සතියේ මියු­සික් වීඩි­යෝව | Page 2 | සිළුමිණ

සතියේ මියු­සික් වීඩි­යෝව

හිනාවෙලා පෙර දිනක මට - ළං වුණෙත් ඔබමයි

තරහවෙලා පිටකෙනකු ලෙස-වෙන් වුණෙත් ඔබමයි

හීනයක් වගේ ලෝකයට මගේ-ඇවිත් ගියේ නුඹමයි

මම හිටිය තැනමයි..

ආදරෙන් ඔබ රැක බලා- මං හිටිය හින්දා

මා දමා හැර යයි කියා - දැනුණෙ නෑ කිසිදා

හීනයක් වගේ ලෝකයට මගේ- ඇවිත් ගියේ නුඹමයි

මං හිටිය තැනමයි....

යාළුවෙක්වගේ ඉමු කියා- වෙන්වුණේ පෙරදා

කොහොම ඉන්නද දිවිතුරා- නැතිව ඔබ අත මා

හීනයක්වගේ ලෝකයට මගේ-ඇවිත්ගියේ නුඹමයි

මං හිටිය තැනමයි...

සංගීතය-රදීශ් වැන්දබෝනා

පද රචනය-සජිත් වී.චතුරංග

ගායනය-ඉන්දික ලියනගේ

කැමරාකරණය, අධ්‍යක්ෂණය - දීපාංජන ගුණතිලක

නව පරපු‍රේ ගායන ශිල්පී ඉන්දික ලියනගේ ගයන නවතම ගීතය 'මං හිටිය තැනමයි 'මේ දිනවල රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වෙමින් පවතී.70 දශකයේ ගීතයට පෙම්බඳිමින් එම ගීත ගායනයට ප්‍රිය කරමින් ගායන ලොවට ප්‍රවිෂ්ටවූ ඉන්දික මෙවර තරුණ පරපුර ප්‍රියකරන වෙනස් ම ආකාරයේ ගීතයක් රසිකයන් වෙත ගෙන එයි .බලාපොරොත්තු බිඳවැටුණු තරුණයකුගේ සිතේ ඇතිවන විරහ වේදනාවත්, බලා පොරොත්තු බිඳවැටුණු විට නොසිතූ අයුරින් සිදුවන ජීවිත විනාශයත් මෙම ගීතයෙන් කියැවේ.එයටම සරිලන සංගීතයත්, නිරූපණයත් හේතුවෙන් ගීතයෙහි අලංකාරය තව තවත් වැඩි වී ඇති බව ගීතය රසවිඳීමේඳී පෙනීයයි. මේ ගීතයේ කලා අධ්‍යක්ෂණය උපුල් කුමාරගෙනි.නිරූෂාන් ඒකනායක හා ප්‍රබෝදි කෞෂල්‍යාගේ රංගනයෙන් ගීතයෙහි අලංකාරය තව තවත් අලංකාර කරයි.

අළුත්ගම, දර්ගානගරය වරාපිටිය කනිෂ්ට විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලයෙන් ජීව විද්‍යා අංශයෙන් උ.පෙළ හදාරා ඇති ඉන්දික නැසීගිය ගායන ශිල්පී මර්වින් පෙරේරා මහතා යටතේ වාදනය සහ ගායනය හදාරා තිබේ. 2006 වසරේ පැවැති අයි.ටී. එන්. ස්වර්ණ සම්මාන වැඩසටහනේ තරගකරුවන් දහස් ගණනක් අභිබවා දෙවැනි ස්ථානය ලබාගැනීමෙන් පසු ටෙලි නාට්‍ය තේමා ගී, හා ස්ව නිර්මාණ ගීත 50ක් පමණ ගායනාකර තිබේ.

වික්ටර් රත්නායක, රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ, සමන්ත පෙරේරා, එඩ්වඩ් ජයකොඩි, රෝහණ ධර්මකීර්ති, නාලක අංජන, මර්වින් පෙරේරා,මහින්ද බණ්ඩාර යන ප්‍රවීණයන් ඉන්දිකගේ ගීත සඳහා සංගීත නිර්මාණය කර ඇත. පියල් ජයසංක, වජිර ඩී.රත්නායක වැනි ප්‍රවීණයන්ද ඉන්දිකගේ ගායන දිවියට මහත් රුකුලකි.'මං හිටිය තැනමයි' ගීතයට මේ දිනවල අන්තර්ජාලය හරහා ලැබෙන ප්‍රතිචාර ඉහළ බවත් ඒ අතරින් විදේශ රටවල සිටින ලාංකිකයන් හා තරුණ, තරුණියන්ගෙන් වැඩි වශයෙන් ප්‍රතිචාර ලැබෙමින් පවතී. මෑත කාලයේ නිතර දෙවේලේ අසන්නට ලැබෙන වැළපුම් ගීතයක් නොවී රසිකයන්ට දැනෙන වින්දනාත්මක ගීතයක් ගායනාකරන්න ලැබීම ගැන සතුටුවන බව ඉන්දික පවසයි. 

Comments