
දිල්ලිෙය් ගිම්හානය
මායාකාරී ද කෙතරම්
වේ වසත් සමයේ දවස්,
කුරුලු ගොස කන් පුරවන
මුදු, සියුම් මඳ නල හමන
යුවතියක මෙන
ආදරයේ එළිපත මත හිඳින
තණපත් වල මුනුමුනුව
ගීයකි ගත දැහැනක හොවන
ආයුෂ කෙටි ද කෙතරම්!
පලා යයි එක් වරම මේ දවස්
එළැඹේය ගිම්හානය -
අධි තප්ත වෙසඟන
උමතුවෙන් මෙන් අත් පා වනමින
පළමුව දණිස් පමණක් පාමින
ඉක්බිති විළි නැතිව නිරුවත් වෙමින
සීමා පැන නොමඟ යවමින,
දාහය හා රාගය මෙහිය
(ඉංග්‍රීසි බසින් ලියන ඉන්දීය කිවිඳිය ඇනා සුජාතා මතායි ගේ
“Summer in Delhi” පද්‍යයේ පරිවර්තනය)
පරිවර්තනය - දේ.වි. ගාල්ලගේ
අන්ධ ගුරුතුමිය
මහනෙල් මල් පුදා මම පහනක් නිව්වාදෝ
ලස්සන රුවක් ලද මට නෙත් නොලැබුණිදෝ
මගෙ රුව දකින හැමදෙන මෙහි තුටු නොවෙදෝ
මට මගෙ රුවම නොදකින පව ලැබුණේදෝ
රුව ලස්සනයි හැඩරුව ඔබෙ හොඳය කියා
පවසනු ඇසේ මඟතොට මා යනෙන නිසා
මේ භවයෙදි මා අකුසල් නොකළ නිසා
පව් පිරුවදෝ පෙර කෙනෙකුගෙ දෑස වසා
අද මා අකුරු දෙවනා මේ තක්සලාවේ
පදවැල් ගෙතේ මගෙ රුව ගුණ ගැන වරුණේ
අසනා නමුත් දකිනා පින නොමැති වුණේ
මොන පවකින්ද පෙර සසරේ සිල් බිඳුණේ
ලොව නොදකිනා මුත් හෙට ලෝකය දකින්නට
ගුරු මව් වෙමින් දුක් ඔවදන් දරුවන්ට
මම නොදකිනා මල් ලෙස හෙට පුදින්ට
සුවඳින් මගේ ලෝකය හෙට පුරවන්ට
ජානකී අමරසිංහ
වෙයන් සරු කෙත
හිරු වෙයන් මගෙ ලොවට
හිරුට පෙර හිනැහෙනා
සඳු වෙයන් ඒ ලොවේ
අඳුර බිඳ රජවෙනා
මලවිගෙන් උදුරගෙන
මල් දුන්න රස ගෙනා
විද්දාට කමක් නැහැ
තැවුල් ලතැවුල් එපා
වට වූ කඳු වළල්ලෙන්
විලක් සේ හිනැහෙනා
මමත් දියවර බෙදමි
නුඹයි සරු කෙත මහා
ධම්මි අනුරපුර
මං නුඹේ කන්නගිය
රාග විතෙන් පුරවාලන
මාධවියගෙ මධුර ස්වර
මත් කළාද
මගෙ පණ නුඹ
දුන් සෙනෙහෙට වැඩියෙන් සොඳ
ආදරයක් හමුවුණා ද
නුඹ වෙනුවෙන් රැකි පතිවත
තවමත් එහෙමයි සඳවත
හදවත දවමින් ඇවිලුණු
ඔබේ අඩුව පුරවන්නට
ගිනි බත් කර අළු කෙරුවා
මුළු නුවර ම එක සැරයට
නුඹේ පා සලඹක් අතැතිව
තවමත් මඟ බලන් ඉන්න
මං නුඹෙ කන්නගිය
ඇහෙනවද පෙනෙනවද
කෝවලන්...
