
ප්‍රවීණ කලාකරු විජය නන්දසිරි අප අතරින් වියෝවී අගෝස්තු අටවැනිදාට වසරක් ගත වෙයි. ඔහු නැති වේදිකාවත්, සිනමාවත්, රූපවාහිනියත් අද පාළුවට ගොසිනි. මෙම ප්‍රවීණ කලාකරුවාගේ කතාවට, සිනහවට, රංගනයට පෙම්බැඳි සුවහසක් රසික ජනතාව අදටත් විජය ගුණ සිහි කරමින් හඬා වැලපෙයි. ඔහු නැති අඩුව රසිකයන්ට මෙතරම් දැනෙනවානම් දරු, මුණුබුරන් කෙසේ නම් දරාගන්නද? ඔවුන් අදත් විජයගේ මතකයන් අතර ජීවත් වෙයි. විජය සමුගෙන වසරක් ගෙවුණු දා ඔහුගේ ප්‍රිය බිරිය දේවිකා මිහිරානි මෙවර අමතක නොවන මතකයන් අවදිකළේ මෙසේයි.
• මුල් හමු වීම සුදර්ශියේ දී
මගේ ගම නුගේගොඩ, අපේ පවුලේ අම්මා, තාත්තා ඇතුළුව සහෝදර සහෝදරියන් අට දෙනයි. විජය මහරගම.එයාගෙ පවුලෙත් අම්මා, තාත්තා සමග සහෝදර, සහෝදරියන් හත් දෙනයි. නුගේගොඩ අනුලා විදුහලේ අධ්‍යාපනය හැදෑරූ මම පුංචි කාලෙ සිටම නැටුමට, ගැයුමට දක්ෂ බවයි පවසන්නේ. මම උ.පෙ ඉගෙන ගන්න කාලෙ නැටුම් ඉගෙන ගන්න කොළඹ සුදර්ශි ශාලාවට පන්ති ගියා.අද වගේ මතකයි මම විජයව මුලින්ම දැක්කෙ, හඳුනගත්තෙ සුදර්ශි ශාලාවෙදි.ඒ 1974දි.ඔහුගේ කතාවට, ගතිගුණවලට ඔහු දුටු දා සිටම පෙම්බැන්දා.ඒත් ඒ බවක් පෙන්වුයේ නෑ. පසුව අප දෙදෙනා සයිමන්නවගත්තේගම මහතාගේ සුභ සහ යස නාට්‍යයේ එකට රඟපෑවා. විජය එහි ප්‍රධාන චරිතයක් කළා, මම පුංචි චරිතයකට පෙනී සිටියා. සුභ සහ යස නාට්‍යයෙන් පසුව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකයෙහි අප දෙදෙනාටම රඟපාන්න අවස්ථාව ලැබුණා. එහි මට ලැබුණේ කුඩා චරිතයක්.විජය මනමේ කුමාරයාට රඟපෑවා.එදා විජය වේදිකාවේ පෙළහර පාන අපූරුව මම පැත්තක සිට බලාගෙන සිටියේ හරිම ආසාවෙන්.ටික කලක් යනකොට අපි පෙම්වතුන් බවට පත්වුණා.
• වේදිකා නාට්‍ය හතරක් කළා
අප දෙදෙනා කලක් පෙම්වතුන්ව සිට1986දි විවාහ වන්නේ සියලු නෑදෑ හිතමිතරන්ගේ ආශිර්වාදය ලබමින්.විවාහ වී ටික කලකට පසු කුස පබාවතී, වෘෂභ රාජ, හාරත රැජින, ශ්‍රි ගජබා යන නාට්‍ය හතර නිෂ්පාදනයකළා. එහි ප්‍රධාන චරිත සඳහාද අප දෙදෙනාම පෙනී සිටියා. එයට අමතරව විජය සිනමාවේත්, රූපවාහිනියේත් පූර්ණ කාලීනව නිරතව සිටි නිසාවෙන් ජනප්‍රිය රංගන ශිල්පියෙක් බවට පත්වුණා. මම ලංකාවේ ප්‍රථම රූපවාහිනි ටෙලිනාට්‍ය වන දිමුතු මුතු හි රඟ පෑවා. අදටත් රූපවාහිනි ප්‍රථම ටෙලිනාට්‍ය නිළිය මමයි. එය මගේ ජීවිතයට ලැබුණු විශාල අත්දැකීමක් වගේම භාග්‍යයක්.එදා සිට මම රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළානම් අද ක්ෂේත්‍රයේ නැතුවම බැරි තත්ත්වයට පත්වෙලා.ඒත් දුව නවාංජනා මිහිරානි නන්දසිරිත්,පුතා රසාංජන නන්දසිරිත් වෙනුවෙන් රංගනයෙන් තරමක් දුරට ඉවත්ව සිටියා.විජයට හොඳින් කලාව කරගෙන යෑමට නිවෙසින් ලැබියයුතු නිදහස, සහයෝගය උපරිමව ලබාදුන්නා. දරුවන් වෙනුවෙන් කලාවෙන් ඈත්වුනා කියා ලොකු දුකක් දැනෙන්නේ නෑ.විජය පවුලට හොඳින් සලකමින්, අපේ අවශ්‍යතා හොඳින් ඉටුකළා. මම කලාවෙන් ඈත් වී ඔහුට කලාවෙන් ඉදිරියට යන්න අවශ්‍ය නිදහස,ලබාදීමේ ප්‍රතිඵලයක් තමයි විජය මියයන විට චිත්‍රපට 100ක පමණත්, වේදිකා නාට්‍ය 75ක, ටෙලි නාට්‍ය 75ක චරිත නිරූපණයකර තිබෙන්නෙ.විජය කියන කලාකරුවාගේ ඇතුළාන්තයේ සිටියේ ඉතාම සරළ නිහතමානි ගුණ ගරුක මිනිසෙක්. ඔහු පවුලට දක්වපු ආදරය කවදාවත් අමතක කරන්න බෑ. කුරුල්ලන්ට,පරෙවියන්ට,ලේනුන්ට සහ වෙනත් සතුන්ට අහාර දීම ඔහුගේ දෛනික ක්‍රියාකාරකමක් ලෙස සිදුකළා. ඔහුගේ මරණයෙන් පසුව මමත් ඒ ලෙසම ඒ සත්තුන්ට ආහාර දෙනවා. විජයගේ හොඳ ගතිගුණ හැමදාම අපි පිළිපදිනවා.
