
අපූරු ගද්‍ය කාව්‍යයක් කියැවීමි; වරක් කියවා සෑහීමකට පත් නොවූ බැවින් නැවත වාරයක් කියැවීමි. එය කොතනින් කොහොම කියැවූවත් හදවත චමත්කාරයෙන් පුරවාලන්නේ ය. මෙවැනි කෘති විරලය; ඒ විරල බව නිසාම එහි අරුත් නිරුත් ජීවිතයට ආලෝකයක් එක් කරන්නේ ය.
මා මේ කියවන සුන්දර ගද්‍ය කාව්‍ය ගැන කියන්නට පෙර මට ඔබට මා මතකයේ තැන්පත් ව ඇති වෙනත් යමක් කීමට අවැසි ය. පොත් ගැන වඩාත් ම සාධාරණ හා හෘදය සංවේදී සටහන තබා ඇත්තේ මැක්සිම් ගෝර්කි යැයි මම කිවහොත් ඔබ එකඟ වෙතැයි සිතමි. පොත් හා ජීවිතය අතර ඇති බැඳීම වඩාත් සංවේදී ව දුටුවේ ඔහු ය. ‘පොතක මහිම‘ නමින් ඔහු ඒ පිළිබඳ ව ම ලියූ පොත පරිවර්තනය කළේ පොත්වලට ම තම ජීවිතය දිය කළ කළුබෝවිල සිරිල් සී. පෙරේරා ය. ගෝර්කිට ආදරය කරන්නට ඔහුගේ පරිවර්තනය ඉවහල් වූ බැව් නොකියා සිටින්නේ කෙසේද?
ගෝර්කි පොත් කියැවූයේ මිනිසුන් ගැන දැනගන්නට ය; මිනිසුන්ගේ ඉරියව් දැන ගැන්මට ය; ඔවුන්ගේ සිතේ එකිනෙකට වෙනස් සිතිවිලි දාම ඇති වන්නේ කෙසේද කියා දැන ගැන්මට ය.
‘මා තරමක් හොඳට දන්නා ජීවිතයෙන් ගමන් ගත යුතු මඟ මට පෙන්වා දෙන පොත් මාර්ගෝපදේශකයකු වැන්න. මා මීට කලින් මිනිසා ගැන නොදැන සිටි බොහෝ අලුත් දේවල් මට හැම විට ම පෙන්වා දෙන ලද්දේ පොත්පත් විසිනි. ඇතැම් විටෙක පොතක තිබෙන එක හොඳ වාක්‍යයක් හැරෙන්නට මුළු පොතෙහි ම ගත යුතු කිසිම හරයක් නැතැයි ඔබ සිතන්නට පුළුවන. එහෙත් ඔබ මිනිසාට වඩවඩාත් ළංකර මිනිසා ගැන සතුටක් හෝ අසතුටක් ඇති කරන්නේ ඒ තනි වාක්‍ය විසිනි‘
ගෝර්කි මෙසේ පවසයි. අප සිත්හි ඇති යහපත් වූ හැම දෙයකට ම පොත්වලට ණය ගැති විය යුත්තේ යැයි සිතේ. ඒ සෑම විටම පොත් විසින් නව ලොවක් පෙන්වා දෙන බැවිනි.
මා නැවත නැවත කියවමින් සිටින පොත ගැන ඔබට කියන්නට අමතක වන තරමට පොත් අපේ ජීවිත වෙනස් කළ කතා ම සිත දෝංකාර දෙයි. මේ පොතත් එවැන්නකි. මිනිස් මනස පිළිබඳ කොතරම් පර්යේෂණ කළත් නිර්මාණ බිහි වන්නේ කෙසේදැයි සොයා ගැන්මට සිග්මන් ෆ්‍රොයිඩ්ටවත් හැකි වූයේ නැත. ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ නිර්මාණ බිහි වූයේ කෙසේදැයි කීමට වෙනත් කිසිදු විද්‍යාඥයකු හෝ විචාරකයකු සමත් වූයේ ද නැත. ‘හර්මන් හෙස‘ කියන්නේ ද එවැනි ප්‍රතිභාවකින් පූර්ණ, ඒ පූර්ණත්වය කිසිවකට හෝ හසු නොවණු නිර්මාණ බිහි කළ නිර්මාණකරුවෙකි. ආධ්‍යාත්මික කාරණාවලට බර වූ මනසකින් යුතුව හේ ජීවිතය දකින්නට පුරුදු ව සිටියේ ය. හර්මන් හෙස නම් ජර්මානු ජාතික මහා ලේඛකයා ඉන්දියාවේ උපන් සිද්ධාර්ථ ගැන ලියන්නේ දිගු කලක් ඇසුරු කළ අයකු පිළිබඳ ව ලියන්නා සේ ය. හේ මුතු පටක මුතු අමුණන්නා සේ බිඳෙන් බිඳ සිද්ධාර්ථ චරිතය ගොඩනඟන්නේ තමා ජය ගන්නට වැර දරන ආධ්‍යාත්මික අරගලයේ ගැඹුරු හා අසීරු බව අපට පසක් කරමිනි. පරිවර්තකයා එය පරිවර්තනය කරන්නේ ද ඊට නොදෙවෙනි ප්‍රතිභාවකිනි. මේ දෙදෙනාගේ සංයෝගයෙන් අප ලබන්නේ ද අපූරු ආනන්දයකි.
