පැමිණි දිනේෂ් ගමගේ වර්තමානයේ අවන්හල් ආශ්‍රිත සංගීතයේ නම රැන්දු ගායකයෙකි. කවදත් සංගීතයට උපන්-හපන්කම් පානා බොහෝ කලාකරුවන් බිහිවූ මොරටු පුරවරයේ උපන් දිනේෂ් පසුගියදා ‘දිනේෂ් විත් රවුඩිස්’ (Dinesh with RHOUDIES) නමැති තමාගේම සංගීත කණ්ඩායමක් ගොඩනඟමින් ඉදිරි ගමනක් යෑමට සැරැසේ. මේ දිනේෂ් සමඟ රසඳුන කළ කතාබහකි.
දිනේෂ් ඔබගේ වර්තමාන කලා කටයුතු කොහොමද?
සුපුරුදු පරිදි ‘අවො විත් ඩිසයර්’ (AVO with desire) නමැති සංගීත කණ්ඩායම සමඟ හෝටෙල් ආශ්‍රිත සංගීත සාජ්ජවලට බටහිර, පෙරදිග ගායනයෙන් දායක වෙනවා. ඒ වගේම එළිමහන් වේදිකාවටත් පිවිසීමට බලාපොරොත්තුවෙන් ‘දිනේෂ් විත් රවුඩිස්’ නමින් මගේම බෑන්ඩ් එකක් පසුගියදා කලඑළි දැක්වූවා. ඒ හරහා ඉදිරියේදී අපේ දක්ෂතා රට පුරා පෙන්වීමට බලාපොරොත්තුවක් තියෙනවා.
කොහොමද ඔබ ගායකයකු ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන්න...
මං පාසල් ගියේ මොරටුව වේල්ස් කුමර විදුහලට. එදා පාසලේ ගුරුවරයෙක් වූ සුජිත් ශ්‍රීලාල් සර්ගේ සම්මන්ත්‍රණයකදී මුල්ම වතාවට පිරිසක් ඉදිරියේ ගීතයක් කීමට අවස්ථාවක් ලැබුණා. එදා මගේ ගායනය ගැන හැමෝගෙන්ම හොඳ පැසසුම් ලැබුණා. පස්සෙ අපි යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා සංගීත කණ්ඩායමක් හැදුවා ‘ශමේන්ද්‍ර විත් ෆිරොට්ස්’ (shamendra with pirots) කියලා. එහි ගායකයෙකු ලෙස කටයුතු කරමින් සිටින අතරේ පසුව මම මොරටුවේ ‘නෙක්ස්ට්’ (next ) කියන බටහිර සංගීත කණ්ඩායමට එකතු වුණා. එහෙම තමයි මගේ ගමන ඉදිරියට එන්නෙ.
ඔබගේ නිර්මාණ ගැන කතා කළොත්.
මීට අවුරුදු 10කට පමණ පෙර ‘කවිකාර සිත’ නමින් ගීත 10ක් ඇතුළත් සීඩී තැටියක් නිකුත් කළා. එහි ‘කවිකාර සිත’ සහ ‘යායට සඳ පහනයි’ කියන සින්දු දෙකට හොඳ රසික පිරිසක් රොක්වුණා. ‘කවිකාර සිත’ ගීතය කාලයක් ජාතික රූපවාහිනියේ සිත් ගත් ගීවල ඉහළින් ‘හිට්’ වුණ සින්දුවක්. ඒ වගේම එම සීඩී තැටියට සංගීත අධ්‍යක්ෂණයෙන් රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, ශාන්ත ජයලත් තිසේරා, අජිත් ජයවීර වැනි ප්‍රවීණයන්ද පද රචනයෙන් සමන් චන්ද්‍රනාත් වීරසිංහ, කැළුම් ශ්‍රීමාල්, මහේෂ් සත්සර මද්දුමආරච්චි, සමුද්‍ර වෙත්තසිංහ, සරත් ගුණවර්ධන වැනි කලා ක්ෂේත්‍රෙය් ඉහළ නමක් දිනා සිටින්නන්ගේ සහාය මට උපරීමව ලැබුණා. මං හිතන්නෙ මම හරිම වාසනාවන්තයි එවැනි ප්‍රවීණයන්ගේ දායකත්වය මගේ පළමු නිර්මාණ ගොන්නට ලබාගැනීමට හැකිවීම ගැන.
කොහොමද පවුල් පසුබිමෙන් ලැබුණ සහයෝගය
අපේ පවුලේ කිසිම කෙනෙක් ගායන ක්ෂේත්‍රයට, කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නෑ. ඒත් මගේ ඇඟේ තියෙන්නෙ සංගීතය. මට හිතාගන්න බැරි මට ගායනය කොහොම උරුම වුණාද කියලා. හැබැයි මගේ බිරිය දර්ශිකා, ඥාති හිතවතුන් ඇතුළු සියලු දෙනාගෙන් ලොකු සහායක් ලැබෙනවා මගේ ඉදිරි ගමන වෙනුවෙන්.
මෙතෙක් පැමිණි ගමනට ශක්තියක් වූයේ?
ශාන්ත ජයලත් තිසේරා, මහේෂ් සත්සර මහත්වරු මට පුදුම විදිහට ක්ෂේත්‍රෙය් ඉදිරියට ඒමට උදවු කළේ... ඒ වගේම මොරටුවේ කලා එකමුතුවේ සරත් ගුණවර්ධන මහත්මා නොවන්නට මම ගායකයකු නොවෙන්නටත් ඉඩ තිබුණා. මගේ ගමේ, මොරටුව කලායතනයේ ගිය වර්ෂයේ හොඳම සාමාජිකයාට පිදෙන සම්මානය ලැබුණේ මට. ඒක මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්. මොකද ජීවත්වන ගමෙන් ඇගැයීම් ලැබෙනවා කියන්නෙ ලොකු වාසනාවක්. වර්තමානයේ මිනිසුන්ට ලෝකෙ හැම තැනින්ම ගරු බුහුමන් ලැබුණත් තමන්ගේ ගමෙන් ගෞරව සම්මාන ලබන්න හරිම අමාරුයි. නමුත් මට ඒ භාග්‍යය ලැබුණා. කියන්න දෙයක් නෑ... ලොකු සතුටක්.
ගායකයකු ලෙස ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවා ද?
හොඳ නිර්මාණ ටිකක් එළිදක්වමින් හරවත් රස මිහිර හඳුනන රසික පිරිසක් අතරට යෑම මගේ එකම බලාපොරොත්තුව. හරවත් සංගීතය රස නොවිඳින රසිකයන්ගෙන් මට ඇති වැඩක් නෑ. එසේම මගේ සංගීත කණ්ඩායම සමඟ රට-වටේ යෑමට බලාපොරොත්තුවක් තියෙනවා.