
ප්‍රකාශනය: සරසවි ප්‍රකාශකයෝ
පරිවර්තනය: සීතා මහේන්ද්‍ර
මිල: රුපියල් 375
• සීතා මහේන්ද්‍රගේ ‘ඉරි ඇඳුමේ සැඟවුණු කඳුළ‘ කෘතිය ජනගත වීමේ උලෙළ මේ මස 11 වැනිදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී ප.ව. 04 ට පැවැත්වීමට නියමිත ය. මෙහිදී ජෝන් බොයින්ගේ The Boy In The Striped Pyjamas සිනමාපටයේ දර්ශන කිහිපයක් ද දර්ශනය කිරීමට බලාපොරොත්තු වේ. සම්මත ආකෘතියෙන් වෙනස් වූ විවෘත, වෙනස් සැඳෑවක අසිරිය විඳින්නට පාඨක ඔබට එහිදී හැකි වනු ඇත.
විසිවන සියවසේ ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලන සමයේ දී සිදුවූ පුවතක් ඇසුරෙන් දිග හැරෙන කුඩා දරුවන් දෙදෙනකු පිළිබඳ අනුවේදනීය පුවතක් ඉදිරිපත් කරන කෘතියක් මම මෑතදී කියවූවෙමි. ඒ සීතා මහේන්ද්‍ර නම් ලේඛිකාව විසින් සිංහල බසට පරිවර්තනය කරන ලද “ඉරි ඇඳුමේ සැඟවුණු කඳුළ” නම් කෘතිය යි. ඇය මේ සඳහා පාදක කරගත් කෘතිය වූයේ “ජෝන් බොයින්ගේ “ද බෝයි ඉන් ද ස්ට්‍රයිප් පිජාමාස්” නම් යොවුන් නවකතාවයි. ළමා මානසිකත්වය අපූර්ව අන්දමින් ග්‍රහණය කර ගනිමින් නාසි වධ කඳවුරු ආශ්‍රිත සිද්ධීන් ද යොදා ගනිමින් රචිත මේ කෘතිය ළමා චෛතසිකයන් හඳුනා ගැනීමට පෙරටුගාමී චින්තනයක් ඉදිරිපත් කරයි. ජෝන් බොයින් උපමා කතාවක් (fable) ලෙස මෙය ඉදිරිපත් කර තිබේ. Fable යනු නිවැරදි සත්‍යය ම නොවේ. එහෙත් සත්‍යය එහි අන්තර්ගත වේ. මේ කතාව මූලික කර චිත්‍රපටයක් ද නිර්මාණය වී තිබුණ ද නවකතාව සහ චිත්‍රපටය දෘෂ්ටි කෝණ දෙකකින් ඉදිරිපත් වී ඇති ආකාරය දැකිය හැකි ය. 1889 - 1945 කාලය තුළ උපත ලද ඇඩොල්ෆ් හිට්ලර් නාසිවාදය ම ප්‍රමුඛ කොට යුද්ධය මෙහෙයවීය. ඔහුට අවශ්‍ය වූයේ තම ජාතිකයින් පමණක් ජීවත් කර යුදෙව් ජාතිකයින් ඝාතනය කිරීමයි.
කෘතිය තුළ හිට්ලර් පෙනී සිටින්නේ ෆියුරි නමිනි. රුල්ෆ් නම් අණදෙන නිලධාරියාගේ බෲනේ නම් නව හැවිරිදි පුතණුවන් පිළිබඳ කතාව ප්‍රමුඛව සිද්ධි මාලාව ඉදිරිපත් කර තිබේ.
කුඩා දරුවන්ට යුද්ධය පිළිබඳ හැඟීමක් නැත. එහෙත් එයට ඔවුන් ද මුහුණ දිය යුතුය. යුද පරිසරයට දරුවන් පසුබිම් වූ විට ළමා ලොව විනාශ වී යයි. වැඩිහිටියන්ට ඒ පිළිබඳ සිතිය හැකි සීමාව ඔවුන් සිටින මානසිකත්වය අනුව පටු වී යයි. දෙවන ලෝක යුද්ධය අප සියැසින් දැක ඇති තරම් අවධානයට ලක් වූවකි. එය සිදුවූයේ ඈත අතීතයේ දී ය. නමුත් ඒ පිළිබඳ විවිධ විෂය ක‍්ෂේත්‍රයන් ඔස්සේ විශ්ව ජනතාව කතා කරති. අනවබෝධයෙන් සිටින කුඩා දරුවන් ඒ පිළිබද වටහා ගන්නේ කෙසේද?
