ඉපැරණි රුසියානු සාහිත්‍යයෙන් ගුරුකම් ලබන | සිළුමිණ

ඉපැරණි රුසියානු සාහිත්‍යයෙන් ගුරුකම් ලබන

සමාජවාදී යථාර්ථය නමැති නව සාහිත්‍ය සම්ප්‍රදායේ පිතෘවරයා වශයෙන් සලකන මැක්සියම් ගෝර්කි වරක් තරුණ ලේඛකයන් අමතා මෙසේ කීවා.

“සාහිත්‍ය නිර්මාණයන් කරන්න පෙරුම්පුරන අයට සාහිත්‍ය ඉතිහාසය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. ග්‍රන්ථාරූඪ වී තියෙන සාහිත්‍යයත්, කටින් කට පැවතෙන ජන සාහිත්‍යයත් යන දෙකෙහිම ඉතිහාසය ගැන දැන ගැනීම බොහොම ප්‍රයෝජනවත්. මිනිසකු යම්කිසි කාර්යයක යෙදෙන කොට ඒ පිළිබඳ ඉතිහාසය දැනුම නැතිවම බැහැ. කම්හලක වැඩ කරන කම්කරුවකු වූවත්, ඒ කර්මාන්ත ව්‍යාපාරයේ ඉතිහාසය, නිෂ්පාදන තත්ත්වය ආදිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම බොහොම ප්‍රයෝජනවත් වෙනවා. අතීතය දැනගත්තාම වර්තමානයේ ජීවත්වන අපට අනාගතය පහසුවෙන් ගොඩනඟා ගන්න පුළුවන්. අපි අපේ ඉපැරැණි සාහිත්‍ය පොත පත පිළිබඳ හොඳ දැනුමක් ලබාගන්න ඕනෑ. විදේශීය සාහිත්‍යය ගැනත් දැනුම දියුණු කර ගැනීම වැදගත්. ලෝකයේ රටවල් විවිධ වුවත්, බොහෝ විට ඒවායේ වෙසෙන මිනිසුන්ගේ සිතුම් පැතුම් එක සමාන වන බව පෙනෙන නිසයි මා එසේ කියන්නෙ.”

නූතන සෝවියට් සාහිත්‍යකාරයන් ඉපැරැණි සාහිත්‍යයේ හොඳ අංගවලින් ආභාසය ලබා ඇති අන්දම තේරුම් ගැනීමේ දී අපට ඒ රටේ සාහිත්‍ය අතීතයට හැරෙන්න සිදු වෙනවා. රුසියන් සාහිත්‍යයේ අමරණීය යුගය වශයෙන් විචාරකයන් හඳුන්වන්නේ 19 වන සියවසයි. මහ කවි පුෂ්කින්, ලෙර්මන්තෝප්, ගො‍ගොල්, දස්තයව්ස්කි, තුර්ගනිප්, ඇන්තන් චෙකෝප් ආදි ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවන් බිහි වුණේ ඒ අවදියෙදි යි. මහා කවි පුෂ්කින් මුල් වකවානුවේදී රුසියන් සාහිත්‍යයට අඩිතාලම දැම්මේ ජන සාහිත්‍යයෙන් හා විදේශීය සාහිත්‍යවලින් ආභාසය ලබා බව ඔහුගේ කෘතීන් හැදෑරීමේ දී පැහැදිලිවම පෙනෙනවා. රුසියානු සාහිත්‍යකරුවන් වැඩි දෙනා තමා ජීවත්වන යුගය යස රඟට පිළිබිඹු කළා. දුෂ්ට සාර් යුගය වි‍වේචනයට භාජන කළා. නිදසුනක් වශයෙන් දක්වතොත් ගොගොල් වැනි ලේඛකයන් සාර් යුගය කර්කෂ උපහාසයට ලක්කළ අතර, චෙකෝප් වැනි ලේඛකයන් ඒ යුගය සියුම් උපහාසයට ලක්කර තියෙනවා. මේ ලේඛකයන්ට පින්සිදු වන්නට සූරා කෑමෙන් තොර නව සමාජවාදී සමාජයක් රුසියාවේ බිහි වුණා. සමාජවාදී යථාර්ථය ගුරු කොට ගන්නා සෝවියට් ලේඛකයන් ඒ නව සමාජ ක්‍රමය තව තවත් ඉදිරියට ගෙන යාමට උත්තරීතර සමාජයක් බිහි කිරීමට, සිය නිර්මාණයන් තුළින් වෑයම් කරනවා. සමාජවාදී යථාර්ථය නමැති මේ නව සාහිත්‍ය සම්ප්‍රදාය අද ලෝකයේ බොහෝ රටවල ප්‍රගතිශීලීන්ගේ සැලකිල්ලට ගෞරවයට ලක්වී තියෙනවා.

