
යුද පිටියේදී දිවි බේරා ගැනීමෙන් ලැබූ ජයග්‍රහණය
ඔවුනගේ අවිය වූයේ බලාපොරොත්තුවයි. දිවි බේරා ගැනීම ලබන එකම ජයග්‍රහණය විය. දෙවැනි ලෝක යුද්ධයෙන් ලොව ගිනි ගනිද්දී ඩන්කර්ක් වෙරළ තීරයට කොටුවුණු බෙල්ජියමේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සහ ප්‍රංශයේ මිතුරු හමුදාව ගුවනින්, සයුරින් සියලු උපක්‍රමයක් ම භාවිත කරමින් ක්‍රමයෙන් ඉවත් වීම ‘ඩන්කර්ක්’ (Dunkrik) සිනමා පටයේ සංක්ෂිප්ත කතා පුවතයි.
වර්ෂ 1940 මැයි මාසයේදී සැබෑවටම සිදුවූ මේ ඓතිහාසික මෙහෙයුමේදී පුද්ගලයන් තුන් ලක්ෂයකට වැඩි පිරිසක් දින අටකදී බේරා ගැනිණි. ‘ඩන්කර්ක්’ යුදමය සිනමා පටයේ පිටපත, සම - නිෂ්පාදනය මෙන් ම අධ්‍යක්ෂණය ක්‍රිස්ටෝපර් නෝලන්ගේ ය . ක්‍රිස්ටෝපර් නෝලන් යනු විසි එක්වැනි සියවසේ බිහිවූ අති විශිෂ්ට සිනමාවේදියකි. ෆාලොවිං (1998) සිනමාපටයෙන් ඇරැඹි ඔහුගේ සිනමා නිර්මාණ චාරිකාවේදී ක්‍රිස්ටෝපර්ගේ සිනමාපට අතරින් දහයක් ම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4 ඉක්මවා තිබේ. ඔස්කාර් සම්මාන 26 ක් සඳහා ඔහුගේ නිර්මාණ නිර්දේශ වී ඇති අතර දිනා ඇති සම්මාන ගණන හතකි. මනෝවිද්‍යාත්මක, සමාජීය හා වාර්ගික සංකල්පයන් මුල් කරගෙන නිර්මාණ බිහි කරන ඔහුගේ නවතම සිනමාපටය ‘ඩන්කර්ක්’ ට මේ වනවිට ප්‍රේක්ෂක, විචාරක පැසසුම් අඩුවක් නැතිව ලැබී තිබේ.
නෝලන්ගේ ඩාර්ක් නයිට්, ඉන්සෙප්ෂන් සහ ඉන්ටර්ස්ටෙලර් සිනමා පට මාලාවට පසු නිර්මාණය වුණු ‘ඩන්කර්ක්’ ඔහුගේ තවත් විශිෂ්ට සිනමා නිර්මාණයක් බව විචාරක මතයයි. මෙය ඔහුගේ අග්‍ර සිනමා පටය ලෙස නම් නොකරන්නේ ඉදිරියටත් ඔහුගේ වඩාත් උසස් නිර්මාණ නැරඹීමට ඇති කැමැත්ත නිසාය.
සත්‍ය සිදුවීමක් ඇසුරින් සිනමා නිර්මාණයක් කිරීමේ දැවැන්ත අභියෝගය භාරගත් ඔහු ඉතිහාස කථාවට නව අර්ථ කථනයක් දෙමින් සපුරා වෙනස්ම ආකාරයේ යුදමය සිනමාපටයක අත්දැකීමක් ලබාදීමට උත්සාහ කළේය. නෝලන්ගේ ‘ඩන්කන්’ යුදමය සිනමා පටයක් ලෙස හැඳින්වීම දුෂ්කරය. සත්‍ය වශයෙන් ම එහි ජීවමාන කෙරෙනුයේ සතුරු රුදුරු අවිවලින් ජීවිත බේරාගෙන නිවෙසට යාමට වෙරදරන උත්සාහයයි.