නිර්මාණි කොළඹගේ
ඕලු කඩන්න ගිය අම්මාට
දවාලට මගෙ කුස පිරෙන්නට
ඕලු බත් ටික මදියි කිව්වට
දුකක් දැනුණද අම්මෙ නුඹ හට
වැවට බැහැලා කලල් දිය යට
ඕලු ගෙඩි එකිනෙකින් හොයනට
කරවටක් දියඹට ගොසින් නුඹ
නාන්නට දියබුං ගසන ලෙස
ඇයිද දිය යට ගිලීලා ගියෙ
තවත් ගෙඩි හොයනවද අම්මේ
අපේ බඩ කට පුරවන්නට
පිරුෙණ නැතිවට කූඩයට ගෙඩි
ඉතින් දැන් ඇති වරෙන් හනිකට
වෙනද උඹ රෑ වෙන්න කලින්
ගොඩට එනවනෙ පමා ඇයි අද
කළුවරට මම බයයි අම්මේ
නාන මංකඩෙ සිටි ගමේ අය
කලබලයෙන් දුව එනව අම්මේ
ඕලු කූඩය ගෙනියන්න ගෙට
උදව් වෙන්නම් මමත් නුඹ හට
හනික හනිකට ගෙදර යන්නට
වැවෙන් ඉපිලී ගොඩ වරෙන්කො
කළුවරට මම බයයි අම්මේ
හේරත් පලාපත්වල
කිරිල්ල සහ කවිය
ම’සිත තුළ තැන තැන
වදන් විසිරී ගිය
තවම මට
ලියාගන්නට බැරුව
ළතවන
කවිය මට ඇහෙන්නට
මුමුනන
කිරිල්ලිය මා වෙතින්
දෑස් ඉවතට නො ගෙන
අතු අගින් කඩා බිම දැමුව මල
මා ඇහිඳ ගන්න තුරු
භාවනාමක යෙදී
ම පාද වත ගල් කරන
අරුත කිම?
කේ.පී.ඩබ්. ප්‍රියන්ත ජයලත්
කළුවලාකුළ මා වෙතට ආ
බලාපොරොත්තුව සලල කළ නුඹ
කෙදින හෝ නුඹ එයි කියා මා
නොසිතුවෙමි දුක ඒ නිසයි මට
නුඹ ඇවිත් වැහි වලාවක් කර
මගේ සිහිනය තෙමා දිය කොට
සිහිනයේ පසුපසම ගිය මට
විඩා නිවනට නවා තැන විය
ලොවේ මයා එළි ජාල
කළුවරේ අහසට නැගී නික්මෙන
එවන් මයාවලට රැවටෙන
ලොවේ හිස් බව පසක් කර විය
ඉරේෂා දුලාංජලි කල්දේරා
ලේ දන්දීම සඳහා මහා සඟරුවන සියක් නමක් යාපනය රෝහලට වඩිති - පුවතක්
තල් ගස් පිස හමන
වියලි කර්කශ
සුළං අතරේ
කසාවතින් හමනා
සදහම් සුවඳින්
යාපා පටුනේ
ගිලන් වූ හදවත්වලට
අමා ඔසුවකින්
සුවපත් කළ බුදු පුතුනි
ලෝකයට කියාදුන් මිනිස්කම...
රුධිර බිඳු දහසකටවත්
සමකළ හැකි ද?.....
නොරටුන් අපට කියාදෙන
සංහිඳියාවට එහාගිය
ඒ උතුම් මිනිස්කම
මිල කළ හැකිද කෙදිනක
මේ සිහළ... මේ දමිළ
වෙනසක් කොහෙද
උතුරේත්... දකුණේත්
බටහිරත්... නැඟෙනහිරත්
නහර වැල්වල
ගලන රුධිරය
එකම පැහැයකි
රත්නසිරි පතිරණ
දියණියේ
වියළි කතරට දිය බිඳක් වී
පාළු අහසට සරා සඳක් වී
අපෙ දිවි මඟ එළිය කරන්නට
ඔබෙ අපෙ නිවහන වෙතට ආවා...
