තුති මල් මිටක් | සිළුමිණ

තුති මල් මිටක්

 කලාවේ ආරම්භය දුර ඈත අතීතයේ සිදුවූවත් අපේ රටේ සිනමා කර්මාන්තය ඇරැඹිලා තවම ගෙවි ඇත්තේ දශක 6 ක් පමණයි. ගීත කලාවත් ඒ වගේම තමයි. ඉස්සර ග්‍රැමපෝන් තැටියකට ගීතයක් ගායනා කරන්න ලැබුණේ සීමිත ගායක ගායිකාවන් පිරිසකට පමණයි.

එහෙත් පසුකාලීනව කැසට් පට බිහිවීමත් සමඟම විශාල පිබිදීමක් ඇතිවී ගායක ගායිකවන් රාශියක් කල එළි දුටුවා. මේ අය අතරින් සීමිත කීප දෙනෙක් පමණක් ශ්‍රාවකයන්ට ඉක්මනින් ම අමතකව ගියත් බොහෝ දක්ෂයන් ඉතාමත් ලස්සන රසවත් ගී නිර්මාණ අපේ ගීත ක්ෂේත්‍රයට දායාද කළා. තාක්ෂණයේ දියුණුවත් එක්ක ඊළඟට ආවේ සංයුක්ත තැටිය.

සංයුක්ත තැටියේ ආගමනයත් එක්ක අලුත් ගී නිර්මාණ ඉදිරිපත් කරන්නට ප්‍රවීණ ශිල්පීන් මෙන්ම නව පරපුරේ ශිල්පීන් ශිල්පිනියන් පෙරමුණ ගත්තත් ව්‍යාජ නිෂ්පාදකයින් ( මොවුන් නිර්මාණ මංකොල්ලකරුවන් හොරුන් ලෙස හැඳින්වූවද වරදක්නොවේ ) නිසා එය කර්මාන්තයක් ලෙස පැවැතුණේ නැහැ. මේ නිසා නිර්මාණ ශිල්පීන් උකටලීවූ අතර ගීත රස විඳින්නන්ට අලුත් නිර්මාණ ඇසීමේ අවස්ථාවත් ඇසිරි ගියා.

නමුත් දැන් තත්වය හාත්පසින්ම වෙනස්. තාක්ෂණයේ දියුණුව සමඟ අද බොහෝ දෙනෙක් ගීත නිර්මාණ එළි දක්වන්නේ අන්තර් ජාලයෙන්.අන්තර් ජාලයෙන් , මෙන්ම ජංගම දුරකතන සඳහා රිංග් ටෝන් ගීත නිර්මාණය කර ලක්ෂ ගණන් මුදල් උපයන පිරිසක්ද අද ඉන්නවා. එහෙත් අදටත් අසා රසවිඳ ඇතිවිමක් නොවන ගීත නිර්මාණ වුණේ 70, 80 දශක වල බව කීවොත් කවුරුත් මා සමඟ එකඟ වේවි.

මොහිදින් බෙග්, ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා, එම්. එස්. ප්‍රනාන්දු, සී ටී ,මර්වින් පෙරේරා , වික්ටර් රත්නායක, දයාරත්න රණතුංග, අබේවර්ධන බාලසූරිය, සනත් නන්දසිරි මේ වගේ නම් සෑහෙන ගණනක් කියවගෙන යන්න පුළුවන්.

මේ අයගෙ මේ ගීත මේවිදියට ජනප්‍රිය වෙන්න, යුග ගණනාවක් රැඳෙන්න ඒ ගීත රචනා , ගී තනු සහ සංගීත නිර්මාණ හේතුවුණු බවත් කියන්නම ඕන.ඒ වගේම මේ නිර්මාණ ශිල්පීන් ශිල්පිනියන් හැම දෙනෙක්ම පාහේ මේ නිිර්මාණ කරල තියෙන්නේ මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් නම් නොවෙයි කියන එකත් විශේෂයෙන් සටහන් කරන්න ඕන.

මේ සටහන මේ විදිහට ආරම්භ කරන්නට හේතු වුණේ කැසට් පට ජනප්‍රිය වූ යුගයේ තරුණ සේවා සභාවෙන් බිහිවූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගේ රෝහල් බිල ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ මැදිහත්වීමෙන් ගෙවා දැමූ පුවත නිසායි. වසර දෙකක පමණ කාලයක් ප්‍රින්ස් රෝගීව සිට ඇති අතර අවිවාහක ඔහුව ජීවත් කරවා ගන්නට සොහොයුරිය දිවා රෑ නොබලා වෙහෙස වුණා.

