අපි සර­ච්ච­න්ද්‍ර­යන් වේදි­කා­වට අර­ගෙන ගියා | සිළුමිණ

අපි සර­ච්ච­න්ද්‍ර­යන් වේදි­කා­වට අර­ගෙන ගියා

 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අපට සිටි මහා විද්වතෙකි. ලේඛකයෙකි. කලාකරුවෙකි. එතුමන් අපට දායාද කළ නාට්‍ය ගණනාවක් තිබේ. එම නාට්‍ය අපේ රටේ නාට්‍ය කලාවේ ගමන් මඟ වෙනස් කළ, සුවිශේෂී නිර්මාණ ලෙස අදටත් එකසේ ජනප්‍රියව පවතී.

එතුමන්ගේ සෙවණේ සිප් සතර හදාරා ඉතාමත් ළඟින් ඇසුරු කරමින් මෙම නිර්මාණ වලට දායකත්වය දුන් අයකු ලෙස ජයන්ත අරවින්ද හැඳින්වියහැකිය.

වර්තමානයේ සිංහල විශ්ව කෝෂයේ උපදේශකවරයකු, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ උපදේශකවරයකු වන සංගීත් නිපුන් ජයන්ත අරවින්ද මහැදුරු සරච්චන්ද්‍රයන් පිළිබඳව කළ මතක ආවර්ජනයයි මේ.

“මගේ පියා වින්සන්ට් සෝමපාල සමඟ සරච්චන්ද්‍රයන්ගේ ළඟ ඇසුරක් තිබුණා. 1951 වසරේ පමණ එතුමා ෆෝඩ් ඇන්ග්ලියා කාර් එකේ අපේ පිළියන්දල ගෙදරට නිතර ම එනවා. මම එතකොට වයස 12 විතර කඩිසර පාසල් යන වයසේ කොලු ගැටයා. මම ඒ වෙනකොට මගේ තාත්තාගෙන් වයලීනය වාදනය කරන්න ඉගෙන ගෙන හිටියේ. දවසක් පියා මට කිව්වා සරච්චන්ද්‍රයන් ඉදිරියේ වයලීනය වාදනය කරලා පෙන්නන්න කියලා. ඉතින් මම වයලීනය වාදනය කළා. එතුමා කිව්වා “පුතාට හොඳට වයලීනය පුළුවන්නේ” කියලා.

ඒ අනුව එතුමා මටත් පියාටත් අවස්ථාවක් ලබා දුන්නා ගුවන් විදුලියේ ‘රාග රසවින්දන’ වැඩසටහනට සම්බන්ධ වෙන්න. එම වැඩසටහනේ මගේ පියා රාගයක් විස්තර කරනවා. මම අන්තිම විනාඩි 7ක විතර කාලයක් අදාළ රාගය වාදනය කරනවා. මේ විදිහේ වැඩසටහන් 10කට වැඩිය කළා. එදා ඉඳල මම එතුමන් ළඟින් ඇසුරු කළා.

1958 වසරේ මම විශ්ව විද්‍යාලයට ඇතුළු වුණා. එතුමන් මට විශ්ව විද්‍යාලයේදී සිංහල ඉගැන්නුවා.

දවසක් එතුමා මට දුන්නා රත්නාවලී නාට්‍යයේ පොතක්. ඒක පරිවර්තනයක් නෙමේ අනුවාදයක්. පියදාස නිශ්ශංකයන්ගේ රත්නාවලී සංස්කෘතික නාට්‍යයක්. එතුමන්ට අවශ්‍ය වුණා ශිෂ්‍යයින්ගේ නිබන්ධනයක් විදිහට අපි ලිව්වා මෙයින් නාට්‍යයක් කරවන්න.

වෙනත් බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔබේසේකරශාලාවට වෙලා පෙම් කරන කොට මම කාමරයට වෙලා රත්නාවලී නාට්‍යයේ සංගීතය නිර්මාණය කළා.

මම රත්නාවලී නාට්‍ය සමඟ ජීවත් වුණු නිසා විශාල අනාගතයක් මැවුණා. පස්සේ මේ රත්නාවලී නිෂ්පාදනය වුණා. සරච්චන්ද්‍රයන්ගේ උපදෙස් පිට ශිෂ්‍යයන්ගේ නිබන්ධනයක් විදිහට. ඒක පේරාදෙණිය භූමියේ පෙන්නුවා. ඒකෙ සිංදු හරියට ජනප්‍රිය වුණා.