වරෙක ඔබ මට මවක් වුවා
තව විටෙක සොහොයුරිය වුවා
දුවක පමණක් නොවී නුඹ මට
සදා හොඳ මිතුරියක වුවා...
දූගෙ දියුණුව සැපත සලකා
වෙනත් රටකට පියා සැලුවා
තනිකමක් පාළුවක් නොදැනී
ඔබේ දිවි මඟ සාර වේවා...
ගිලන් දන වෙත පා දයා ගුණ
ඔවුන් ගත සිත නිති සුවපත් කර
රටේ නාමය ලොවේ බබළවා
වෙන්න හොඳ වෙදැදුරෙක් සැමදා..
වෛද්‍ය පුෂ්පා මල්ලිකාරච්චි
සඳකඩපහණ
පෙළ සැදී
සෑය නමදිති
පිරී ඉතිරී
බැතියෙන්
අශ්වයින්
අලි ඇතුන්
හංසයින්
පාග පාගා
දෙපයින්
දඹේගොඩ ජිනදාස
හෘදය සාක්ෂිය
බල පිරිසක් මැද හිඳ රිවි දෙව් සිරින
දුල කර තරුද, බොත්තම් පටි සවි කෙරුණ
නිල ඇඳුමකට සිර වුව පෙර කළ පවින
සෙලවිය පවනටත් හද, කිසිවකු නොදැන
මිතුරන් පවිටු රැස් කර පව් වවාගෙන
සිතු නතු කරන් අන්සතු දේ සොරාගෙන
යුතු මතු වැඩ පිණිස ඇති සිත් මකාගෙන
බිතු සිතුවමක් ලෙද අද මුව වසාගෙන
තුරුණු දවස ඇඟලුම් මැසිමෙ දියකර
තරුණ ගෙල දිලිණි පිරිපනම වැයකර
තරුණිය ඇසට ඇන නුඹ සුරත දිගුකර
කරුණු දැන කොහොම යම් ඒ කඳුළු මගහැර
දවමින් මුව, නැහැය දෙනුවන් තෙත් කරන
කරලින් ඉස්ම ගෙන කවරා බස් ලබන
අටියෙන් කළද, නිල ඇඳුමක් යට නිදන
හදකින් කඳුළු ගැලුවා දිවියම තෙමන
ප්‍රභා මාධවී අභයගුණසේකර
කදිර සුරිඳු අඩවියේ සිට
ඇසළ මල් ගොමු සුවඳවත් වී දසත හැඩ වැඩ වෙනුපෙනේ
කුසල වැඩි කොට සියලු සිත්තුළ කදිර දෙව්පුර බැබළුනේ
නිසල හදවත් සසල කරමින් මහා පෙරහැර ගෙවැදුනේ
අසල මිණිගඟ දෙවිඳු අබියස නැවත සැණකෙළි ඇරඹුණෙ
දුකට පත් සත් වගට පිහිටන කුළුණු ගුණයෙන් පිරුණු හදවත
සැමට පාමින් ලබාදෙන ලද ඔවුන් දිවියට ඇවැසි සුබසෙත
පවට බරවුන මිනිස් කැළවෙත එයින් මුදවා සදන යහපත
රුවට දෙවිඳුගෙ කෙරේ බැති පුද ජනී ජනයා පැමිණ දසඅත
මැණික් ගඟබඩ මහා දෙවොලෙහි පබල කිතුගොස රට වටේ
දිනක් නෑරම පැමිණ ජලයා දෙවිඳු අබියස වැඳ වැටේ
පිනක් කර කිරි වෙහෙර වඳිමින් රුහුණු පුරව මිණි කැටේ
තැනක් කරගමු කතරගම්පුර ඇසල සිරිසර නෙත ගැටේ
සතට වැළඳුන සියළු ගහදොස් අපල දුරුවී සෙත සැදේවා
ගතට සවිබල හිතට දහිරිය දෙවිඳු පිහිටෙන් මග යෙදේවා
නෙතට කඳුලක් උරුම නොමවී සෝක ළතැවුල් මත බිඳේවා
වතට හසරැළි මල් පිපීමෙන් දෙවිඳු නාමෙන් තුට රැඳේවා
දයා නානායක්කාර
ඔබ
විකසිත වූ කැකුළකට
සුවඳ පොද විලස
පිපාසිත දෙතොලකට
පැන් පොදක් විලස
සිනාවක් නැති මුවග
සිනාවක් විලස
මගේ හදමඬල වෙත
පැමිණියේ කෙලෙසක ද?
