ළම­යින් වෙනු­වෙන් ම සින­මා­වක් හැදෙන්න ඕනෑ | සිළුමිණ

ළම­යින් වෙනු­වෙන් ම සින­මා­වක් හැදෙන්න ඕනෑ

මං කලා ලොවට එකතු වන්නෙ පෑලදොරින් ටෙලිනාට්‍ය හරහා. හරියටම කිව්වොත් අනූව දශකයේ මුල් භාගයේ අනුර මාධව ජයසේකර අධ්‍යක්ෂණය කළ එම ටෙලි සිතුවමේ දෙවැනි සහාය අධ්‍යක්ෂ වුණේ මම. සංස්කරණ ශිල්පියකු වන්නට ආසාවෙන් පසු වූවත් මට නතර වන්නට වුණේ වෙනමම තැනක. අද වන විට මං මට හිමි වූ අංශයෙන් බොහෝ දුර ඇවිත්.

එලෙස කතාබහට එකතු වුණේ වසර විසිපහකට අධික කාලයක් සහාය අධ්‍යක්ෂවරයකු ලෙසට නමක් දිනාගත් ප්‍රියන්ත පතිරගේ. මේ වන විට ඔහු සිනමා අධ්‍යක්ෂණයට ද පිවිසිලා. ‘පුංචි අපිත් බය නෑ දැන්’ සිනමාපටයයි ඔහු කුලුඳුලේ අධ්‍යක්ෂණය කළ නිර්මාණය.

“මෙය ළමා සිනමාපටයක්. කාලයක් තිස්සෙ මගෙ හිතේ තිබුණා හොඳ ළමා චිත්‍රපටයක් කරන්න. විජයසිරි මල්ලිකාරච්චි නමැති පිටපත් රචකයාගෙන් මට විඳිය හැකි පිටපතක් ද ලැබුණා. ප්‍රියජනක ගමගේ සහ සන්දීප් සන්රාජ් චිත්‍රපටය නිෂ්පාදනය කළා. ඒ කාලයේ මං මුතුහර ළමා සමාජයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කළා. ඇල්පිටිය අපේ ගමේ දක්ෂතාවයන් ඇති ළමයින්ව මගෙ මැදිහත් වීමෙනුයි මුතුහරට යැව්වේ. ඔවැනි කටයුතු නිසා මා ළමා මනස හොඳින් හඳුනාගත්තා. ළමා ගීත අහන්නත් පෙලඹුණා. ඉතින් කවදාහරි මං කරන පළමු නිර්මාණය ළමයින් වෙනුවෙන් දායාද කරන්න හිතාගත්තෙ ඒ අභාසය නිසයි.

ග්‍රීස් යකුන් පිළිබඳ භීතිකාවක් පසුගිය දිනවල ඇතැම් ගම්මානවල තිබුණා. ඇතැමුන් එය මිථ්‍යාවක් බව ද සඳහන් කොට තිබුණා. පුංචි අපිත් බය නෑ දැන් සඳහා පාදක වන්නේ ද එලෙස ගම බියවද්දන ග්‍රීස් යකකු පිළිබඳ කතා පුවතක්. නමුත් එම මිථ්‍යාව බොරුවක් බව ප්‍රියන්ත මෙම සිනමාපටය තුළින් ඒත්තු ගන්වනවා.

නිර්මාණයකදී සහාය අධ්‍යක්ෂවරයකුගෙ භූමිකාව තුළින් කෙරෙන කාර්යය සුළුපටු නැහැ. වසර විසිපහකටත් අධික කාලයක් ප්‍රියන්ත නිර්මාණ රැසක සාර්ථකත්වය පිටුපස සහාය අධ්‍යක්ෂවරයකු ලෙසට තම කාර්යය මනාව ඉටුකළා.

