මේ මහ දවල් යකෙක් ගෙද­රට එන­වද | සිළුමිණ

මේ මහ දවල් යකෙක් ගෙද­රට එන­වද

අසාර් නිවසෙහි නොමැති බව පසක් වුව ද, ෆියෝනා, විදුලි සීනුව කිහිප වරක්ම නාද කළාය. එහෙත් කිසිවකු නිවස තුළ සිටින බවට ලකුණකුදු නොවීය. ඇය අත් බෑගය හැර එතුළ වූ යතුරු කැරැල්ල සෙව්වද, අත් බෑගය තුළ බොහෝ දෑ පිරී තිබුණෙන් එය එක්වරම සොයා ගැනීමට ඇයට නොහැකි විය.

“මිසිස් ජැෆර්ජි.”

කිසිවකු තමා අමතන හඬ ඇසුණු ඇය හිස ඔසවා බැලුවාය. ‘නිසල විල’ සංගීත ආශ්‍රමයෙහි ගේට්ටුව හැරගෙන පිටතට පැමිණෙන ‘මිස්ට නිසල විල’ හෙවත් ‘අරවින්ද් ’ ඇය දුටුවාය. මෙම නිවසට පැමිණ මෙතරම් කාලයක් ගතව ඇතත් ඔහු සමීපව දකින පළමු දිනය අද දිනය නොවේදැයි ෆියෝනාට සිතිණ. දුඹුරු පැහැති නූලෙන් මසන ලද චාම් මෝස්තරයක් සහිත අමු රෙද්දෙන් මැසූ කුර්තාවකින් සැරසී සිටින ‘අරවින්ද්’ සමීපව දකිත්ම ‘බොම්බේ’

චිත්‍රපටයේ දුටු අරවින්ද් ස්වාමි නම් නළුවා ෆියෝනාට සිහිපත් විය.

“මිසිස් ජැෆර්ජි. ගෙදර කවුරුත්ම නෑ වගෙයි.”

අරවින්ද් ගේ කටහඬ සංගීතයක් සේ සමීපව ඇසිණ.

“ඒකතමයි. මාත් මේ කල්පනා කළේ ඒකයි.”

“ඇයි මිස්ට ජැෆර්ජි ගෙදර නැද්ද?”

“නෑ. මං ඉන්දියාවෙ ඉඳලා ගෙදර ආවෙ දැනුයි. ගෙදර ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ.”

“ඇයි දන්නෙ නෑ. මිස්ට ජැෆර්ජි මට කියලා ගියෙත් නෑ. මේ දවස් වල රෑට ගෙදර ලයිට් දාලා නැති නිසයි මං එහෙම කිව්වෙ. මිසිස් ජැෆර්ජි ළඟ එක්ස්ට්‍රා කී එකක් තියෙනවද?”

“තිබුණා.”

තවදුරටත් බෑගය අවුස්සා යතුර අතට ගත් ෆියෝනා පැවසුවාය.

“එහෙනම් ප්‍රශ්නයක් නෑ. මං නුගේගොඩට ගිහින් එන්න කියලා. යන්නම්.”

“හොඳයි.”

අමතර යතුරෙන් ගේට්ටුවෙහි ඉබ්බා අරින ෆියෝනා, පිටව යන අරවින්ද් නොදුටුවාය. ගේට්ටුව විවර කරගෙන යන ඇයට බියක් දැනිණ.

“අසාර්ට මොකද වුණේ?”

නිවස ඉදිරිපිට වූ කුඩා ගෙමිදුලෙහි අඹ ගසෙහි කොළ වැටී හැඩි වී තිබිණ. සියල්ල පසෙක තබා කලකින් ඉදලක පහස නොලැබූ ගෙමිදුල අමදින්නට ෆියෝනාට සිතිණ. මල් පෝච්චි වල වූ ඇතැම් පැළ වර්ග වතුර පොදක් නොලබා වියළී ගොසිනි. එහෙත් තද හිරු එළියට කෙලින්ම නිරාවරණය නොවන විශාල පෝච්චියක වවන ලද YTT හෙවත් Yesterday Today Tomorrow පැළය පුරාවටම සුදු පැහැති සහ දම් පැහැති මල් පිරී තිබෙන අයුරු දකින ෆියෝනාගේ සිතට සතුටක් දැනිණ.

“ගෙදර හිටියත් අසාර් මල් වලට වතුර දාන කෙනෙක් නෙමෙයිනෙ. අපරාදෙ. මල් පැළ ගොඩක්ම මං නැති දවස් වල මැරිලා ගිහින්.”