මිතුරන් බවට පත්වන බෲනෝ සහ ෂ්මූල් කුඩා දරුවන් ය. ෆියුරි නම් පාලකයාට නතුව රාජකාරි කටයුතු කරන රැල්ෆ් නම් අණ දෙන නිලධාරියා බෲනෝගේ පියා ය. ඔහු තුළ විශිෂ්ට කලණ ගතිගුණ තිබුණ ද ඒ සියල්ල අබිබවා නායකයකුට යටත් වීම, රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම, තම දරුවන් පිළිබඳ සොයා බැලීම ගැන අඩු අවධානයක් දීම, වාසය කළ හිතකාමී පරිසරයෙන් වෙන්ව යෑම යන සිද්ධීන්ට ඔහුට මුහුණ දීමට සිදු විය. තම දරුවා ප්‍රිය කළ යහළුවන්, පරිසරය, ආච්චි යන සියලු බැඳීම් ඔහු බෲනෝගෙන් ඉවත් කරන්නේ එබැවිනි.
පියා අබිබවා යන විනය ගරුක යහපත් ගති ගුණ දරුවාට පිහිටා තිබේ. එසේ වන්නේ ඇයිද යන්න පාඨකයාට තීරණය කිරීමට සිදුවේ. ෂ්මූල් නම් තම සමවයසේ දරුවාව බෲනෝ මිතුරු කර ගැනීම ද ඔහුට උපකාර කිරීම ද කථාව පුරා දිව යන ළමා මානසිකත්වයකි. බෲනෝ සමීපයේ නිතර සිටින්නේ “මරියා” නම් සේවිකාවකි. එයට හේතුව දරුවාට ආදරය කරන්නේ ඇය පමණක් වීම නිසයි. කුඩා වුවත් නුවණැතිව සිතා ක්‍රියා කිරීම ද ඉවසීමේ ගුණාංගය ද ඔහුට තිබේ. බර්ලින් නුවරින් පිටව යාමේ දී ඒ ගැන දෙපාරක් සිතිය යුතු බව ඔහු පියාට පවසන්නේ දැඩිව කල්පනා කිරීමෙනි. විචාරශීලී බුද්ධියකින් හෙබි ඔහු සෑම දෙයක්ම සංසන්දනයකර බලයි. දරුවාගේ ලෝකය පරිසරය බව ද මෙම කෘතියෙන් විශද වේ.
“ජනේලයෙන් එහා ලෝකය කළුවර බල කොටුවක පුංචි ඉටි පන්දමක් දැල්වූවා සේ”
මෙවන් උපමා අපූර්ව අන්දමින් භාවිත කිරීම පාඨකයා කථාවට තවත් සමීප කර ගැනීමකි.
බෲනෝ විෂය කර ගන්නේ ගවේෂණය කිරීමයි. ඔහු නිතර ම ඒ අනුව ක්‍රියා කරයි. ඔහුගේ යහළුවාට ද ඒ සඳහා මඟ පෙන්වයි. අවස්ථාවෝචිතව වැඩ කරන බෲනෝ තම පියාගේ කන්තෝරු නීතිය හොඳින් අවබෝධ කරගත්තෙකි. තාත්තා නම් චරිතයෙහි අන්තර්ගත ගැඹුරු හඬ, පෞරුෂය සහ ඔහුගේ වැඩපිළිවෙළ ඔහු දැඩිව නිරීක්ෂණය කරයි. බෲනෝ කුඩා වුවත් ඔහුගේ පිළිවෙත අවංක බවයි. නමුත් සේවිකාවන වන මරියා බෲනෝගේ පියා හොඳ සහ නිවැරදි දේ අනුව ක්‍රියා කරන බව අනුමත කරන්නේ ඇගේ මවට ද ලබා දුන් උපකාර පිළිබඳව තීරණය කිරීමෙනි. එවන් පුද්ගලයකු මේ තත්වයට පත් වන්නේ කෙසේ ද? යන්න ඇයට සිතා ගත නොහැකි ය.
