අතදරුවන් ඇති වූ දා දැනෙයි අම්මකමේ ර‍ඟේ... | සිළුමිණ

අතදරුවන් ඇති වූ දා දැනෙයි අම්මකමේ ර‍ඟේ...

‘සෙනේ පිරිච්චි වැහි කෝඩේ’ (ස්නේහය නමැති වැහිවලාව) ‘ළැම ඉම්’ කඳු කරටියට හාතිදෙන කොට තමයි “කිරිවැහි” පුරන්නෙ. ඒ වැහි පීරි (එම මඳ වැහි) රුහිරු ඉස්මේ කැලැත්තුන (රුධිරයෙහි කැලතී) දාඩිය පොහොනිවලට (දහබිඳු පොහොරට) හාමුවෙන කොට තමයි දරු පැලෑටි (දරුවන් නම් වූ පැළපත) ආරන්නේ. මෝරන්නේ (ඇතිදැඩි වනුයේ.) ‍‍

හැබැයි ඉතිං එහෙම ඇරූවට මේරුවට මදි නෙවැ. අයියේ... (ඇයි ඒ?) ඔය පැළපතට අන්දාරයෙන් එල්ලවෙන (වටපිටාවෙන් - පරිසරයෙන් එක්වෙන) රාග - රෝග, වසන්ගත බොහෝමයි ඕං. ඉතිං, එව්වා ආණ්ඩු මට්ටු කොරන්ඩ කියලා (මැඩ පැවැත්වීම සඳහා) අන්දාරය නහන එක හරි, ඒ දරු පැළෑටි ‘නහන’ එක (විනාශ කිරීම) නාකයි නෙවැ.

එහෙම කීවට අද නම් කොරන්නේ ඒ ටික නේන්නං. ‍

ඒ උණාට ඒක මහා තකතීරු කොමක් නෙවැ. (එය මහා මෝඩ කමෙකි.) දරු පැල ආරුස්සා කොර ගන්ඩ ඕනෑ රෝගකටින්ඩ කලියෙන් නෙවැ.

එ... හේ... න...ං?

ඒ වෙනුවට එදා අපේ ඇත්තෝ නම් කෙරුවේ ඔය වසන්ගතවලින්, රාග රෝගවලින් දරු පැළපත බේරා ගන්ඩ නං හරි හමන් ජාමෙට (නිසි අවධියේදිම) ඒ පැලෑටි දැහැ වාගේ (දෙනෙතමෙන්) රැකුරු බැලුම් කොරගන අන්දාරයේ රාග රෝග කදිමට දැන කොරාගන (එම රෝග නිසි අයුරින් පසක් කර ගෙන) දෙන්ඩ ඕනෑ බේත හීන්රතේ ම (ඉවසීමෙන් යුතුව) පැලපතට පොවන්ඩ උත්තච්චි වෙත එකයි. (උනන්දු වීමයි.) හැබැයි එහෙම රැකුම්බැලුම් කොරගත්තෙ නැත්තං, එක්කෝ ඒ පැල කරංගැටියා වෙලා නහිනවා. (ඇතැම්විට පරිහානියට පත්ව විනාශ වෙනවා.) නැත්තං පලපොරෝජං බාල වෙලා (නිකමුන්වෙලා) හිටං මහී කාන්තාවට බරක් හබරක් වෙලා මහ උළු කනත්තට ම දීරණ වෙනවා මයි. (සිපිරිගේ නමැති සොහොන්පලේ ම මිහිදන්වෙන්නේ මය.)

හ්ම් ඒවාගේ ජාමෙක අද ඉන්න “ඉස්ගෙඩි පුස්සො” නං කොරන්නේ, ඒ වසන්ගත දුරුවං කොරන්ඩ පරයින් ගේ (විදේශිකයින්ගේ) “කිරිපල්ල” අතගගා යාතිකා වෙන එකනෙවැ. ඉන්දා එහෙම නොකර පුළුවනැයි. කැස්සට කිබිස්සටත් පරයින් ගේ පිහිට හිඟා කන කොට?

ඒ හින්දා නෙවැ, නියපොත්තෙන් කඩන්ට ඇහැකි මේවා ගේ රාග රෝග දැඩි උණාම පොරොවෙන්වත් කපන්ඩ බැරිවෙලා තියෙන්නේ. ඒක හැබෑවයි. එතකොට දරුපැලපතට පොවනවා කියන ඔය අවුසදේ ඒ පැලපත මහ ගස් උනාට පස්සේ පෙව්වා ම නාකද? මේක ඔළුවට වට්ටා ගත්තනං.

කය්පය්යාවට කටින රාගරෝගවලටනං (ශරීරයට වැලඳෙන රෝගවලට නම්) ලොකු, කුඩා, කාටත් බේත් හේත් අද වැහිවැහැලා නෙවැ. එව්වා කඳට කයට පෙව්වාම ලෙඩේ හමාර වෙනවා. ඒත් “නොසණ්ඩාල” කොම කියන වසංගතේට ඒ බේත් හේත් පන්ති‍යං නෑ නෙ. (නොහික්මුණු කම කියන නොමිනිස්කම් වසන්ගතය එම බෙහෙතින් සුව කළ නොහැකියි.) එතකොට... එතකොට... ඒ වසංගතේට එදා ඇත්තන් ගාව තිබ්බා කීවා නේද බේතක්...? තිබ්බා නේන්නං... සංසාර දුක් වසංගතේ දුරුවන් කොරන්ඩ අපේ බුදුහාමුදුරුවෝ සත්තයින්ට පොවාපු බේත තමයි උන්වහන්සේගේ දරුමය. (බුද්ධ ධර්මය) ඒවාගේම එදා අපේ ගමේ බීමෙ ඇත්තෝ විහින් අන්දාරෙන් දරුපැලවලට කිට්ටු කොරන (පරිසරයෙන් ළඟාවෙන) නොසණ්ඩාල කොම කියන වසන්ගතේට පොවාපු දිය්ය බේත හේතු තමයි දැනමුතු කොම කියලා කියන්නේ. (දිව්‍ය බේහෙත වන්නේ අවවාද අනශාසනායි.)

ඒ සන්දියෙ එක නෑම්බික් ගෙ චාරේ දැනකොරා ගත්තු (එක්තරා තරුණියකගේ චරිතය දුටු) ඒ නෑම්බිගේ මෝ (මව) දුන්නාකියන බොහෝම පන්කාදු බේතක් ගැන ඕං මයෙ මතකේ ඇහැරෙනවා. මේං ඒ බේත.

‘කැතකුණු මගෙ අතගාන්න
දුවෙ උඹ හිරිකිතයි වගේ’

“අත දරුවන් ඇති වූ දා දැනෙයි අම්මකමේ ර‍ඟේ.”

මේ බේත නං කදිමයිනෙ. කොහොම උනත් එදා නෑම්බියන්ඩ වාඩ මෙදා සහේට ගාටන්ඩ එක පයින් ඉන්න ඇත්තියන් නං මේ බේත වළදන්ඩ ඕනැමයි. ඒකට හේතුව අන්දරෙන් එන හැම වසංගතයකින් ගාති ගන්නේ උන්දැලා හින්දා නෙවැ.

Comments