නිවසෙහි යතුරෙන් දොර විවර කරන ෆියෝනා තමාටම පවසා ගත්තාය. නිවස මුළුමනින්ම පාලුය. විසිත්ත කාමරය තුළ වූ බිග් බෙන් ආකෘතියට නිම කර තිබූ ඔරලෝසුව නගන ටික් ටික් හඬ මිස අන් කිසිදු හඬක් නිවෙස තුළින් නොනැගෙයි. කුඩා කාලයේ තනිව නිවසෙහි සිටීමට තමා තුළ වූ බිය පිළිබඳව අම්මා සහ අක්කලා තමාට සරදම් කරන ආකාරය ඇයට සිහියට නැගිණ.

“මේක පුදුම බයක්නෙ. තමුන්ගෙ ගෙදර මහ දවල් තනියෙන් ඉන්න බය වෙන්න ඕනයැ?”

අම්මා සහ අක්කලා දෙදෙනා නිවසින් බැහැර යන්නට සැරසුණු දිනෙක තනියෙන් සිටීමට නොහැකි යයි කන් කෙඳිරි ගාද්දී ලොකු අක්කා ලෝචනා සිනාසුණාය. එදින පියවතී ද සිය ගම් බලා ගොස් තිබිණ.

“මට බයයි. මාත් එන්නම්.”

පාසල නිම වී පැමිණ තවමත් නිල ඇඳුමින් සැරසී සිටින තමා මවගෙන් ඉල්ලා සිටි ආකාරයත් ලෙකු අක්කා එය ප්‍රතික්ෂේප කළ ආකාරයත් ෆියෝනාගේ මතකයට නැගිණ.

“ඔයා කොහේ යන්නද? ඉස්කෝලෙ ඇරිලා ආව ගමන්. අන්න බත් මේසෙට ඇරලා ඇති. ඇඟ පත හෝදගෙන කාලා නිදා ගන්නවා. බය වෙන්නෙ මේ මහ දවල් යකෙක් ගෙදරට එනවද? අපි යන්නෙ මළ ගෙදරක.”

“චූටි කුමාරිට බය නම් ඔන්න ඔහෙ එක්ක යමු ලොකු දුව.”

“පිස්සුද අම්මට. ගෑනු ළමයෙක් වුණාම හැමදේටම පුරුදු වෙන්න ඕන. අපි යං.”

අම්මාගේ යෝජනාව ලොකු අක්කා අතින් ප්‍රතික්ෂේප විය. සුදු ඇඳුමින් සැරසී සිටි අම්මාත්, අක්කලාත් පිට වී ගියේ ඉදිරිපස ගේට්ටුව පිටතින් අගුළු‍ දමාගෙන වුව ද, ගෙතුළට යාමට බියෙන් ඔවුන් ආපසු පැමිණෙන තුරුම හැඳ සිටි ඇඳුම් පිටින්ම ආලින්දයේ පුටුවක් මත වාඩි වී සිටි අයුරු ෆියෝනාගේ මතකයට නැගිණ.

ජනෙල් දොරවල් සියල්ල විවෘත කර දැමූ ෆියෝනා කෑම කාමරයට ගියාය. මේසය මත වූ කුඩය ඇය ඔසවා බැලුවේ නිකමටය. විවෘත කරන ලද බිස්කට් ටිං එකක්ද මේසය මත වූ තසිමක චීස් කැබලි කීපයක් ද වූ අතර, චීස් කැබලි මත පුස් බැඳී තිබෙන අයුරු ඇය දුටුවාය. බිස්කට් ටිං එක අසාර්ගේ බිස්කට් ෆැක්ටරියේ සාදන ලද්දක් නොව පිටතින් ගෙනෙන ලද්දක් විය. ෆියෝනා ඉන් බිස්කට්ටුවක් ගෙන සපා බැලුවාය. සුළං වැදී තිබීම නිසා එය පෙඟී තිබිණ.

“අසාර් යන්න කලින් කවුරුහරි ගෙදරට ඇවිත් තියෙනවා.”

සිසිල් බීම පානය කර ඇති බවට ලකුණු සහිත වීදුරු දෙකක්ද මේසය මත විය. සැකයක සේයාවක් සිත රිදවමින් තම හදවත කොනිහන බව ෆියෝනාට දැනිණ. අසාර් නරක පුද්ගලයකු නොවේ. එහෙත් තනිකම කෙනකුට විඳ දරා ගැනීම නොහැකිය. ඉන්දියාවේ සිටින තම යෙහෙළිය හමු වීමට යා යුතු බව ඔහු හා පවසද්දී අසාර් ඒ පිළිබඳව දැක්වූ උනන්දුව පමණට වඩා වැඩි යයි සිතෙන්නේ දැන්ය. ඔහු සිය පාස්පෝට් එක ඉක්මනින් සාදා දීමට ද කටයුතු කළේ උනන්දුවෙනි.