• ඇස් දෙක දන් දුන්නා
මුල් කාලයේ විජය රඟ පෑ සඳකඩ පහණ වැනි චිත්‍රපටවලට වඩා පසුකාලීනව රඟපෑ' නෝනාවරුණි මහත්වරුනි','යර්ස් බොස් 'වැනි නිර්මාණ රසිකයන් අතර වඩාත් ජනප්‍රියයි. හාස්‍ය රංගනයත් එක්ක විජය සතු වු ශෛලීගත නාඩගම් ශෛලය,ගායනය,නර්ථනය, වාදනය වැනි හැකියාවන්ගෙන් වැඩක් ගැනීම මගහැරුනාදැයි සැකයක් ඇතිවනවා. එහෙත් ඔහු අවසාන කාලයේ රඟපෑ ගිරිරාජ් කෞෂල්‍යගේ 'සිකුරුහතේ'සුහද කොකා' වැනි චිත්‍රපටවලට වැඩි කැමැත්තක් දැක්වුවා.ඒ රසිකයන් ඒවාට වැඩි කැමැත්තක් දැක්වු නිසයි.අවසාන කාලයේ එම චිත්‍රපටවලට රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන විජය හරිම සතුටෙන් කතාකළා. ඔහුගේ රංගන හැකියාව වරෙක දරමිටියකට සමානකර තිබුණා. ඒ විවිධ හැඩයෙන් යුක්ත දර එක්කර ගැටගැසු කළ මිටියක් වන්නාසේ නැටුමට, ගැයුමට, වැයුමට, රැඟුමට, ආදි විවිධ හැකියාවන්ගෙන් පරිපූර්ණ වු නිමැවුමක් ලෙස විජයව හදුන්වා තිබුණා.දනට පිනට කැමැති නිසාම අවසානයේ අපි විජයගේ ඇස්දෙක පවා දන්දුන්නා.
• වසරක් පිරෙන දා ලේ දන්දීමේ පින්කමක්
විජය සමුගෙන මාස හතේදි පමණ ඔහු රඟ පෑ කුස පබාවතී නාට්‍ය නැවත වේදිකාගත කළා. ඒ විජය රඟපෑ ජයම්පතී කුමරුගේ චරිතයට අප දෙදෙනාගේ පුත් රසාංජන යොදාගෙන. ඔහුගේ රංගන හැකියාව ගැන ගොඩක් දෙනෙක් පැවසුවේ විජයව ආපහු හැබැහින් දැක්කා වැනි හැඟීමක් දැනුණා කියල. අපේ නාට්‍ය නැවතත් වේදිකාගත කරන්න ඕනෑකම තදින්ම දැනුනත් ඒ සඳහා සරිලන ආර්ථික ශක්තියක් අපිට නෑ. ඒ නිසා ආසාව තිබුණට කරන්න විදිහක් නෑ.දුවගේ පුංචි දියණිය සහන්‍යා මිහිරානිට විජය පුදුම ආදරෙයි.අවසාන කාලයේ ඔහුගේ මුළු ලෝකයම වෙලා තිබුණේ ඇයයි. දුවගේ සැමියා චමින්ද ගුණරත්න කලාවට බෙහෙවින් ප්‍රිය කරනවා.ඔවුන් ඕස්ට්‍රේලියාවේ වාසය කරමින් අපේ රටේ කලා ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරනවා. අපි සියලු දෙනාම එක්වී විජය සමුගෙන වසරක් පිරුණ දා නෑ හිත මිතුරන්ගේ සහභාගිත්වයෙන් ගල්කිස්ස, කලාපුරයේ අපේ නිවෙසෙහි 08වැනි දින පෙරවරු9.00සිට ලේ දන්දීමේ පින්කමක්ද එදින සර්ව රාත්‍රි පිරිත් පින්කමක්ද පැවැත්වීමට කටයුතු සුදානම්කර තිබෙනවා.ලේ දන්දීමේ පින්කමට විජයට පෙම්බදින රසික රසිකාවියන්ට සහභාගිවෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.