දෙවන කුමාරි | සිළුමිණ

දෙවන කුමාරි

තනි මලක් අතට ගත්තොත් ඔය ලස්සන නෑ

අශ්විනී යන්තමින් හිස හරවා අසාර්ගේ මුහුණ දෙස බැලුවාය. ඔහුගේ දෙනෙත් වල වූයේ ආකර්ශනීය බැල්මකි. යෙහෙළියන් සමග පරිගණක පන්තියට ගිය මුල්ම දිනයේ දී පන්තියේ ඉදිරිපස අසුනක වාඩි වී සිටි අසාර් දුටු මුල්ම මොහොත ඇයට සිහි විය. පන්තියේ සිටි පිරිමි ළමයින් අතර ඔහු තුළින් පෙනුණු විශේෂත්වය දුටුවේ තමා පමණක් නොවන්නට ඇත. අශ්විනීගේ සමීපතම යෙහෙළිය වූ සජීවා තමාට වැළමිටෙන් ඇන දෑසින් අසාර් පෙන්වූ අයුරු ඇයට සිහියට නැගිණ.

“ඇයි?”

අශ්විනී සජීවාගෙන් ඇසුවේ දෑසිනි.

“වසීම් අක්‍රම්.”

සජීවා පහත් හඬින් පැවසුවාය.

“මොකා?”

ක්‍රිකට් ක්‍රීඩාව හෝ ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳව එකල හසරක් නොදැන සිටි අශ්විනී ඇසුවේ කුතුහලයෙනි. සජීවා සිනාසුණාය. තමා විහිළුවක් කළ කලෙක මෙන් සිනාසුණාය. ඇගේ සිනාහඬ ඇසුණු අසාර් ද පසුපස හැරී බැලූ අයුරු ෆියෝනාට සිහියට නැගිණ. ඔහුගේ ආකර්ශනීය දෙනෙත් මොහොතක් තම දෙනෙත් අසළ නතර විය. එදින සැන්දෑවේ නිවසට ගොස් අන්තර් ජාලය ඔස්සේ වසීම් අක්‍රම් යනු කවරෙක්දැයි සොයා බලන්නට තම සිත පෙළඹවූ හැඟීම ඔහු කෙරෙහි ක්ෂණිකවම පහළ වූ ආදරය නිසා ඇති වූවක්දැයි සිතන්නට අශ්විනී උත්සාහ කළාය.

“මොකද ඔය හැටි කල්පනාව?”

රොබරෝසියා මල් වැස්ස දෙස බලාගෙන කල්පනාවට වැටී සිටි අශ්විනී ඉන් මිදුණේ අසාර්ගේ කටහඬිනි.

“මුකුත් නෑ. අපි යමු.”

“මල් දිහා බලා හිටියා ඇද්ද?”

“ඇති. කොච්චර බලා හිටියත් එච්චරයි.”

“ඔහොම ලස්සනට පෙනුනට තනි මලක් අතට ගත්තොත් ඔය ලස්සන නෑ අශ්විනී.”

“අපි යමු.”

අශ්විනී නැවතත් ඉල්ලා සිටියාය. කතා බහකින් තොරවම අසාර් රිය පණ ගැන්වීය.

“මම එක දෙයක් අශ්විනීගෙන් අහන්නද?”

මඳ දුරක් ගමන් කළ පසු අසාර් ඇසූ අයුරු ෆියෝනාගේ මතකයට නැගිණ.

“එක දෙයක්? මොකක්ද?”

අශ්විනීගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. ඇය ඉවත බලා ගත්වනම සිටියාය.

“ඇත්තම කියන්න. ඔයා මට ආදරෙයි නේද?”

“මං දන්නෙ නෑ.”

ඇය පැවසුවාය.

“මං දන්නවා.”

“මොකක්ද?”

“ඒ උත්තරේ තේරුම. ඔයා මට ආදරෙයි. මං ඒක ඔයාගෙ ඇස් දෙකෙන් දැක්කෙ මීට මාස ගාණකට ඉස්සර අශ්විනී.”

ඒ මොහොත බෙහෙවින් අසිරිමත් මොහොතක් විය. අවට පරිසරයම දේදුනු පැහැති මුදු ආලෝකයකින් වැසීගියාක් මෙන් සුන්දරත්වයක් අශ්විනී ජීවිතයේ ප්‍රථම වරට දුටුවාය.

“මිස්. කන්දවත්ත පාර නේද?”

තමා පැමිණි කුලී රිය අධිවේගී මාර්ගයෙන් පිටතට පැමිණ බොහෝ දුරක් ගමන් කර ඇති අයුරු ෆියෝනා දුටුවාය. මෙතෙක් වේලාවක් අතීත සිතිවිලි අතර කිමිදෙමින් සිටි බැවින් අධිවේගී මාර්ගයෙන් පිටව යන මොහොතේ පවා තමාට එය නොදැනෙන්නට ඇතැයි ඇයට සිතිණ.