“ගියාට කමක් නෑ. ඉක්මනට ගෙදර එන්න ඕන. මට තනියි.”

පිටත්ව යාමට පෙර දින රාත්‍රියේ ගමන් බෑගයට ඇඳුම් අසුරද්දී යහන මත හිඳගෙන බලා සිටින අසාර් පැවසූ බව ෆියෝනාට සිහි විය.

“අපෝ නෑ. වැඩි කලක් ඉන්නෙ නෑ. මාසෙන් එනවා අසාර්.”

“කවුද දන්නෙ යාළුවා ළඟට ගියාම එන්න හිතෙන එකක් නැද්ද කියලා.”

“මං යන්නෙ බ්‍රාහ්මණ සමාජය ගැන කරුණු හොයන්න. තොරතුරු ටිකක් එකතු කර ගත්ත ගමන් මං ආපහු එනවා.”

අසාර් කිසිවක් නොපවසා සිනාසුණේය. ඒ සිනාවෙහි කුමක් නමුත් වසන් කරන ලද යමක් ඇත්දැයි දැන් සිතෙයි. ෆියෝනාට දැඩි පිපාසයක් දැනිණ. ශීතකරණය හැර වතුර බෝතලයක් අතට ගත් ඇය ඉන් අඩක් පමණම පානය කළාය. උණුසුම් තේ කෝප්පයක අවශ්‍යතාවය තදින් දැනේ. කොල්කතාවෙහි වාසය කරන තම යෙහෙළිය වූ ස්මිතා විසින් පිළියෙල කර දෙන ‘මසාලා චායි’ වල රසය ඇයට සිහිවිය. එය සාදන අයුරු ඇයගෙන් අසා දැන ගත්තද දැන් ඒ සියල්ල අමතකය.

“මං කරදරයක් නැතිව ආවා කියලා ස්මිතාට කෝල් එකක් දීලා කියන්න ඕන.”

විදුලි කේතලය සෝදා ඉන් අඩක් පමණ වතුර දමා එය ක්‍රියාත්මක කළ ෆියෝනා කෑමට යමක් සෙව්වාය. අසාර් අකුරණ ගිය අවස්ථා වල දී ගෙන එන ලද බිස්කට් ටිං රැසක් පැන්ට්‍රි කබඩය තුළ විය. ඇය ඉන් ටිං එකක් කඩා ගත්තාය. අසාර් විසින් ශීතකරණය තුළ තබන ලද චීස් කැබැල්ලක් ද කපා පීරිසියක තබා ගත් ඇය, චීස් සමග බිස්කට් කීපයක්ම ආහාරයට ගත්තාය.

“ඉස්සර වෙලාම තේකක් බීලා ගේ අතු ගාලා දානවා. ඊටපස්සෙ නාලා චුට්ටක් නිදා ගන්නවා. සමහරවිට අකුරණ ගිහින් නම් අසාර් රෑ වෙද්දි එන්නත් බැරි නෑ.”

ලංකාවට පැමිණීමට දින දෙකකට පෙරාතුව කළ සාප්පු සවාරියේ දී ෆියෝනා අසාර් වෙනුවෙන් ද තෑගි රැසක් මිල දී ගත්තාය. සාරි මිල දී ගැනීමට ගිය අවස්ථාවේ දී අක්කලා දෙදෙනා සිහිපත් වුවද ඔවුන් වෙනුවෙන් සාරි මිලදී ගැනීම පලක් නොවන ක්‍රියාවක් බව ඇය දැන සිටියාය. එහෙත් අම්මා වෙනුවෙන් ළා පැහැයන්ගෙන් යුත් සිහින් බෝඩරයක් සහිත සුදු පැහැති චාම් සාරියක් මිලට ගැනීමට ඇය තීරණය කළාය. අම්මා වෙත එය තැපෑලෙන් හෝ යැවිය යුතුයයි ඇය තීරණය කළේ එය දුටු මොහොතේමය. අම්මා සුදු පැහැති කපු සාරි ඇඳීමට බොහෝ ප්‍රිය කරයි. ඇයගේ අල්මාරියෙහි ඇති සාරි වලින් වැඩි හරියක්ම වූයේ සුදු පැහැ සාරි බව ෆියෝනාට සිහි විය.

වතුර කේතලයේ කෙමියෙන් නොකඩවා දුම් පිට වෙයි. කෝප්පය උණු වතුරෙන් සෝදා දැමූ ෆියෝනා තේ පෝචචියට තේ කුඩු හලා එයට උතුරන වතුර වත් කළාය. ඒ හා සමගම මේසය මත වූ ඇගේ ජංගම දුරකතනය නාද වන්නට විය. 

 

 

Comments