
අද්‍යතන සිංහල ව්‍යවහාරයෙහි පර භාෂීය ශබ්ද හෙවත් වෙනත් භාෂාවලින් ගන්නා ලද ශබ්ද (වදන්) ද බෙහෙවින් යෙදේ. ඉන් බහුතරයක් ප්‍රාචීන (පෙරදිගු) භාෂා ශබ්ද ද ඉනුදු බහුතරයක් සංස්කෘත ශබ්ද ද වේ. පෙර කල්හි නම් ස්වකීය පාණ්ඩිතය දක්වනු වස් ඇතැමුන් විසින් සංස්කෘත ශබ්ද අධික ව යොදන ලද නමුදු දැන් එ සිරිත බොහෝ දුරට අඩු වැ ඇත්තේ ය. එ වුව ද සිංහල ව්‍යවහාරයට කා වැදී ඇති ඇතැම් සංස්කෘත ශබ්ද කවුරුන් විසිනුත් සාමාන්‍යයෙන් යොදනු ලැබේ. සංස්කෘතයෙහි අක්ෂර වින්‍යාසය ශුද්ධ සිංහලයට වඩා සංකීර්ණ වනුයෙන් බොහෝ විට සිංහලයෙහි යෙදෙන සංස්කෘත ශබ්ද වරදවා ලියනු දක්නා ලැබේ. එ බඳු කිහිපයෙක හරි වහර දැන් විමසා බලමු.
1. ග්‍රන්ථ - සාමාන්‍ය ව්‍යවහාරයෙහි නිතර නොයෙදුණ ද වෛද්‍ය ශාස්ත්‍රය ආදියේ දී යෙදෙනු දක්නා ලැබේ. මෙහි ‘ග’ හා රකාරාංශය යෙදෙන අයුරු ද (දන්තජ) ‘න් හා ඉන් පර වැ (මහාප්‍රාණ) ‘ථ’ යෙදෙන අයුරු ද සැලැකිල්ලට ගත යුතු ය. පාලියෙහි මේ හා අනුරූප වැ යෙදෙනුයේ ‘ගණ්ථි’ යනු යි. මෙහි වචනාර්ථය වනුයේ ‘ගැට’ යන්න වුව ද අද වහරෙහි බෙහෙවින් යෙදෙනුයේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය ප්‍රභේදයක් හැඟවනු පිණිස යි.
2. ග්‍රාමීණ - සංස්කෘතයෙහි ‘ග්‍රාම’ ශබ්දයට ‘ඊන’ ප්‍රත්‍යයය එක් වීමෙන් නිපන් තද්ධිතයෙකි. ‘ග්‍ර’ යන්නෙහි සංයුක්ත රාකාරංශයෙහි බලපෑම ‘ම’ ඉක්මවා ද යෑමෙන් ‘ඊන’ ප්‍රත්‍යයෙහි (දන්තජ) ‘න’ (මූර්ධජ) ‘ණ’ බවට පත් වැ ඇත්තේ ය. ‘ගම හා සබැඳි’, ‘ගමට අයත්’ වැනි අරුත් මෙ වදනින් ලැබේ. නාගරික භාවය ම උසස් යැ යි ගත් ඇතැම්හු, (ග්‍රාම්‍ය යන්න මෙන් ම) ‘ග්‍රාමීණ’ යන්න ද අශිෂ්ටත්වය හඟවනු පිණිස යොදති.
3. ගෘහිණි - මෙහි ‘ග’ සමඟ ගැටය සහිත ඇලපිල්ල ද ‘හි’ යන්නට පර වැ (මූර්ධජ) ‘ණි’ ද යෙදෙන අයුරු මැනැවින් සැලැකිය යුත්තේ ය. මෙහි දු ප්‍රත්‍යයයෙහි වනුයේ ‘නි’ වුව ද ‘ගෘ’ යන්නෙහි ඇතුළත් ‘ඍ’ කාරයෙහි බලපෑමෙන් ඒ මූර්ධජ බවට පත් වේ. මේ හා අනුරූප වැ පාලියෙහි ‘ගේහිනී’ යනු යෙදේ. සිංහලයෙහි ගැහැනි, ගැහැනු යන වදන් යෙදේ. එ වුව ද සකු ‘ගෘහිණි’ යන්න හා වඩා සමීප වූ ‘ගිරිහිණි’ යන්නක් කලාතුරෙකින් පුරාණ සාහිත්‍යයෙහි යෙදී ඇත්තේ ය.
4. ග්‍රීෂ්ම - මෙහි ‘ග්‍රී’ යන්නෙහි ර කාරාංශය යෙදෙන සැටි ද ඉක්බිති වැ (මූර්ධජ ‘ෂ්’ යෙදෙන සැටි ද මැනැවින් අවධානයට ගත යුතු ය. උණුසුම, තාපය හඟවන වදනෙකි. පාලියෙහි මේ හා අනුරූප ශබ්දය ‘ගිම්හ’ යි. සිංහලයේ නම් ‘ගිම්’ යනු යෙදේ.
5. ගෘහීය - ‘ගෘහ’ ශබ්දයට ‘ඊය’ ප්‍රත්‍යයය එක් වීමෙන් නිපන් වදනෙකි. මෙහි ‘ග’ සමඟ ගැටය සහිත ඇලපිල්ල යෙදේ. ගෘහයට අයත්, ගෘහය හා සම්බන්ධ ආදි අරුත්හි යෙදේ. ප්‍රව්‍රජිත යන්නෙහි විරුද්ධාර්ථය හඟවනු පිණිස ද යොදනු ලැබේ. සිංහලයෙහි මේ හා අනුරූප වදන ‘ගිහි’ යනු යි.