
මේ දවස්වල හරි හරියට තරුණ තරුණියන් 'මගේනේ' කියන වචනය මුමුණන්න පටන් අරගෙන තියෙනවා. ඒකට හේතුව වුණේ මෑතකදී එළිදැක්වුණු අලුත්ම ගීතයක්. අද අපි රසඳුන හැඩ කරන්න එකතු කරගත්තේ මේ ගීතයේ හිමිකාරයා.ඔහු සූර්යා දයාරුවන්. ගීතය ගැන වගේම අලුත් වැඩක් ලබන සතියේ පටන් ගන්නවා කියන ආරංචියත් දැනගන්න අපි සූර්යා සොයාගෙන ගිය ගමනේ ඔහු කියූ දේවල් එක්කයි අද තුන්වැනි පිටුව හැඩවෙලා තියෙන්නේ.
කාටද සූර්යා 'මගේ නේ ' කියලා කියන්නේ?
මෙහෙමයි 'මට මගේ නොවන ' කිය කිය ඉඳලා, 'මගේ නේ' කියලා කියනවා දැන්. හැබැයි ඉතිං ඒක සිංදුවට විතරයි. තාම මගේනේ කියලා කෙනෙක් හොයනවා.
කොහොමද අලුත් music video ට ලැබෙන ප්‍රතිචාර?
දැනට ලක්ෂ 10 ක් 12 ක් වගේ බලලා තියෙනවා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ music video එක තුළ වෙනස්ම ආදර කතන්දරයක් තියෙන්නේ. විශේෂ දෙයක් මේ නිර්මාණය තුළ තියෙනවා. මේක Dear Zindagi කියන චිත්‍රපටියේ Tu Hi Hai කියන ගීතයේ ආභාෂය අරගෙන නිර්මාණය වුණු එකක්. මට ඒකට ආසා හිතුණා. ප්‍රේක්ෂකයන්ට වෙනම රහක් දෙන්න පුළුවන් නිසා.
'මගේ නේ' ගීතයෙන් සුර්යා ආයේමත් හිට් වුණා නේ?
ඔව්. මම ප්‍රේක්ෂකයින් අතරට මුලින්ම එන්නේ මට මගේ නොවන මගේම ආදරයක් හරහා නේ. එකෙන් පස්සේ මම ආයේ ප්‍රේක්ෂකයන් අතරට ගියා. හැබැයි ඒ අතරතුර නිර්මාණ ගොඩක් කළා. චිත්‍රපට 3 ක් වගේම ටෙලි නාට්‍ය 10 ඉදිරියේදී එන්න තියෙනවා. මේ ගීතය හරහා ප්‍රේක්ෂකයින්ට ගොඩක් සමීප වුණා කියලා හිතෙනවා.
අද තියෙන රැල්ලත් එක්ක වෙනස්ම නිර්මාණයක් ඔස්සේ ගීතය නිර්මාණය කරන්න හිතුවේ ඇයි?
ආදරය කියන දේ එක එක විදියට නිර්වචනය, රූප රචනය කරන්න පුළුවන්නේ. ඉතිං අපිට හිතුණා ආදරය කියන දේ හැමෝටම දැනෙන විදියට කරන්න.මම රැල්ලට යන කෙනෙක් නෙමෙයි. මගේ අනන්‍යතාවත් රැකගෙන සමබරව නිර්මාණ කටයුතු කරගෙන යනවා. නිර්මාණයක් හොඳට කරලා, එකේ රහ විඳින්න දුන්නොත් ඒ දේ සාර්ථකයි කියලා මම හිතනවා. මම කිසිම දෙයක් හඹා ගෙන යන්නේ නැහැ.
ඉදිරියට යද්දී ප්‍රතිරූපය කියන දේ ගැන හිතනවද?
මම ඒ ගැන හිතන්නේ නැහැ. හැබැයි මම හොඳ විදියට ඉස්සරහට යන කෙනෙක් කියලා මම දන්නවා. ආපස්සට හැරිලා බලද්දී සතුටු වෙන්න පුළුවන් මට. මම ප්‍රතිරූපය හොඳ වෙන්න හිතාගෙන වැඩ කරන්නේ නැහැ. නරක දේවල් වලින් ඈත් වෙලා හොඳ දේවල් වලින්,හොඳ අධ්‍යාපනයත් එක්ක ඉදිරියට යද්දී හොඳ ප්‍රතිරූපයක් ඉබේටම හැදෙනවා.
මේ දවස්වල වැඩිපුරම කාලය ගෙවෙන්නේ සංගීත වැඩකටයුතු එක්කද?