“නීති රීති හැම තිස්සේ ම තියෙන්නේ ළමයින්ට. වැඩිහිටියන්ට නොවේ. ඒවා හැදුවේ වැඩිහිටියන්” ඒ ඇයි ද යන්න ඔහුගේ පැනයයි.
“මට වැරදුණේ මෙතනද කියලා මට හිතෙනවා. රැල්ෆ් නූල් වලින් එල්ලෙන රූකඩයක්” රැල්ෆ් ගේ මව මෙසේ දුකට පත් වන්නේ ඇය මවක ලෙස ඔහුට යහපත් ආකල්ප නුදුන් බවද? එහෙත් රැල්ෆ්ගේ බිරිඳ කතා කරන්නේ ඔහුගේ අයහපත් රාජකාරියට යොදා ගන්නා නිල ඇඳුමේ ඇති කඩවසම් බව ගැනය. අවිනිශ්චිත බියකින් තම දෙමාපියන්ගේ කට හඬවල් වැසී ඇති බව බෲනෝ සහ ඔහුගේ වැඩිමල් සොයුරිය වන ග්‍රේට්ල් ප්‍රකාශ කරයි. බෲනෝගේ සිතිවිල ඔහු ආච්චිට ලියා යවන්නේ එබැවිනි.
මනා පරිකල්පනයකින් ගෙතුණු මේ කතාව ඉතාමත් සංවේදී ලෙස ඉදිරිපත් කිරීමට ළමයිගේ නම් පවා හඳුන්වා දී ඇත. “ෂ්මුල්” උණුසුම් වෙන්න දෑත් පිරිමදින හඬ සහ “බෲනෝ” සුළං හමන හඬ නිරූපණය කරන බව පැහැදිලි කර ඇත. ෂ්මූල් පෝලන්තයේ සිට පැමිණි දරුවකු වුවද ඔවුන් නිඹුල්ලු මෙන් යයි සඳහන් කිරීම, එක ම දින උපත ලැබීම වැනි දේ දැක්වීම තුළ ළමයිගේ සමාන කම, තමන් වගේ තවෙකකු ඇසුරු කිරීමේ සතුට දරුවන් ඒ ලෝකය සොයා යාම තුළින් දැකිය හැකි ය.
බෲනෝගේ චින්තනය පටු නොවේ. “මම ගවේෂකයෙක් වුණු දවසට වැඩිහිටියන් කළ වැරදි කරන්නේ නෑ.” බෲනෝ තරයේ කියා සිටියේ ය. ෂ්මුල් කඳවුරක ජීවත් වුවද ඔහුට ඒ ගැන අවබෝධයක් නැත. “අපි සෙල්ලම් කරන්නේ නැහැ” ෂ්මූල් එසේ පවසන්නේ සිරකරුවන් සඳහා පුරුදු තත්ත්වය අවබෝධ කරගත නොහැකි නිසයි. සොල්දාදුවන් කැමති නැහැ මිනිස්සු සනීප වෙනවට. හොඳ සොල්දාදුවෝ නැහැ.” ඒ ෂ්මූල්ගේ අවබෝධයයි. නමුත් රැල්ෆ් බෲනෝට අවබෝධ කරවීමට තැත් කරන්නේ අපි ඉතිහාසය නිවැරදි කරනවායන්න යි. බෲනෝගේ සහෝදරිය කිසිවක් නොකරන තත්වයකට පත්ව සිටින්නේ දෙමාපියනගේ නොසැලකීම මත බව පෙනේ. සහෝදරිය සමඟ බැරා ගන්නේ නැතිව කථා කළ යුතු බව බෲනෝ වටහා ගන්නා යහපත් සිතිවිල්ලකි. ෂ්මූල් පිළිබඳව තම සහෝදරිය විමසූ විට ඔහු දෙන පිළිතුර බෲනෝගේ තියුණු සංවේදී නුවණ පිළිබිඹු කරන අතර කෘතිය පුරාම ඔහුගේ මෙම ස්වභාවය දැනවීමට යත්න දරා තිබේ.
