සිනා කතා | සිළුමිණ

සිනා කතා

මෙහෙත් එහෙමයි

අරාබි රටක සේවයේ යෙදී සිටින ෂෙල්ටන් නිවාඩුවකට ලංකාවට පැමිණි අවස්ථාවක තම මස්සිනා වූ ලක්ෂ්මන් හමුවීමට ද පැමිණියේ ය.

“මෙහෙ වගෙ නෙමෙයි, මම ඉන්න අරාබි රටේ නීතිය බොහොම තදයි. හොරකමක් කරලා අහුවුණොත් උසාවියෙන් චුදිතයව ඉස්පිරිතාලෙකට යවලා අතක් කපනවා.” ෂෙල්ටන් තමා සේවය කරන මැදපෙරදිග රටේ වරුණාව උදම් අනමින් කීවේ ය.

“ඉතින් ඕක පුදුම වෙන්ඩ දෙයක් නෙමේ. මෙහෙදි නං කිසිම හොරකමක් කරන්ඩ ඕනෙත් නැහැ අත් කපනවා.

ඔය මොකක් හරි ලෙඩකට බෙහෙත් ගන්ඩ ඉස්පිරිතාලෙට ගියාම වැරැදි ඉන්ජෙක්ෂන් ගහලා ලෙඩ්ඩුන්ගෙ අත් කැපුව අවස්ථා මෙහෙත් තියෙනව නෙ.” ලකී සෝපහාසයෙන් යුතුව කීවේ ය.

 

මම ජ්‍යෙතිෂඥයෙක්

“මී හරකි, කතා කරන්ඩ කලින් ඔය මගෙ ලියන මේසෙ උඩ ලාච්චුව ඇරලා බැලුවේ නැද්ද? කඩේ යන්ඩ ඕනැ කරන සල්ලි ලාච්චුවේ දාලනෙ මම ආවේ.” සෙනෙවිරත්න තම දුරකථනයට ආ ඇමතුමට දත්මිටි කමින් පිළිතුරු දී වහා එය විසන්ධි කරනවා බස් රථයේ යාබද අසුනේ හිඳ බලා සිටි ප්‍රේමදාස විරිත්තමින් මෙසේ ඇසුවේ ය.

“ඒ කතා කළේ මහත්තයගෙ නෝනා නේද?”

“කොහොමද ඔහේ ඒක දැන ගත්තෙ.” නම් ගම් සඳහන් නොවූ දුරකථන ඇමතුම පිළිබඳව යාබද අසුනේ මඟියා කළ විමසුමෙන් විමතියට පත් සෙනෙවි විමසුවේ ය.

“මම ප්‍රසිද්ධ ජ්‍යොතිෂඥයෙක් නෙ මහත්තයා” ප්‍රේමදාස බුලත්කහට බැඳුණු දත්දෙපෙළ පෙන්වමින් කීවේ ය.

 

ඒකම ලොකු සේවයක්

“සිරිපාල, මොකද අයියෙ අපේ නාට්‍ය බල මණ්ඩලයට වුණේ? ඒ ගැන දැන් කිසිම කතාබහක් නොකෙරෙන හින්දයි මං මේ අහන්නෙ.” හෙක්ටර්, දුරකථන ඇමතුමක් ‍මඟින් නාට්‍ය සංගමයේ සභාපති අමතා විමසීය.

“අපේ උත්තරීතර මණ්ඩලයේ හුඟ දෙනෙකුට කතාකළාට මොනම දේකටවත් එන්ඩ ඒගොල්ලන්ට ඉස්පාසුවක් නෑ කියනවනෙ. ඒ ගොල්ලෝ ටෙලිනාට්‍යවල එරිලා.” සිරිපාල කීවේ කම්පා වෙමිනි.

“නාට්‍ය කලාවට මොකක් හරි සේවයක් කරන්ඩනෙ ඔය කොයි සංගමයත් පටන් ගත්තෙ. ඔය නාට්‍ය බල මණ්ඩලය ඔය විදියට ඉබේම අ‍හෝසි වෙනවනං, ඒකම වුණත් නාට්‍ය කලාවට ලොකු සේවයක්නෙ. ඒ හින්දා කමක් නැහැ.” හෙක්ටර් කීවේය.

ඒ හින්දා කමක් නැහැ

“අපේ හිටපු කර්තෘතුමා හදිසියෙම මළා ම මම පත්තරේට ලියපු කවිය රූපසිංහ මහත්තයා කියවන්ඩ ඇති නේද? මොකද ඒ ගැන හිතන්නෙ?” සිරිපාල රූපසිංහ මහතාට දුරකථන ඇමතුමක් තකහනියේ ම දුන්නේ ඒ පිළිබඳව විමසීමට ය.

“නෑ ඉතින්, එතුමා කොයිකාට වුණත් ඕනෑම දෙයක් පොල්ලෙන් ගැහැව්වා වගෙ මූණටම කියපු මනුස්සයනෙ. එතුමා මැරුණු හින්දා ඔය කවිය ගැන එහෙම මුකුත් කියන්ඩ පුළුවන් කමක් නැහැ නෙ. ඒ හින්දා කමක් නැහැ.” රූපසිංහ කීවේ ගුප්ත සිනාවක් පාමිනි. 

 

 

 

Comments