එම නාට්‍යයට මම හදපු ගීත 30කට වැඩිය තිබුණා. සරත් අමුණුගම ඇමැතිතුමා ඒ කාලෙ උදේන රජ්ජුරුවන්ගේ චරිතයට ඇට් කළා. අපි එකතුවෙලා මේ සංගීතමය නාට්‍යය නිෂ්පාදනය කළා. වසර 75 කට 80කට පෙර ලංකාවේ අභාවයට ගිහින් තිබුණු නූර්ති නාට්‍යය නැවත නඟා සිටවූවා. ඒ නූර්ති නාට්‍යයත් සංගීතමය නාට්‍යයක්. උත්තර භාරතීය රාගධාරී සංගීතය තිබුණේ. මම හැදුවෙත් උත්තර භාරතීය සංගීතය ඇසුරෙන්. ඒ කාලයේ මම හොඳට උත්තර භාරතීය සංගීතය දැනගෙන හිටියා. එවකටත් මම ලංකාවේ සිටි ළමා වයලීන් වාදකයෙක් ලෙස ප්‍රසිද්ධ කෙනෙක්. විශ්ව විද්‍යාලයට එන්නට පෙර ගුවන් විදුලියේ ළමා වාදන ශිල්පියෙක්.”

මගේ පියා වින්සන්ට් සෝමපාල. එතුමා තමයි මට මූලික ගුරු හරුකම් දුන්නේ. ඊට වඩා ගුරුහරුකම් සහ ආශ්‍රයක් ලැබු‍ණා පණ්ඩිත් අමරදේවයන්ගෙන්. මොකද එතුමා වයලීනය අරගෙන එනවා අපේ පියාගෙන් ඉගෙන ගන්න. ගාන්ධර්ව වගේ විභාගවලට යන්න සූදානම් වෙන්න ඇවිත් ම‍ගේ ඇඳ උඩ වාඩිවෙලා වයලීන් එක වාදනය කරනවා. තාත්තා අහගෙන ඉඳලා ඒවයේ හරි වැරැදි පෙන්නනවා. ඒ 1951 - 52 ව‍ගේ කාලෙ.

මෙහෙම ඉන්න ‍කොට අමරදේව මාව අරගෙන ගියා ප්‍රේමකුමාර එපිටවෙලගේ බැලේ එකකට. 50 දශකයේ ලංකාවේ හොඳ මුද්‍රා නාටයය නිෂ්පාදන තිබුණා. ප්‍රේමකුමාර එපිටවෙල, ශේෂා පලිහක්කාර, චිත්‍රසේන මම ඒ හැම එකකම වාගේ සංගීතය මෙහෙයවූවා. විශේෂයෙන් ප්‍රේමකුමාර එපිටවෙලගේ තිත්ත බත (1953) බැලේ එකේ බොහොම ලස්සන සංගීතය තිබුණා. මොහොමඩ් ගවුස් තමයි මෙහි සංගීතය නිර්මාණය කළේ. සමහර තැන් පණ්ඩිත් අමරදේව නිර්මාණය කළා. අමරදේවයන් මේවා ගයනා කළා. ඉතාම ලස්සන ගීත වාදිත තිබිච්ච මුද්‍රා නාට්‍යයක්. මම පාසල් යන වයසේ වුණත් වයලීනය අරගෙන ගිහින් සංගීතය මෙහෙය වූවා.”

1958 රත්නාවලී නාට්‍යය විශ්ව විද්‍යාලයේ පෙන්නුවා ම හරියට ජනප්‍රිය වුණා. මෙහි ගීත කොටස් ශිෂ්‍යයො කොරිඩෝවල පවා ගායනා කරමින් යන එක සුලබ දර්ශනයක් වුණා.

දවසක් සර් කිව්වා දැන් මේක හරිම ජනප්‍රියයිනෙ. අපි හදමු ගීත කණ්ඩායමක් කියලා.

ඒ අනුව තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවො එකතු කරගෙන රත්නාවලී ගීත කණ්ඩායම හැදුවා. මේ ගීත කණ්ඩායම හැදිලා නාට්‍ය පෙන්නන එක නවත්තලා ගීත සංදර්ශන පැවැත්තුවා. මේ එක් ගීත ප්‍රසංගයක් නරඹන්න ආවා පී. වැලිකල මහත්මා. සරච්චන්ද්‍ර සර් එතුමාට ආරාධනා කර තිබුණා. එතුමා ඒ කාලයේ ගුවන් විදුලියේ නාට්‍ය නිෂ්පාදන කටයුතු කළ කෙනෙක්. එදා මේ ප්‍රසංගය බලලා මට මේ සංගීතය ගැන ලෝබ හිතෙනවා කිව්වා. එදා සරච්චන්ද්‍රයන් අපි දෙදෙනාව මුණ ගැස්සුවා.