“මං ටෙලිවිව් ආයතනයේ පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව නිතර එහි ආවා ගියා. ඔය අතරතුරදී තමයි ටෙලිවිව් අධිපති සුනිල් රත්නායක මහත්මයා මට ක්ෂණිකව ‘පෑල දොරින්’ නාට්‍යයෙහි දර්ශන තලයට යන්න කියන්නෙ. ඒ වෙලාවේ මං ගාව අතිරේක ඇඳුම් තිබුණෙවත් නැහැ. නමුත් තිබෙන ආසාවට මං එවලේම එතැනට ගියා. ඒ වෙලාවේ පටන් අද දක්වා සහාය අධ්‍යක්ෂවරයකු ලෙසට කටයුතු කරනවා. කලක් දෙවැනි සහාය අධ්‍යක්ෂවරයකු ලෙසින් ද දායකත්වය සැපයුවා. වියරු ප්‍රාර්ථනා, ඉරහඳ යට, පළමු පත්වීම, ආදරවන්තයෝ වගේ ටෙලි නාට්‍යවලත් ටිකිරි සුවඳ, සර් ලාස්ට් චාන්ස් ඇතුළු චිත්‍රපට ගණනාවකත් මං සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළා. උදයකාන්ත වර්ණසූරිය සහ එරංග සේනාරත්න යන අධ්‍යක්ෂවරුන්ගේ බොහෝ නිර්මාණවලට කතා කළේ මට ඒක සතුටක්.”

මේ වන විට ප්‍රියන්ත තවත් ළමා චිත්‍රපට දෙකක පිටපත් සකස් කරමින් සිටිනවා. ඊළඟ නිර්මාණයක් ළමයින් වෙනුවෙන් දායාද කරන්නයි ඔහුගේ අපේක්ෂාව. ළමයින් කියන්නෙ රටේ සම්පත. ඔවුන් වෙනුවෙන් සාහිත්‍යයක් අපේ රටේ තියෙනවා. මං හිතන්නෙ ළමයින්ට සිනමාවකුත් හැදෙන්න ඕන කියලා. පහුගිය කාලෙ කඩින්කඩ ළමා චිත්‍රපට හැදුණත් මේ වන විට බහුතරයක් ළමා චිත්‍රපට නිර්මාණය කිරීම සතුටක්. ළමයි වෙනුවෙන් නිර්මාණ කරන්නට හැමෝටම බැහැ. ඒ වගේම දර්ශන තලයකදී ළමයින්ව හසුරවන්නත් හොඳ ඉවසීමක් තිබිය යුතුයි.

ප්‍රියන්ත පතිරගේ අපූරු ක්‍රමෝපායන් කිහිපයක් පාවිච්චි කරලා තියෙනවා පුංචි අපිත් බය නෑ දැන් සිනමා පටයේ රූගත කිරිම් කරද්දී එහි ළමා නළු නිළියන්ව හසුරවන්න. ඔහුගේ වචනවලින්ම සඳහන් කළොත් මෙන්න මෙහෙමයි.

අපි ෂූටිං කළේ කිතුල්ගල කැලෑවක. කැලෑව ඇතුළේ පහසුකම් අඩුයි. මං ඒ බව දැනගෙන පෙර සූදානමක් ඇතුව ගියෙ. ප්‍රථමාධාර පෙට්ටියක් ළඟ තියාගත්තා. ඒ වගේම ළමයින්ට නිතරම බඩගිනි වෙනවනෙ. ඒ හින්දා බිස්කට් වර්ග බීම ජාති අරන් ගියා. බඩගිනි ආවද ෂූටිං නවත්වලා ඔවුන්ට කන්න බොන්න දුන්නා. විහිළු තහළු කළා. කේන්ති ගත්තෙ නැහැ. අවසානයේදී ළමයින් පිරිස උපරීම කැපවීමෙන් රඟපෑවා.

ප්‍රියන්ත අධ්‍යක්ෂවරයකු වුණත් සහාය අධ්‍යක්ෂණයෙහි නියැළීමට මැලිකමක් දක්වන්නේ නැහැ. අවසන් කොට ඔහු කිව්වේ ඒ ගැන.

“අධ්‍යක්ෂවරයකු ලෙසට නිර්මාණශීලීව යමක් කිරීමට මට හැකියාවක් තියනවා. ඒ හින්දයි ඒ අංශයට අත තබන්නට අපේක්ෂා කළේ. නමුත් මගෙ රැකියාව සහාය අධ්‍යක්ෂණයයි. එය මං අතහරින්නේ නැහැ. ඒ අතරතුරදී නිර්මාණයන් බිහි කරනවා.” 

 

Comments