සිනමා පටයේ කුමන ජවනිකාවකදීවත් හිට්ලර් දැකිය නොහැකිය. ජර්මන් ජෙනරාල්වරුන්ගේ අණදීම් ද ඉතා විරලය.
ඩන්කර්ක් රූගත කිරීම 2016 මැයි මාසයේදී ප්‍රංශයෙන් ඇරැඹි අතර අවසන් වූයේ ලොස් ඇන්ජලීස් වලිනි.
ප්‍රවීණ ‘ඒ’ කාණ්ඩයේ තරු තම සිනමා පටවලට යොදා ගන්නා නෝලන් මෙහි ප්‍රධාන තරුව ‘ටොම්’ චරිතයට තෝරා ගන්නා ලද්දේ පුංචි තිරයේ ‘හිම්’ නාට්‍ය මාලාවෙන් දස්කම් පෑ විසි හැවිරිදි ෆියෝන් වයිට්හෙඩ්ය. මාස ගණනක් පුරා ඔහු චරිතයට සුදුසුදැයි කියා බැලීමට පරීක්ෂණ ගණනාවක් කර තිබේ. පීටර් ලෙස රඟන ටොම් ග්ලින් - කානේගේ ද පළමු සිනමා අත්දැකීම ‘ඩන්කර්ක්’ ය. ඉන් පෙර ඔහු සම්බන්ධ වී තිබුණේ රූපවාහිනී සහ වේදිකා නිර්මාණ කිහිපයකට පමණි. රාජකීය ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු ලෙස රඟන ජැක් ලෝව්ඩ්න් සම්මානනීය සිනමා නළුවෙකි. විසිහත් හැවිරිදි ඔහු අන්තර්ජාතික වශයෙන් ජනාදරයට පත්වූයේ ‘වෝ ඇන්ඩ් පීස්’ රංගනයෙනි. ගායකයකු ලෙස ද ප්‍රකට හැරී ස්ටයිල්ස්ගේ පළමු සිනමා රංගනය ‘ඩන්කර්ක්’ ය. ඔහු ද විසිතුන් හැවිරිදිය. ඇනියුරින් බර්නාඩ්, ජෙම්ස් ඩි ආකි (කොලෝනල් වින්නට්), බැරී කියෝගන් (ජෝර්ජ්), කෙනත් බ්‍රනාග් (කමාන්ඩර් බෝල්ටන්), ටොම් හාඩි (ෆැරියර්), මාර්ක් රයිලන්ස් (මිස්ටර් ඩෝසන්), සීලියන් මර්ෆි (මානසික පීඩනය නිසා රෝගි වූ සොල්දාදුවා) ආදී රංගන ශිල්පීහු රැසක් ‘ඩන්කර්ක්’ සිනමා පටයට රංගනයෙන් දායක වී තිබේ. ඔහු එතරම් ප්‍රකට නැති ළාබාල තරුණයන් යොදාගෙන ඇත්තේ අත්දැකීම අඩු සොල්දාදුවන්ගේ චරිත සඳහා එවැනි නළුවන් වඩාත් සුදුසුයි කියා සිතන නිසයි. එහෙත් ඔහු 2016 දී හොඳම සහාය නළුවා ලෙසින් ඇකඩමි සම්මානයට නිර්දේශ වූ ටොම් හාඩ් සහ මාර්ක් රයිලන්ස් ද සිනමා පටයට යොදා ගත්තේය. එහිදී මාර්ක් රයිලන්ස්ට හොඳම නළුවා ලෙසින් ‘බ්‍රිජ් ඔෆ් ස්පයිස්’ සඳහා සම්මානයට පාත්‍රවිය. ඔස්කාර් සම්මානලාභී මයිකල් කේන් ද මෙහි සුළු චරිතයක් නිරූපණය කරන අතර ඔස්කාර් නිර්දේශිත කෙනත් බ්‍රනාග් ද රංගනයෙන් දායකවී තිබේ. සිනමාපටයේ කතා කරන කාන්තා චරිත ඇත්තේ දෙකක් පමණි.