නූතන සෝවියට් සාහිත්‍යය වර්ධනය වීමේදී ඉපැරැණි සාහිත්‍යයෙන් ලබා ඇති ආභාසය නිදර්ශන සහිතව බලමු. ගොගොල් “ටරාස් බුල්බා” නමැති නවකතාව ලීවේ මිට ශත වර්ෂයකට විතර ඉස්සර. “ටරාස් බුල්බා” සැබෑ දේශ ප්‍රේමියෙක්. ඔහුට පුතුන් දෙදෙනෙක් සිටියා. සතුරන් රට අල්ලා ගැනීමට කඩා පැන්න අවස්ථාවේ දී “ටරාස් බුල්බා” රට වෙනුවෙන් අභීතව සටහන් කළා. මේ අතර එක පුතෙක් සිය පෙම්වතිය නිසා සතුරු කඳවුරට එකතු වුණා. සටනින් විජයග්‍රහණය කළ ටරාස් බුල්බා කළ ප්‍රථම කාර්ය තමා, රටට ද්‍රෝහි වූ පුතා රණ බිමේදී ම කිසිම අනුකම්පාවක් නොමැතිව මරා දැමීම. තමන්ගෙ රට ජීවිතයටත් වඩා අගය කළ යුතු බව හඟවන මේ කතාව අදත් අගය කරනවා. ජනතාවගේ දේශප්‍රේමය වර්ධනය කරවන මෙවැනි කතාවලින් ගුරුකම් ගෙන නූතන සෝවියට් ලේඛකයනුත් කෘතීන් නිර්මාණය කර තියෙනවා.

මහා යුද සමයෙහිදී ජර්මන් පැසිස්ට්වාදීන් රුසියාවේ “ක්‍රස්නදාර්” කියන ප්‍රදේශය කොටු කරගත්තා. ඒ ප්‍රදේශයේ හිටිය තරුණ තරුණියො එකතු වෙලා දේශ ප්‍රේමයෙන් යුතුව රහස් සංවිධාන පිහිටුවාගෙන රට සතුරන්ගෙන් ආරක්ෂා කරගත්තා. පෙදේයප් කියන සෝවියට් නව කතා කාරයා “යංගාඩ්” නමැති නවකතාව රචනා කළේ, ගොගොල්ගේ ටරාස් බුල්බා වැනි ඉපැරැණි දේශප්‍රේමී කෘතීන්වලින් ලද ආභාසය නිසා බව සසඳා බලන විට වැටහෙනවා.

 

ඩස්තෝවස්කිගේ “හව් ද ස්ටිල් වෝස් ටෙම්පඩ්” කතාව තුළිනුත් දේශප්‍රේමය ජනිත කරවනවා. දේශප්‍රේමය හදවත් තුළ ජනිත කරවන එවැනි කෘතීන්, නොබල් ත්‍යාගය ලද මිහයිල් ෂෙපලක් හෝප්, වැනි අයත් නිර්මාණය කර තියෙනවා.

රුසියානු සාහිත්‍යකාරයනුත් ඉපැරැණි ලේඛකයන්ගෙන් ගුරුකම් ගෙන තිබෙන බව, ආභාසය ලැබු බව බොහෝ විට සඳහන් කර තියෙනවා. සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත ගැන කීමේදී අපි ඔක්කොම ගොගොල්ගේ “හිම කබායෙන්” ආභාසය ලැබුවා කියා ඊට පසු කාලයේදී පහළ වූ ශ්‍රේෂ්ඨ සාහිත්‍යකාරයෙක් වන දස්තයවස්කි ගොගොල්ට ගෞරව වශයෙන් පැවසුවා. සාමාන්‍ය මිනිසුන් ගැන ලිවීමේදී මේ සම්ප්‍රදායය සෙසු ලේඛකයනුත් දිගටම ගෙන ගියා.

රුසියන් විප්ලවයේ කැඩපත කියා ලෙනින් විසින් හැඳින්වූ තොල්ස්තෝයි සැබෑ මානව භක්තිකයෙක්. ඔහුගේ අවිහිංසා දර්ශනය බොහෝ දෙනා අගය කළා. නමුත් ජනතා ඉදිරි ගමනට මැක්සියම් ගෝර්කිගෙන් තරම් සේවයක් ඉටු නොවුණු බව සෝවියට් විචාරකයො කියනවා. වැඩ කරන ජනතාවගේ සිතුම් පැතුම් මූර්තිමත් කරමින් ඔවුන් වෙනුවෙන් උත්තරීතර සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණ ඇති සමාජවාදී යථාර්ථය තොල්ස්තෝයිගේ අහිංසා දර්ශනයට වඩා පෑ‍ගෙන ජනතාවන් අගය කරනවා. තොල්ස්තෝයිගේ දර්ශනය අගය නොකළත්, ඔහු ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් නොවන බව මින් අදහස් වන්නේ නැහැ. සාර් රජයෙන් බේරී රුසියානු සාහිත්‍ය කරුවන්ට නිවී සැනසිල්ලේ ලිවීමට ඉඩක් තිබුණේ නැහැ. මුද්‍රණයට පෙර පරීක්ෂා කර ගත යුතුව තිබුණා. ඒ නිසා ෂෙද්රින් කියන කතා කාරයා සාර් රජය උපහාසයට ලක්කර සතුන් ගැන කතා ලීවා. සමාජවාදි සමාජයක් නිර්මාණය කිරීමේදී සිදුවන ඇතැම් දුර්වලතා විවේචනයට භාජන කරන්න අද සෝවියට් ලේඛකයන් ද ෂෙද්රින්ගේ කතා ගුරුකොට ගන්නා බව සෝවියට් දේශයේ පළවන “කොක්‍රඩයිල්” වැනි සඟරාවලින් පෙනෙනවා. එදා සහ අද යුග දෙක අතර දැඩි වෙනසක් ඇතත් ඉපැරැණි හොඳ දෙයින් ආභාසය ලබන අන්දම මින් පැහැදිලි වෙනවා.