“මිස්ට නින්ද ගියා නේද? මං ඇහුවෙ මිස් කන්දවත්ත පාර නේද කියලා.”

රියැදුරා නැවතත් ඇසුවේය.

“ඔව්.”

“මිස්ගෙම ගෙවල්ද? නතර වෙලා ඉන්නවද?”

“අපේම ගෙදර.”

රියැදුරා නුගේගොඩ මංසන්ධියෙන් දකුණට මෝටර් රථය හැරවීය. තවත් වැඩි වේලාවක් යාමට පෙර නිවසට ළඟා වීමට හැකි වනු ඇත. අත් බෑගය තුළින් ජංගම දුරකතනය පිටතට ගත් ෆියෝනා නැවතත් අසාර්ට ඇමතුමක් ගැනීමට උත්සාහ කළාය. එහෙත් ඔහුගේ දුරකතනය පෙර පරිදිම ක්‍රියා විරහිතය.

“මොනවා වෙලාද මන්දා.”

ෆියෝනා තුළ ඇති වූයේ බියකි. අසාර්ට කිසියම් කරදරයක් සිදුවන්නට ඇත්දැයි ඇයට සිතිණ.

“නෑ. එහෙම වෙන්න බෑ. ගිය සතියෙත් මා එක්ක කතා කළානෙ.”

ඇය සිය සිත සමග තර්ක විතර්ක කළාය.

“සමහරවිට මා එක්ක තරහට ෆෝන් එක ඕෆ් කරලා ගේ ඇතුළට වෙලා ඉන්නවා වෙන්නත් බැරි නෑ. ඉක්මනින් එනවා කියලා ගියාට මං මාස තුනක්ම එහේ හිටියනේ.”

රියැදුරා විමසීමකින් තොරවම කන්දවත්ත පාරට රිය හැරෙව්වේය.

“කොයි හරියෙද මිස්?”

“ඔහොම යං. නිසල විල සංගීත ආශ්‍රමය ඉස්සරහ.”

“මං දන්නවා. අරවින්ද් සර්ගෙ සංගීත පන්තිය. මීට කලින් එතනට හයර් දෙක තුනක්ම ඇවිල්ලත් තියෙනවා.”

ෆියෝනා මඳ සිනා නැගුවාය. තම නිවස ඉදිරිපිට වූ සංගීත ආශ්‍රමය ඇයට සිහිවිය. අසාර් සතු නිවසට පැමිණ මෙතෙක් කලක් ගත වුව ද, සංගීත ආශ්‍රමයේ හිමිකරු සමග වචනයක් හෝ කතා කිරීමට අවස්ථාව නොලැබිණ. ඔහුගේ නම අරවින්ද් බව දැන ගැනීමට ලැබුනේද මේ මොහොතේය. පර්චස් අටක් පමණ වූ කුඩා ඉඩමෙහි තට්ටු දෙකකට තැනූ නිවාසයෙහි පහත මාලයෙහි සංගීත පන්තිය පවත්වාගෙන යන ඔහු උඩු මහළෙහි පදිංචිව සිටියේය.

තම නිවසෙහි උඩු මහලෙහි සිටිද්දී ඇතැම් දිනෙක තනිව ආහාර පිළියෙල කර ගන්නා අරවින්ද් දකින අසාර් සිනාසෙන ආකාරය ෆියෝනාට සිහි විය.

“අනේ පව්.”

විවෘත ජනේලයේ තිරය ඇද ජනේලය වසා දමන අසාර් පවසන අයුරු ෆියෝනාට සිහි විය.

“පව්. කවුද?”

“මිස්ට නිසල විල.”

නිතර ලා පැහැති කපු රෙද්දෙන් මසන ලද කුර්තාවකින් සහ කලිසමකින් සැරසී සිටින සංගීත ගුරුවරයා අසාර් හැඳින්වූයේ ‘මිස්ට නිසල විල’ යන අන්වර්ථ නාමයෙනි. එම නම මුවගට සිනාවක් නැවුව ද, නිහඬ පුද්ගලයකු වූ ඔහුට එම නම ඔහුට අපූරුවට ගැලපෙයි.

“ඔන්න මිස් තැනට ආවා. මේකද ගෙදර?”

“ඔව්.”

රියැදුරා මෝටර් රියෙන් බැස ෆියෝනාගේ ගමන් බෑග් සියල්ල ගෙන පිටත තැබුවේය. මුදල් ගෙවූ ඇය රියැදුරාට ස්තුති කළාය. කුලී රිය පිටව යත්ම ඇය නොඉවසිල්ලෙන් ගේට්ටුව අසළට ගියාය. ගේට්ටුවෙහි පිටතින් ඉබ්බෙකු දමා ඇති බව බව ෆියෝනා දුටුවේ එම මොහොතේය.

ලබන සතියට... 

Comments