ගේ දොර සියල්ල විකුණා දමා ප්‍රින්ස් වෙනුවෙන් වියදම් කර තිබුණා. අවසානයේ ප්‍රින්ස් මෙලොව හැර ගිය අතර රෝහල් බිල ලක්ෂ 29 ක් පමණ වුණා. මේ නිසා අසරණ වුණු ප්‍රින්ස් ගේ සොයුරියගේ පිහිටට ආවේ ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයයි. මෙහි සභාපතිත්වය දරන කීර්ති පැස්කුවල් මේ සඳහා මූලිකත්වය ගෙන තිබුණා.

ඒ සඳහා කමිටුවක් පත් කරගෙන තිබුණු අතර මධුමාධව අරවින්ද, ටිරෝන් මද්දුමගේ, නුවන්සමරසිංහ, සේනක උභයසිංහ, මෙම කමිටුවට පත්වී පසුගියදා ‘ආදරණීය ප්‍රින්ස්‘ ප්‍රසංගය පැවැත්වූවා. කලාව වෙනුවෙන් කැපවුණු පුවත්පතක් ලෙස රසඳුනත් මේ සඳහා උපරිම ප්‍රචාරයක් ලබා දුන්නේ මෙම සද්කාර්යයට දායකත්වය දැක්විම යුතුකමක් නිසා.

කෙසේ වෙතත් ප්‍රසංගය ඉතාමත් සාර්ථකවී බලාපොරොත්තු වූ මුදලටත් වඩා වැඩි මුදලක් ලැබී ඇති බව දැගන්නට ලැබුණා.ඒ අනුව රෝහල් බිල ගෙවා නිම කර ඉතිරි මුදල් අද වන විට රෝගාතුරව හා අසරණව සිටින කලාකරුවන් හය දෙනකුහට ප්‍රින්ස්ගේ නැඟණිය අතින්ම එම කලාකරුවන්ගේ ඥාතීන් වෙත ප්‍රදානය කළ බවත් දැනගන්නට ලැබුණා.

සංවිධායකවරුන්ගේ අරමුණ වුණේ ප්‍රින්ස් ණය කාරයකු නොවී මියගිය යුතුයි යන්නයි. ඒ සඳහා කලාවට ආදරය කරන, මේ රටේ ජනතාව එකතුවීම ඇත්තෙන්ම පැසසුම් කළ යුතුයි. මේ වගේම නාමල් උඩුගම ගායන ශිල්පියා වෙනුවෙනුත් කලාකරුවන් පෙරමුණ අරගත්ත හැටිත් ජනතාව ඒ සඳහා දායකත්වය ලබා දුන් හැටිත් අපට මතකයි.

මෙම ප්‍රසංගයට ගායක ගායිකාවන් 29 දෙනකු සහභාගි වන්නට සිටියත් දෙදෙනකු නොපැමිණි බවත් කියැවෙනවා. කෙසේ වෙතත් පිරිසක් එකට එකතු වුණාම කරන්න බැරි දෙයක් ලෝකයේ නැති බව මේ කාරණයේදි ඔප්පුවනවා. ඒ නිසා මෙම සද් කාර්යය සඳහා දායක වුණු සියලුම දෙනාට ස්තූතියි කියන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා.

කීර්ති අයියා හිත හොඳ මිනිසෙක්. තමන්ගේ ගීත ප්‍රිය කරන රසිකාවකගේ අවසන් මොහොතේ අවසන් ඉල්ලීම ඉටුකරන්නට ඇගේ මරණ මංචකය අභියස හිඳ ගීත ගායනා කළ ඒ සංවේදීජනක දසුන කිසිදා අපේ මතකයෙන් මැකී යන්නේ නැහැ.

රසඳුන සමඟ ඉතා සමීප බැඳීමක් තිබෙන කීර්ති පැස්කුවල් නම් සංගීතඥයාට, ගායන ශිල්පියාට, ගායක ගායිකා සංගමයේ සභාපතිවරයාට මේ උදාර කටයුත්තට මූලිකත්වය දුන්නාට විශේෂ ස්තූතියක් සටහන් කරන්නේ මෙවැනි සද්ක්‍රියා තව බොහෝ ප්‍රමාණයක් කරන්නට ඔහුට ශක්තිය ධෛර්යය පතමින්. 

Comments