HOLLYWOOD | සිළුමිණ

HOLLYWOOD

 බීබර්ට චීනය තහනම්!

ජස්ටින් බීබර් ගේ ගීත වඩාත් ප්‍රිය කරන යොවුන් රසික රසිකාවියන් ලොව පුරා විසිරී සිටියත් ඇතැම් රටවල බලධාරීන් මේ යොවුන් ගායකයාට ඒ හැටි මනාපයක් දක්වන්නේ නැහැ.

චීනයත් දැන් ජස්ටින් බීබර් ප්‍රතික්ෂේප කරන රටක් බවට පත්වෙලා. චීනයේ බීජිං නුවර පිහිටි සංස්කෘතික කටයුතු පිළිබඳ නාගරික කාර්යංශය නිවේදනය කළේ බීබර් ව පිළිගැනීමට එරට සූදානම් නැති බවයි. ඔහුගේ ‘නරක හැසිරීම්’ එයට හේතුවී ඇති බවයි එම බලධාරීන් පැවසුවේ. මේ සුපිරි තරුව 2013 දී චීනයේ ප්‍රසංග කිහිපයක් පැවැත්වූවා. චීන සංස්කෘතික කටයුතු කාර්යංශය තවදුරටත් පැවසුවේ බීබර්ට යළි චීනයට පැමිණීමට අවශ්‍ය නම් ඔහු බොහෝ කරුණු අතින් පෙරට වඩා ඉදිරියට ගොස් තිබිය යුතු බවයි. ‘ගායන සහ රංගන කලාව තුළට නරක චර්යාවන් හඳුන්වා දිය යුතු නැහැ. චීන ප්‍රසංග කලාව අපිරිසුදු නොකිරීමේ පියවරක් වශයෙන් මේ තීරණය ගෙන තිබෙනවා.” සංස්කෘතික කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ ‍එලෙස ද සඳහන්ව තිබෙනවා.

‘හෝම් අලෝන්’ පියා මියයති

90 දශකයේ අතිශය ජනප්‍රියවූ ‘හෝම් අලෝන්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයක් රඟපෑ ප්‍රවීණ නළුවකු වූ ජෝන් හර්ඩ් පසුගිදා අවසන් ගමන් ගියා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 72 ක්. ප්‍රාණය නිරුද්ධ වූ ඔහුගේ සිරුර සොයා ගෙන ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පාලෝ ඇල්ටෝ ප්‍රදේශයේ පිහිටි හෝටලයක කාමරයක් තුළදීයි. හර්ඩ් පසුගිය කාලයේ ශල්‍ය කර්මයකට මුහුණ දුන්නා. ඒ, ඔහුගේ පිටකොන්ද ප්‍රදේශයේ තිබුණු අසනීපයක් සුවකර ගැනීමටයි. සැත්කමෙන් පසුව ඔහු සුවය ලබමින් සිටි බවයි පැවසෙන්නේ.

1945 මාර්තු 07 දා වොෂින්ටන් හි දී උපත ලද හර්ඩ්, සිනමා රංගනයට පිවිසීඹට පෙර සිනමා ශාලාවක සේවය කළා. රසික ජනතාව අතර හෙතෙම වඩාත් ජනප්‍රිය වූයේ ‘හෝම් අලෝන්’ සහ ‘හෝම් අලෝන් 2 : ලොස්ට් ඉන් නිව්යෝක් යන චිත්‍රපටවල ප්‍රධාන චරිතය වූ කෙවින් නම් වූ දරුවාගේ පියා ලෙස රඟපෑමෙන්. (කෙවින් ලෙස රඟපෑව් මැකියුලේ කුල්කින්) ‘බීට්වීන් ද ලයින්ස්’, ‘හාට් බීට්’, ‘කටර්ස්වේ’ සහ ‘බිග්’ යන චිත්‍රපටවල ද රඟපෑ හර්ඩ්, 1999 දී ‘ද සොජරනෝස්’ නම් වූ ටෙලි නාට්‍ය මාලාවේ රඟපෑමෙන් එම වසරේ ‘එමි’ සම්මානයක් සඳහා ද නිර්දේශ වූවා.