ඉන්පස්සේ පී වැලිකල ලව්වා මෙය ප්‍රසිද්ධ නාට්‍යයක් බවට පත්කළා 1960 දී. හෙන්රි ජයසේන ප්‍රධාන නළුවා බවට පත්කර ගත්තා. සුමනා ජයතිලක, මිරැන්ඩා හේමලතා, ඩැනියල් මුතුමාල, ගැමුණු විජේසූරිය එහි රඟපෑවා. මෙහි දර්ශන වාර 40 ක් 50 ක් පමණ පෙන්නුවා.

මම විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ හිටියේ. දවසක් සරච්චන්ද්‍ර සර් මට පාරෙදි හමුවුණාම ඇහුවා ජයන්ත නාට්‍යයක් තියෙනවා සංගීතය නිර්මාණය කරන්න පුළුවන්ද කියලා. මම කිව්වා සර් මගේ විභාගය තිබෙනවා විවේකය අඩුයි කියලා. එම නාට්‍යය තමයි සිංහබාහු. ඒ අනුව 1961 සිංහබාහු නාට්‍යයේ සංගීතය නිර්මාණය එච්. එච්. බණ්ඩාරට බාරවුණා. ඔහු දක්ෂ බටනලා වාදකයෙක්.

ඉන්පස්සේ 1968 දවසක මාව හොයාගෙන ගෙදරට ආවා. ප්‍රේමතෝ ජායතී සෝකෝ ලිබ්‍රටෝව පිටපත අරගෙන. ඒක මට දීලා කිව්වා මේකෙ මියුසික් ස්කෝර් එක ලියන්න ඕන කියලා.

මම තීරණය කළා මේක රත්නාවලී එකට සංගීතය නිර්මාණය කළා වගේ නෙමෙයි මහා පරිමාණ වැඩක්. මම සර්ගෙන් අහලා සර්ගේ පේරාදෙණි ගෙදර නැවතුණා. ඒ කාලයේ හිටියෙ ඔගස්ටා හිල් එකේ. දවස් ගණන් සුමාන ගණන් නැවතිලා මේ ප්‍රේමතෝ ජායතී සෝකෝ සංගීතය නිර්මාණය කළා.

එයින් අපි දෙන්නා විශාල සංගීත චාරිකාවක් ආරම්භ කළා. මම එතුමාගේ කාව්‍ය රස විඳිනවා. එතුමා මගේ සංගීතය රස විඳිනවා. ඇත්තට ම මෙය නාට්‍යයක් නෙමෙයි ඔපෙරාවක්. ලංකාවේ උත්තර භාරතීය සංගීතයෙන් නිර්මාණය වුණු එකම ඔපෙරාව මෙයයි.

මම සර්ලගෙ ගෙදර ඉඳල මෙහි සංගීතය නිර්මාණය කරන‍ කොට නිශ්ශංක දිද්දෙණිය, ජයලත් මනෝරත්න වගේ අය ශිෂ්‍යයො එනවා හොඳ ගායනා හැකියාවක් තිබෙන මේ අය එකතු කරගෙන අපි, 1969 දවස් හයක් විතර එක දිගට ෂෝ දෙක ගණනේ පේරාදෙණි වළේ පෙන්නුවා. දවස් 6ම ෂෝ බලපු ශිෂ්‍යයො හිටියා. 1972 ආයෙමත් මේක පෙන්නුවා.

අපි‍ දෙන්නා ඉතාම සමීප වුණා. එතුමා මාව හම්බවෙන්න කොළඹ එනවා. මම එතුමා සමඟ පේරාදෙණි යනවා. මේ ගමන් වලදී මාවනැල්ලේ එතුමාගේ ගෝලයෙක් ගේ ගෙදරට ගොඩවෙලා තමයි යන්නෙ. එහෙදි ගොඩක් වෙලාවට අපිට රා හම්බ වෙනවා. ඉතින් එතුමායි මමයි රා වීදුරුවක් එහෙම බීලා තමා යන්නෙ.