බෲනෝ නිර්භීත වුවද ෂ්මුල්ට තම නිවසේදි කෑම දුන් අවස්ථාවේදී සත්‍ය නොපැවසීම වැඩිහිටියන් දරුවන්ව අනවශ්‍ය පරිදි බිය ගන්වා ජීවත් කරවීම පෙන්නුම් කෙරේ. රැල්ෆ්ගේ අදහස්, ජාතිවාදි හැඟීම්, ග්‍රේටල් හොඳින් ග්‍රහණය කර ඇත.
“වැට තියෙන්නේ අපට එහා පැත්තට යන්න බැරි වෙන්න නොවෙයි. උන්ට මෙහා පැත්තට එන්න බැරි වීමටයි.” බෲනෝ බුද්ධිමත් වුවද කඳවුරු ජනාතවගේ සහ තම පාර්ශ්වයේ අයගේ වෙනස දුටුවේ ඉරි ඇඳුමින් පමණි. දරුවන් දෙදෙනාගේ අවසානය ඔවුන් නොදන්නා කරුණක් වීම මහා ඛේදයකි.
දරුවා වැටෙන් එහා පැත්තට ගියේ කෙසේද? රැල්ෆ් ගෙනගිය දැඩි පියවරක විපාකය? ඛේදවාචකයක් වුවද කිසිදෙයක් ගණන් නෙගත යුතු බවට සිතා ඔහු ගත් ශක්තිමත් තීරණය; එසේ නොවී නම් ඔහුට තවදුරටත් ජීවත් වීමට මානසිකත්වයක් නොමැතිවීම, රැල්ෆ් තුළින් අධ්‍යයනය කළ හැකය. රැල්ෆ් ගේ ක්‍රියා කලාපයන්හි විපාකය ඔහුට ම ලැබුණා නොවේද?
හිට්ලර්ගේ ජීවන දර්ශනය කුමන ප්‍රතිපත්තියක් පදනම් කර බිහිවුණද යන්න අධ්‍යයනය කිරීම අපට වර්තමානයට ද වැදගත් වෙයි. ජන වාර්ගික අර්බුදයේ මානව අඳුර පිටු දැකීමට කුඩා දරුවාගේ සිට වර්ධනය කළ යුතු ආකල්පවල ඇති වගකීම මින් මතු මෙසේ සිදු නොවීමට ක්‍රියා කරනු ඇත. විරුද්ධ ජාතිකයන් අතර කුමන හෝ අන්දමින් මානව සම්බන්ධතා ආගම් මතිභේද ගොඩ නොනැගිණිද? මේ සඳහා හිට්ලර් නම් නායකයාට පමණක් මුලික වීමට ඉඩ ලැබුණේ කෙසේද? මේ ගැන තවදුරටත් සිතා බැලිය යුතුයි.
සීතා මහේන්ද්‍ර මහත්මිය විසින් සිංහල බස මැනවින් හසුරුවමින් එම සිද්ධි දාමයන්හි හැඟීම් ඒ ස්වරූපයෙන් ම ඉදිරිපත් කර ඇත්තේ පහසුවෙන් පාඨකයාට කෘතිය රස විඳීමට ග්‍රහණය කර ගත හැකි ආකාරයෙනි. කථාවේ පසුබිම සඳහා අවශ්‍ය සියලු නිරූපිතයන්හි සැබෑ ස්වරූපය ඉදිරිපත් කර තිබීම සිංහල පාඨකයාට ඉතා සමීපව රස විඳීමට හැකි වීමට හේතුවකි.
ළමා චරිතයන්ට උචිත ආකාරයට අවශ්‍යතන්හිදී භාෂාව භාවිතා කිරීමද, උපමා භාවිතය සෑම සිතිවිල්ලක් ම සුපරීක්ෂාකාරීව ලේඛනගත කර තිබීම කෘතියෙන් ලබා දෙන සමාජ අවබෝධය පුළුල් කරයි. මෙවන් කෘතියක් පළ කිරීම පිළිබඳව අප ඇයට තුති පිදිය යුතුයි.