නමුදු පෙම්වත නුඹ
හමුවුණා වෙන්වෙන්න
හිතෙන්නෙම නැති විලස...
මා අතැර ගියා
නොකියා ම අතරමඟ
තුෂාරි නේරංජා වික්‍රමසිංහ
මහලු වී
වාරු නෑ මගේ අත
බත් කටක් කවන්නට
වාරු නෑ මගේ පය
ඔබ සමඟ ඇවිද යන්නටදුවා දරුවන් නොමැත
අපේ ළඟ හිඳින්නට
ඈත් වී ගොසිනි හැම
ඔවුන්ගේ ලොව තනාගන්නට
ජීවිතය මහ ගිරි දඹකි මට
ඔබ නොමැති නම් නොහැක නැඟයන්ට
පැතුම් තිබුණත් හිසටත් වඩා උසට
බැරි වුනා එකක් වත් ඉටුකර ගන්ට
ආසයි මටත් දූදරු දකින්නට
රසට කෑමක් හදා දෙන්නට
පැටවු මගෙ ලොකු වෙලා හිටියාට
පිච්චියක් නැහැ උන්ට මෙහි එන්නට
කමලා ධර්මලතා ජයසූරිය
ජීවිතය
දෑස බොඳව ඇත
වදන් ගොළුව ඇත
සතුට ඇත පානා දුරින්
කාසි කොළය තව දුර ගිහින්...
මල් මිටක් හසරැළි පොදක්
සෙනෙහසක් විඳි නොවිඳි කාලයක්
නොමිනිසුන් මැද මිනිස් සිත් ඇත
පෑගීයන දුහුවිලි ලෙසින්
සඟව හසරැල් හිරුත් නිසයුරුත්
හති සලයි ඈතක ඉඳන්
මිහිතලය තවම නැත අවදියෙන්...
විදීශා මුතුකුඩ
චමක්කාර මල්
කවියක් බදු සුන්දර මල
ගේ දොරකඩ
ඔබ පිපුණේ...
භාමාගේ අලංකාර ඉගෙනගෙන ද
ධ්වනිවාද වක්‍රෝක්ති සඟවගෙන ද
හරි පුදුමයි
විවිසුවන්ට බය නැතිව ම
ගේ දොරකඩ
ඔබ පිපිලා
ඒ කිසිවක් ගැන
වග විභාගයකුත් නැතිවම
සෙනරත් ගොන්සාල් කෝරාළ
සඳසාවී නුඹ!
දරුවන්ගෙ කුසගින්න
වේලකට නිවන්නට
හිතේ රා ගිනි නැතුව
සෙලලු රාගිනි නිවන
හිමි නොඑන ගමන් ගිය
වීදි සරණා ළඳේ!
මෙදා “සසජාතකේ”
‘සඳසාවි’ නුඹ උගත්
සඳේ රුව අඳින්නට
නොමැත සක්දෙව් කෙනෙක්...
කිඳෙල්පිටියේ කරුණාරත්න හපුආරච්චි