
කුඹ ගස් සහිත රුවල් නැව් වර්තමානයේ අපි බොහෝවිට දකින්නේ චිත්‍රපට හා ටෙලි නාට්‍ය තුළිනි. අතීතයේදී අප රට පාලනය කළ රජවරුන්ට මෙවැනි නෞකා තිබූ බව අතීත පොත පතෙහි සඳහන් වේ. ඒවායේ නටඹුන්වත් දැන් දැක ගැනීමට නොහැකි වූවත් ලොව අන් රටවල මෑත අතීතයේ තැනූ රුවල් නෞකා පවතී. අද මෙම විශේෂාංගය වෙන්වන්නේ තවමත් නාවුක බලතල පවතින ලොව පැරැණිම යුද නෞකාව පිළිබඳව තොරතුරු ගෙන ඒමටයි. යුදමය කටයුතු වලින් විශ්‍රාමව කෞතුකාගාරයක් ලෙසින් වර්තමානයේදී සේවය කරන මෙම නෞකාව එදා තිබූ තත්වයෙන්ම අදත් අභිමානයෙන් පැවතීම එක අතකින් පුදුමයක් මෙන්ම සතුටට කරුණකි.
නමින් USS Constitution වන මෙම නෞකාව ඇමෙරිකානු නාවික හමුදාවේ මුල්ම පුරුකක් බව වර්තමානයේ මේ නැවෙහි අණදෙන නිලධාරියා වන රොබර්ට් ගෙරෝසා පවසනවා. පසුගිය සති අන්තයේ බොස්ටන් නගරයෙන් නැවතත් මුහුදට මෙම නෞකාව පිවිසියේ වසර දෙකක අලුත්වැඩියා කටයුතු වලින් අනතුරුවයි. සම්පූර්ණයෙන් දැවයෙන් නිමවා ඇති මෙම නෞකාව නිපදවා තිබෙන්නේ වර්ෂ 1797 දීයි.
ඇමෙරිකානු ජනපති ජෝර්ජ් වොෂින්ටන් විසින් නාවුක බල ඇණිය ආරම්භයේදී සෑදූ නැව් 6 න් දැනට ඉතිරි වී තිබෙන එකම නෞකාව මෙම USS Constitution නෞකාවයි. වර්තමානයේදී මෙය කෞතුකාගාරයක් ලෙසින් මහජන ප්‍රදර්ශනයට විවෘත කර තැබූවත් නැවෙහි ජල තලයෙන් පහළ කොටස් වල අලුත්වැඩියා කිරීම් කටයුතු සඳහා මෙය බොස්ටන් වරාය වෙත රැගෙන විත් තිබුණේ වසර 20කට පසුවයි. නැව් බඳෙහි ඝනකම අඩි 2 ක් වන අතර අලුත්වැඩියා කටයුතු වලදී එහි සමහර ලී වෙනුවට අලුතින් ලී එක් කර තිබෙනවා.
මෙම නෞකාවේ කෞතුකාගාරය භාර ඈන් ග්‍රිම්ස් රැන්ඩ් පවසා සිටින්නේ මෙවැනි යුද නෞකා එවකට සාදා තිබෙන්නේ වසර 10 කට 20 කට පමණක් වූවත් දැන් වසර 200 කට පසුවත් මෙම නැව තවමත් ඉතා හොඳින් තිබෙන්නේ නිරන්තරයෙන් එය ගැන සොයා බලා ආරක්ෂා කරන නිසා බවයි.
USS Constitution මෙම නෞකාවේ නම වූවත් ඇමෙරිකාවේ බොහෝදෙනා මෙම නෞකාව හඳුන්වන්නේ Old Ironsides යන සුරතල් නාමයෙනි. ක්වාසි යුද්ධයේදී ප්‍රංශය සමඟ හා කොල්ලකරුවන් සමඟ විවිධ අවස්ථාවලදී සටන් කර තිබෙන මෙම නෞකාව වඩාත්ම කැපී පෙනෙන සේවයක් ඉටුකර තිබෙන්නේ වර්ෂ 1812 දී එක්සත් රාජධානිය සමඟ පැවැති යුද්ධ කාලයේදීයි.
එම කාලයේදී වෙළෙඳ නැව් රැසක් අත්පත් කරගෙන තිබෙන අතර බ්‍රිතාන්‍ය යුද නැව් 5ක් පරදවා තිබේ. HMS Guerriere, Java, Pictou, Cyane හා Levant එම නෞකා 5 නම් වන අතර මේ අතරින් අවසානයට සටන් කරන ලද HMS Guerriere නෞකාව පැරදවීමෙන් පසුව ඇමෙරිකානු රචකයකු වන ජ්‍යෙෂ්ඨ ඔලිවර් වෙන්ඩෙල් හෝම්ස් විසින් මෙම නෞකාවේ වික්‍රමය පිළිබඳව ලියූ Old Ironsides නම් කවිය නිසා එම සුරතල් නාමය මෙම නෞකාව වෙත හිමිවී තිබේ.
මෙම USS Constitution නෞකාව ජෝර්ජ් වොෂින්ටන් ජනපතිතුමා විසින්ම නම් තබා තිබෙන කාල තුවක්කු 44 කින් සමන්විත නෞකා 4 න් එකකි. මෙය කාල තුවක්කු 38 කින් සමන්විත HMS Guerriere නෞකාව සමඟ මුහුණට මුහුණ සටන් කර තිබෙන අතර එහිදී HMS Guerriere නෞකාවේ ඉදිරිපස කොටස හා ප්‍රධාන කුඹ ගසට හානි සිදු කිරීමට සමත් වී තිබේ. පසුව USS Constitution නෞකාවේ කපිතාන් වරයා වූ ඉසෑක් හල් විසින් HMS Guerriere නෞකාවේ කපිතාන්වරයා වූ ජේම්ස් රිචඩ් ඇතුළු සොල්දාදුවන්ව තම නැවට ගෙන තිබෙන්නේ තව දුරටත් ලේ වැගිරීම නැවැත්වීමට කපිතාන් ජේම්ස් රිචඩ් යටත් වීම නිසායි.
මේ නිසා ඇමෙරිකානු කපිතාන් විසින් දැඩි ලෙස හානි වූ HMS Guerriere නෞකාවට 1812 අගෝස්තු 19 වැනි දින ගිනි තබා විනාශ කර තිබෙනවා. මෙම සටනින් පසුව USS Constitution නෞකාව විශ්‍රාම යැවීමට කටයුතු යොදන බව Boston Daily Advertiser පුවත්පතෙහි පලකර ඇත.මෙම පුවත දුටු ඔලිවර් වෙන්ඩෙල් විසින් කම්පාවට පත්ව ඉහත සඳහන් කළ කවිය ලියා බොස්ටන් ඩේලි ඇඩ්වටයිසර් පුවත්පතෙහි පළකර තිබෙන අතර පසු දිනම එම කවිය නිව්යෝක්, වොෂින්ටන් හා ෆිලඩෙල්ෆියා වැනි නගර වල පුවත්පත් වලද පල වී තිබෙනවා.
අද දිනය වන විටත් නෞකාව එදා තිබූ ලෙසින්ම දැක බලා ගැනීමට ලෝකයාට වරම් ලැබී තිබෙන්නේ ,එම කවිය වෙත ලැබූ විශාල ප්‍රතිචාරය නිසා USS Constituition නෞකාව ජාතික සංකේතයක් ලෙසින් ඉදිරියට ගෙන යාමට හා නාවික හමුදා සේවයෙහි දිගටම පවත්වාගෙන යාමට කටයුතු කිරීම නිසායි.