ඊට පස්සෙ සර් මට සිංහබාහු නාට්‍යයේ සංගීතය නවීකරණය කරන්න කිව්වා. එතැනදී මට සිද්ධ වුණා සිංහබාහු, මනමේ යන එතුමාගේ ප්‍රධාන නාට්‍ය දෙකේත් මහසාර නාට්‍යයේත් සංගීතය නවීකරණය කරන්න. ඒ දවස්වල නාට්‍යයක් පෙන්වන කොට පොඩි පත්‍රිකාවක් ගහනවා. ඒකෙදි සංගීතය නවීකරණය ජයන්ත අරවින්ද කියලා මගේ නම දානවා. කනගාටුවට තියෙන්නෙ මේ නාට්‍යවල අද ම‍ගේ නමවත් නෑ.

සරච්චන්ද්‍ර සර් මනමේ, සිංහබාහු දෙකෙන් නාඩගම් නාට්‍ය වර්ධනය කළා. නාඩගම් කලාව විද්වත් රසිකයින්ට ගැළපෙන තත්වයට ගෙනැල්ලා සම්ප්‍රදායක් ගොඩ නැගුවා.

ඒ වගේ ම මම, එච්.එච්. බණ්ඩාර, පණ්ඩිත් අමරදේව අපි තුන්දෙනා නාඩගම් සංගීතය වර්ධනය කළා කිව්වොත් නිවැරැදියි. ඔය අතර සරච්චන්ද්‍ර සර් මට කිව්වා ‘මහසාර’ නාට්‍යයේ ගීත 4ක් නවීකරණය කරලා දෙන්න කියලා.

ඒ විදිහට සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යය වැඩිම ප්‍රමාණයක සංගීතය නිර්මාණය හෝ නවීකරණය කර තිබෙන ශිල්පියා මමයි.

මම සංස්කෘතික දෙපාර්තමේන්තුවේ උපදේශකවරයෙක් ලෙස ඉල්ලීමක් කළා. යෝජනාවක් කළා. අපේ ලංකාවේ අවුරුදු 50ක 60ක ඉඳල මුද්‍රා නාට්‍ය, සංගීතය, නාට්‍ය සංගීතය, චිත්‍රපට සංගීතය සංරක්ෂණය කරන වැඩපිළිවෙළක් හදන්න කියලා. මුද්‍රා නාට්‍ය සංගීතය ප්‍රේමකුමාර එපිටවල, ශේෂා පලිහක්කාර, චිත්‍රසේන කළ මුද්‍රා නාට්‍යය, නාට්‍යවලට සරච්චන්ද්‍රයන් එකතු කළ සංගීත නිර්මාණ තිබෙනවා. මේවා අභාවයට යමින් තියෙන්නෙ.

ඒ නිසා මේවා රැකගන්න අනාගත පරපුරට ලබා දෙන්න සංගීත කෞතුකාගාරයක් ඇති කරන්න කියලා. දැනට තිබෙනවා ජන ගීත කෞතුකාගාර. මම යෝජනා කරන්නෙ ඒවා නෙමෙයි. 50 - 60 දශකයේ නිර්මාණය වුණු මුද්‍රා නාට්‍යය, බැලේ. මට ඒ බො‍හෝ දේ මතකයි. මම පාසල් යන ශිෂ්‍යයෙක්ව ඉන්න කාලේ ඉඳල ම මේවාට සම්බන්ධයි. මොහොමඩ් ගවුස්, පණ්ඩිත් අමරදේව, සෝමදාස ඇල්විටිගල යන අය නිර්මාණය කළ නිර්මාණ වලට වයලීන වාදකයෙක් ලෙස මම සම්බන්ධ වීම නිසා මට මතකයි. මේ මතකය මගෙන් ගිලිහී යන්න පෙර මේවා සංරක්ෂණය කරනවා නම් එය ජාතියකට හරිම වටිනාකමක් ඒවි.

සරච්චන්ද්‍ර සර් හිටියෙ පොත් ඇතුළේ. මනමේ පොත, සිංහබාහු පොත, මහාසාර පොත එතුමන් මේ පොත් ඇතුළේ හිටියේ. පණ්ඩිත් අමරදේව, එච්.එච්. බණ්ඩාර, මම, සෝමදාස ඇල්විටිගල. අපි තමයි සර්ව වේදිකාවට එක්කරගෙන ගියේ. අපි සංගීතය නිර්මාණය නොකළා නම් එතුමාට වේදිකාවට යන්න බෑ. එහෙනම් පොත බලලා පාඨකයො ඉඳියි. දැන් සරච්චන්ද්‍ර සර්ගෙ ප්‍රේක්ෂකයො ඉන්නවා. අපි තමයි සර්ගෙ පොත ඔපෙරාවක් බවට පත් කරලා ස්ටේජ් එකට එක්කරගෙන ගියේ. 

Comments