ඇන්ජලීනාට තවත් දරුවෙක්

බ්‍රැඩ් විට් ගෙන් ඈත්වූ ඇන්ජලිනා ජොලීට නැවතත් ඔහු වෙතට සමීප වන්නට අදහසක් නැතිව වගෙයි. මේ සුපිරි තරුව දැන් වෙනත් අයකු සමඟ හාදකම් පවත්වනවාලු.

ඇන්ජලිනාට සමීප වී සිටින මේ අලුත් හිතවතා ගේ නම වම හෙළිවී නැහැ. ඔහු කෙබඳු වෘත්තියක නියැලී සිටින අයකු ද යන වග නම් හෙළිවී තිබෙනවා. ඔහු, ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උසස් අධ්‍යාපනය ලද අයෙක්ලු. සමාජ සේවයට වඩාත් ලැදි කෙනකු හැටියටත් හඳුන්වනවා. ජීවිතයේ පස් වැනි දශකය ගෙවමින් සිටින මේ හිතවතා විවාහ වී සිටි අයෙක්. ඒත් ඔහු තම බිරිඳගෙන් වෙන්වී වාසය කරනවා. මුලදී ඇය, ඔහුගෙන් නිත්‍යනුකූලව වෙන්වීම ප්‍රතික්ෂේප කළත් මේ වන විට ඒ සඳහා කැමැත්ත පළ කර තිබෙනවා. ඒ නිසා, දැන් ඇන්ජලිනාගේ උත්සාහය ඔහුට දාව දරුවකු බිහි කරන්නටයි. මේ දරුවා බිහි කරන්නේ ඇන්ජලිනාගේ ම කුසෙන් නම් නොවෙයි. දෙදෙනාගේ ම ලෙයින් මසින් හැදීමට බලාපොරොත්තු වන මේ බිලිඳා කුස දරා ගන්නේ වෙනත් කාන්තාවක් බවයි ආරංචි වල සටහන් වන්නේ.

ට්විටර් ප්‍රහාරය දරුණුයි

ක්‍රිස්ටින් ඩියෑන් ටීජන් හෙවත් ක්‍රිසි ටීජන් ලෙස නමක් දිනා සිටින 31 වියැති මේ සුරූපිනිය, හොලිවුඩ්පුරයේ ජනප්‍රිය නිරූපිකාවක්. මෑතකදී ඇගේ ට්විටර් පිටුව සහ ඇමරිකානු ජනාධිපති ‍ඩොනල් ට්‍රම්ප්ගේ ට්විටර් පිටුව අතර තිබුණු පණිවුඩ හුවමාරු කිරීමේ ඉඩකඩ ඇහිරී ගිය බවයි ආරංචි. එයට හේතුව, දිගින් දිගට ම ඇය විසින් ඇමරිකානු නායකයාට විරුද්ධව පණිවුඩ යැවීමයි.

ක්‍රිසි, තම ට්විටර් පිටුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙතට යැවූ පණිවුඩවල ගැබ්වී ඇත්තේ දරුණු වචන රැසක්. එක් පණිවුඩයක ඇමරිකානු ජනාධිපතිවරයා වර්ගවාදියකු ලෙස හඳුන්වා තිබෙනවා. ‘වර්ගවාදී... යන පදයත් සමඟම සතකුගේ නමක් ද ඇය විසින් සටහන් කරන ලද බවයි පැවසෙන්නේ. තවත් එවැනි ම යෙදුම් ඇය සඳහන් කර තිබෙනවාලු. ට්‍රම්ප් ගේ දේශපාලනය මුළුමනින් ම අසත්‍ය කරුණු වලින් ගොඩනැඟී ඇති බවද ක්‍රිසි සඳහන් කර තිබෙනවා. ක්‍රිසි ට මින් මතුවට ඔහුගේ ට්විටර් පිටුවට පණිවුඩ යැවීම අත්හිටුවා ඇත්තේ මෙන්න මේ යෙදුම් සහ අදහස් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උදහසට ලක්වීම නිසායි. 

Comments