නෝලන්ට ඩන්කර්ක් දළ බොක්ස් ඔෆිස් ආදායම සියයට 20ක් වීමට පෙරදීම ඩොලර් මිලියන 20 ක ගෙවීමක් ලැබී තිබේ. එතරම් විශාල ගෙවීමක් ලද අනෙක් එකම අධ්‍යක්ෂවරයා කිං කොං (2005) අධ්‍යක්ෂ පීටර් ජැක්සන්ය.
ඩන්කර්ක් සිනමා පටය පිළිබඳ මූල බීජය අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ සිතේ රෝපණය වී තිබෙන්නේ මීට විසිපස් වසරකට පෙරය. ඔහු බිරිය (එවකට පෙම්වතිය) එමා තෝමස් සමඟ ඉංග්‍රීසි ඇළ ඔස්සේ ඩන්කර්ක් කරා යන විට සත්‍ය සිදුවීම ඇසුරින් සිනමා පටය නිර්මාණය කිරීම පිළිබඳ සිත පහළවී තිබේ. නෝලන්ගේ සිනමා තිර රචනය පිටු හැත්තෑ හයකට සීමාවූ අතර මෙය අද දක්වා ඇති ඔහුගේ කෙටිම තිර රචනයයි. මෙයි යථා දර්ශන වැඩි නිසා දෙබස් අඩුවෙන් තිබීම ඊට හේතුවයි.
කථාව සත්‍ය වුවත් නෝලන් ප්‍රබන්ධ චරිතවලින් සහ ගොඩබිම, මුහුද, ගුවන යන යථා දර්ශනවලින් සිනමා සිත්තම ගෙත්තම් කෙරුවේය.
සිනමා පටයේ සංගීතය හෑන්ස් සිමර්ගෙනි. සිමර් සිනමා පටයේ ශබ්ද පථය (soundtracks) නිර්මාණයේදී නෝලන්ගේ සාක්කු ඔරලෝසුවේ නාදය ද මුසුකර ඇත.
‘ඩන්කර්ක් ජීවිත බේරා ගැනීමේ යුද්ධය දෙවැනි ලෝක යුද සමයේ අත්‍යවශ්‍ය අවස්ථාවක් ලෙස නෝලන් දක්වයි. සෙබළුන්ගේ ඉවත් වීම සාර්ථක නොවුණා නම් එය ලෝකය ම පරාජය වීමක් ලෙස ඔහු දකියි. එසේ වූවා නම් ජර්මනිය නිසැකවම යුරෝපය යටත් කරගන්නා බවත් මෙය හමුදාවකට පරාජයක් වුවත් මානව වර්ගයා ලත් සුවිශාල ජයක් බවත්, නෝලන් පවසන්නේය. ඒ ජය ‘ඩන්කර්ක්’ සිනමා පටය ද ලබා අවසන්ය.
අයිඑම්ඩීබී (IMDB) දර්ශකයට අනුව 8.6/10 ද රොට්න් ටුමැටෝස් අනුව 93%කද මෙටාක්‍රිට්ක් අනුව 94% ක විචාරක මනාපය මිනිත්තු 106 ක් පුරා දිග හැරෙන ඩන්කර්ක් සිනමා පටයට හිමිවී තිබේ. සිනමාපටය ලොව පුරා ඉහළ ම ප්‍රේක්ෂක මනාපයක් දිනූ සිනමා පටයක් බවට පත්වී තිබෙන්නේ ඩොලර් මිලියන 234.1 කට වැඩි ආදායමක් ලබමිනි. සිනමාපටය වෙනුවෙන් නිෂ්පාදකට වැයවී ඇත්තේ ඩොලර් මිලියන සියයක් පමණි. මෙය වෝනර් බ්‍රදර්ස් පික්චර්ස් බෙදා හැරීමකි.
අන්තර්ජාලයෙනි.