රුසියානු සාහිත්‍යයෙහි පහළ වූ සියුම් උපහාස කාරයා චෙකෝප් බව “ලිපි කරුවාගේ මරණය” වැනි ඔහු ලියූ කතාවලින් තේරුම් ගන්න පුළුවනි. චෙකෝප්ගේ “මිටියාවත” වැනි කතා ගුරුකමට ගෙන යුරිතගිබින් නමැති සෝවියට් කෙටිකතාකරුවා සෝවියට් කෙටිකතා කලාවේ නව යුගයක් බිහිකර තියෙනවා.

එදා සිටි රුසියන් සාහිත්‍ය කතාකාරයන් ගොවි ජීවිතය දෙස බැලුවේ සැබෑ අනුකම්පාවෙන්. තුර්ගේනිප්ගේ “දඩයක්කරුවකුගේ දින පොත” මීට කදිම නිදසුනක්. ගොවියන්ගේ දිළිඳු දිවිපෙවෙත, අසහනය ආදියට වගකිව යුත්තේ සූරා කන සමාජ ක්‍රමය බව පෙන්වා දුන්නා. එදා එම ලේඛකයන් ගත්තේ විවේචනාත්මක යථාර්ථවාදී මඟක්. ශත වර්ෂ ගණනක් ඔවුන් පෑනෙන් කළ සටන නව සමාජයක් බිහි කිරිමේදී සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කළා. බොහොම අමාරුවනේ බිහිකර ගත් මේ සමාජ ක්‍රමය ආරක්ෂා කරගෙන ජනතාවට මීටත් වඩා උතුම් උත්තරීතර සමාජයක ජීවත්වීමේ වාසනාව ළඟා කර වීමට සෝවියට් ලේඛකයන් අද වෑයම් කරනවා. සමූහ ගොවිපළ, කම්මල නිතර ඔවුන්ගේ අවධානයට යොමු වන තැන් වශයෙන් සලකන්න පුළුවනි.

රුසියානු සාහිත්‍ය කරුවන්ට නිදහසේ ලිවීමට ඉඩ නොලැබීමත්, ඔවුන්ගේ දිළිඳුකමත් නිසා එක් අතකින් බලන විට රුසියානු සාහිත්‍යයෙහි නවමං ඇතිවුණු බව පැහැදිලියි. සාහිත්‍යකරුවන් හැඟීමෙන් බර වූ කෘතීන් නිර්මාණ්‍ය කළ නිසා ඒවා රසවත් වුණා. ඔවුන් කෙතරම් පීඩනයට පත්ව සිටියත්, කිසි විටෙකත් උතුම් උදාර අරමුණුවලින් පිට ගොස් නැහැ. සදා ජනතාව වෙනුවෙන් ඇපකැප වුණා. පුෂ්කින්ගෙන් පටන් ගෙන ගෝර්කි දක්වා වූ ලේඛකයන් සිය දහස් ගණනකගේ ජීවිත කතා හා ඔවුන්ගේ කෘතීන් හදාරන විට මේ තත්ත්වය පැහැදිළි වෙනවා.

ඉපැරැණි සාහිත්‍ය සම්ප්‍රදායයන් ගුරු කොට ගෙන සුප්‍රකට සෝවියට් කිවිවරයකු වන “ස්තුෂෙන්කා” මීට වර්ෂ කිහිපයකට පෙර “බුරාන්කි ග්‍රෙරෙස්ට්” නමැති කාව්‍යයක් රචනා කළා.

රුසියානු සාහිත්‍ය කාරයන් ජීවත්වූයේ ඒ රටේ වැඩවසම් යුගය, ධනවාදී යුගය ආදි යුගවලයි. අද සෝවියට් ලේඛකයා ජීවත් වන්නෙ සූරා කෑමෙන් සමාජවාදී සමාජයක. ඒ නිසා ආර්ථික දේශපාලන සමාජික සංස්කෘතික වශයෙන් මේ යුග අතර ලොකු වෙනසක් ඇති බව අප තේරුම් ගන්න ඕනෑ. නමුත් එක් සත්‍ය්‍යක් පැහැදිලිව ම පෙනෙනවා. එනම් සාහිත්‍යකාරයා තමා ජීවත්වන යුගය පිළිබිඹු කළ තරමට ඔහුගේ නිර්මාණයෙහි අගය වැඩි වන බවයි.

Comments