නැහැ. ටෙලි නාට්‍ය දෙකක රූපගත කිරීම් මේ දිනවල සිදු වෙනවා. එකක් ෂර්ලි පී දෙලංකාවල අයියගේ 'හිතුවක්කාරී' කියන ටෙලි නාට්‍ය. ඒක Tv 1 නාළිකාව ඔස්සේ සැප්තැම්බර මාසය තුළදී විකාශය වීමට නියමිතයි. අනිත් එක 'පිනිදිය වැස්ස' කියන නිර්මාණයටත් සම්බන්ධවෙලා ඉන්නවා. සැප්තැම්බර මාසේ වෙද්දී මගේ දෙවැනි චිත්‍රපටය 'කාල' ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයි. ඒ චිත්‍රපටයේ තේමා ගීතයට සහ පසුබිම් ගායනයට සම්බන්ධ වෙන්නත් ලැබුණා. ඒ වැඩත් එකක් තමා වැඩිපුරම කාලය ගෙවන්නේ.
චරිතාංග නළුවෙක් විදියට ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද?
මම සීමාවන්ට කොටු වෙන්නේ නැහැ. ඇත්තටම මම කැමැති, චරිතාංග නළුවෙක් විදියට ඉස්සරහට යන්න. දැන් මේ යන ගමනත් එක්ක මේ වෙනතුරු ලැබුණු කිසිම නිර්මාණයක් ප්‍රතික්ශේප කරන්න බැරි වුණා. මොකද ආපු හැම නිර්මාණයක්ම හොඳ නිර්මාණ නිසා. මම නිර්මාණ පස්සේ පන්න පන්න යන්නේ නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් ඒ ගැන හොඳ අධ්‍යයනයක් කරලයි යන්නේ.
සූර්ය දැන් නිවේදන වෘත්තියටත් එන්න ඉන්නවා කියන කතාව මොකද්ද?
නිවේදන වෘත්තිය මම බලාපොරොත්තු වුණේ නැහැ. මම පුංචි කාලේ හිතේ කොනක වගේ ප්‍රවෘත්ති කියන්න ආසාවක් තිබුණා. පස්සේ පස්සේ music එක්ක වෙනම ගමනක් ආවා. හැබැයි මම හිතුවේ නැහැ නිවේදන පැත්තට යොමු වෙන්න. මට ජාතික රූපවාහිනියෙන් ආරාධනාවක් ලැබුණා 'අමුත්තා' කියන වැඩසටහන කරන්න. දවසක් මගෙන් කතා කරලා ඇහුවා,
'සූර්යා පුළුවන්ද මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ' මම කිව්වා, ඒක මට හොඳ අවස්ථාවක් කියලා මම වැඩේ භාර ගත්තා. විකුම් බස්නායක අයියා, විනොෂා අක්කා, රශ්මික ඇතුළු කට්ටිය එක්ක කරන ලොකු වැඩක්. අගෝස්තු 17 වැනි දා සිට සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 7 ට බලාගන්න පුළුවන්. ප්‍රේක්ෂකයන්ට, ලොකු පොඩි හැමෝටම ආරාධනා කරනවා අගෝස්තු 17 වැනිදා රාත්‍රී 7 ට ජාතික රූපවාහිනිය සමඟ එකතු වෙන්න කියලා.
ඔබ ගේ නිවේදන වෘත්තියේ ආරම්භය සිදු වෙන්නේ ජාතික රූපවාහිනියෙන්. හැමෝටම නොලැබෙන අවස්ථාවක් මේ දේ?
ඔව් ඇත්තටම. මම ඒ දේ නොපැකිලිව භාර ගත්තේ ජාතික රූපවාහිනියත් එක්ක තියෙන විශ්වාසය සහ වැඩසටහන්වල තියෙන වටිනාකමත් එක්ක. ඉතිං මේ ලැබුණු අවස්ථාව ගැන ලොකු සතුටක් තියෙනවා. මොකද නිවේදකයො ගොඩක් අපේ රටේ ඉන්නවා. ඒ අයටත් අවස්ථාව අඩු කාලෙක මට මේ ලැබුණු අවස්ථාව ඇත්තටම ලොකු දෙයක්.
මේ දක්වා කළ දේවල් එක්ක සූර්යා All Rounder කෙනෙක් කියලා කිව්වොත් පිළිගන්නවද?
All Rounder කෙනෙක් කියනවාට වඩා All Rounder වගේ කියලා කිව්වොත් හොඳයි.