හර්මන් හෙසගේ සිද්ධාර්ථ කෘතියේ විවිධ පරිවර්තන මම කියවා ඇත්තෙමි. ඒ පරිවර්තන අතර ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන් කළ පරිවර්තනය නැවත නැවත කියැවීමට තරම් රසාලිප්ත වන්නේ යැයි කීමට මා පසුබට වන්නේ නැත. සිද්ධාර්ථ කොතනින් කොහොම කියැවූවත් චමත්කාරයෙන් හද පුරවන බැව් මා මුලින් ම සඳහන් කළේ එබැවිනි.
පරිවර්තකයා ම සඳහන් කරන පරිද්දෙන් හැම ගසක ම මිහිරි වන්නේ, ඒ අතු අග හැදෙන ගෙඩි ය. සිද්ධාර්ථ නවකතාව ගසක් නම් එහි මුල්, පොතු, කොළ, දලු, මල් හා ඵල යන මේ සය පංගුව ම මිහිරි ය.
ඒ කතාව සම්පූර්ණයෙන් ම සත්‍යයකි. මුල් කතුවරයාගේ රමණීය භාෂාව ඇතුළේ කැටයම් වූ ගැඹුරු දහම ඒ ආකාරයෙන් ම ඒකභාෂික පාඨකයා වෙත ගෙන එන්නට පරිවර්තකයා සමත් වෙයි. හොඳ පොත් ජීවිත වෙනස් කරන බැව් ගෝර්කි කීවත් නොකීවත් අපට ද දැනෙන්නට පටන් ගන්නේ මෙවැනි කෘති කියවන කල්හි ය.
අපේ ගුරුළුගෝමි, විදු සක්විති, ධර්මසේන හිමි, මයුරපාද හිමි ආදී කොටගත් බෞද්ධ සාහිත කතුවරුන් තරමට ම, බුද්ධකාලීන සමාජයත්, පරිසරයත් මොනවට සිත්තම් කරමින් ද එකල්හි පැවති අධ්‍යාත්ම පිපාසය හා බුද්ධ විෂයයික චින්තනය පහදමින් ද, ජර්මනිය වැනි දුරු රටක උපත ලැබූ හර්මන් හෙස, සිද්ධාර්ථගේ චරිතය නිමවන ආකාරය සැබවින් ම විස්මයජනක ය. බුදු හාමුදුරුවන්ගේ චරිතය පසුබිමින් නැඟී සිටින්නට සලස්වා, වෛදික දර්ශනයත්, බුද්ධ දර්ශනයත් මඳින් මඳ විවරණය වන්නට ඉඩ හරිමින් ආත්මගවේෂී වූ ද, සත්‍ය ගවේෂී වූ ද බමුණු තරුණයකුගේ පවත ගෙන හැර දක්වමින් මිනිස් සිතත්, එහි ගැඹුරත් මිනිසුන්ගේ දෛවයත් පිරිසිඳින මේ ලේඛකයා අවරදිගුන් වෙත දිගු කරන්නේ පෙරදිග ආධ්‍යාත්මයේ පැතිකඩකි.
මේ පරිවර්තනය කරන්නට ඔහු හැර වෙනත් සමතකු වේ දැයි සිතන්නට පවා උගහට වන්නේ එහි ගැඹුර ඔහු කියවා ගත් ආකාරය ගැන වන ඔහුගේ ම වදනිනි.
සෑම ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් ම විවිධාකාර ලෙස ජීවිතයේ අරුත් සොයා යයි. ඒ අරුත් විසින් මේ ලෝකයට විවිධ හැඩතල නිර්මාණය කරයි. ඒ හැඩතල මේ ලොව සුන්දර කරන්නටත්, අසුන්දර කරන්නටත් බලපෑම් කරයි. අප සැමගේම ජීවිතවල වන ආලෝකය සොයා ගිය පාවුලෝ කොයියෝ ද පෙරදිග අධ්‍යාත්මය ස්පර්ශ කළේ අප ලේඛකයන්ටත් වඩා ශූර ලෙස ය. හර්මන් හෙස ද එවැන්නෙකි. එවැන්නෝ විරල වෙති. ඒ විරල බව නිසාම ඒවා බබළන්නේ ය.
ගෝර්කි කියන්නා සේ මෙවැනි නිර්මාණවලට නම් අප ණය ගැති විය යුතු ම ය.