ඉල­න්චේ­ලි­යන් මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­ර­යාගේ කතා වස්තුව | සිළුමිණ

ඉල­න්චේ­ලි­යන් මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­ර­යාගේ කතා වස්තුව

ඉන්ද්‍රචාපගේ සමීප රූප අතරට පහුගිය මාසෙ විසි ගණන්වල, විශාල සමීප රූප දෙකක් එකතු වෙනවා. එකක් පොලිස් සැරයන් කෙනෙකුගෙ. ජී. එම්. සරත් හේමචන්ද්‍ර (24330). අනිත් සමීප රූපෙ ඉන්න යාපනේ මහාධිකරණ විනිශ්චයකාර මානික්කවාසහර් ඉලන්චේලියන්. මුද්‍රිත මාධ්‍ය වගේම විද්යුත් මාධ්‍යවලටත් මුල් පිටුවට එකතු වන ප්‍රවෘත්තියක් වුණේ ජුලි 22 දා වගේ දවසක යාපනයේ නල්ලූර් කෝවිල ළඟදී මහාධිකරණ විනිශ්චයකාර ඉලන්චේලියන්ට එල්ල වුණු වෙඩි ප්‍රහාරයත් ඒ සිදුවීමෙදී වෙඩි වැදීමෙන් මියගිය ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන්ගෙ කතාවත්. හේමචන්ද්‍ර පොලිස් සැරයන් විනිසුරු ඉලන්චේලියන්ට සේවය කරන්නෙ අවුරුදු දාහතක් තිස්සෙ. ඒ කියන්නෙ 2000 තරම් ඈත කාලෙක ඉඳලා. යුද්දෙ අවසාන වෙන්නත් කලින් ඉඳලා. සිංහල පොලිස් නිලධාරියෙක් අවුරුදු දාහතක් තිස්සෙ තමන්ගෙ ජීවිත ආරක්ෂකයා හැටියට තියාගෙන ඉන්න ද්‍රවිඩ ජාතික විනිශ්චයකාරවරයෙක්? ද්‍රවිඩ විනිසුරෙක්, සිංහල පොලිස් සැරයන්වරයෙක්, ආරක්ෂක නිලධාරියෙක්, තමාගෙ ස්වාමියාගෙ ජීවිතය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන උත්තම චරිතයක්. තමන්ට අවුරුදු දාහතක් ජීවිතාරක්ෂාව සැපයූ හිතෛෂිවන්තයාගේ අකල්, දුක්ඛජනක වියෝවින් කම්පාවට පත්වී හඬා වැටුණු මහාධිකරණ විනිශ්චයකරුවකුගේ ජිවිතයෙන් බිඳක්. ඉන්ද්‍රචාපගෙ සිත සසල කළ ක්‍රියාවලියක පුවත්. වෙඩි වැදීමට ලක් වුණාට පස්සෙ මෘතාගාරයේ තිබුණු හේමචන්ද්‍ර සැරයන්ගෙ නිසල සිරුර ළඟ හඬා වැලපුණු බිරිඳ ඉදිරියේ මනුස්සකම ප්‍රදර්ශනය වුණු මොහොතෙ ඡායාරූප, කතාව, මෑත කාලයෙ ඉන්ද්‍රචාපට ඇහුණු ඉන්ද්‍රචාප දුටු සංවේදීම රූපාවලිය, කතාව. විනිසුරුවරයෙක් පොලිස් සැරයන්වරයකුගෙ බිරිඳක් හමු වී දෙදණ නමා හඬා වැටෙමින් ඔහුගෙ හිත තුළ පිරුණු වේදනාව ශෝකය පුපුරා හැරිය මොහොතෙ කතාව. අදහන්නට අපහසු වුණත්, හැබෑම සිදුවීම.

ඉලන්චේලියන් විනිශ්චයකාරතුමාගෙ සමීප රූපෙ දෙවැනි වතාවට ඉන්ද්‍රචාපට හසුවෙන්නෙ එතුමා හේමචන්ද්‍ර සැරයන්ගෙ අවමඟුලට ගිහින් පවත්වපු කතාවත් එක්ක. එතුමා එදා කිව්වෙ මොකක්ද? ඔහු නඩුකාරයෙක් වෙන්න ඉස්සර වෙලා හොඳ මනුස්සයෙක් වුණු චරිතයක් බව නේද මුළු ලෝකයටම ඔප්පු කරල පෙන්නුවෙ? ජීවත්වෙන සෑම මනුස්සයකුගෙම ඇඟ පුරා දුවන්නෙ එකම රුධිරයනම්, ඒ රුධිරයෙ වර්ණය රතු පාට මිසක් වෙන පාටක් නොවෙයි නම්, හැම ජීවියකුගෙ හදවත පණ ගැහෙන්නෙ එකම රිද්මයකට නම්, මිනිහකුගෙ, ආගමින්, භාෂාවෙන්, ජාතියෙන්, කුලයෙන්, ඔහු තවත් මනුස්සයකුට වඩා වෙනස් මනුස්සයෙක් කියල හිතන්න පුළුවන් ධර්මතාවක් ලෝකෙ තියෙන්න පුළුවන් ද කියන ප්‍රශ්නෙ අපට අපෙන්ම අහන්න සලස්වපු මොහොතක් විදිහට ඉලන්චේලියන් විනිසුරුවරයාගෙ කතාව හඳුන්වන්න පුළුවන්. ඔහු කිව්වෙ මොකක්ද? ‘මට දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම පුත්තු. අද ඉඳලා මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. (හේමචන්ද්‍ර සැරයන්ගෙ දුවත් පුතත් එක්ක) ඒ දෙන්නගෙ අධ්‍යාපනය, අනාගතය මම බාර ගන්නවා. දුවගෙ අධ්‍යාපනය විතරක් නෙවි, විවාහයෙ කටයුතුත් මම බාර ගන්නවා. ඒක යුතුකමක් නෙවි වගකීමක්.”

උත්තරීතර අධිකරණය, මහාධිකරණයෙ උස්ම ආසනයක වාඩිවෙලා, යුක්තිය පසිඳලන මහා පුරුෂයකුගෙ මහා නිල බලය යට ගැහෙන පුංචි හදවතක පිරිල තිබුණෙ කොයිතරම් විසාල මනුස්සකමක් ද කියන කතාව ඇතුළෙ, අපේ ජීවිතවලට, ඉගෙන ගන්න තියෙන විශාල පාඩමක් තියෙනව නේද කියල අපටම හිතන්න වෙනවා.

ඉලන්චේලියන් මහාධිකරණ විනිශ්චයකාරතුමාගෙ අතීත කතා කීපයක්ම ඉන්ද්‍රචාපගෙ සමීප රූප කතා අතර. ඔහු අසාමාන්‍ය චරිත සොබා, ගතිගුණ ඇති පුද්ගලයෙක් බවට සැරයන් හේමචන්ද්‍රගෙ මියයාමත් එක්ක හෙළිදරව් වුණු කතා කීපයක්ම ඉන්ද්‍රචාප කියෙව්වා. සුරාවට ලොල් වූ තම ස්වාමිපුරුෂයන් ඉන් මුදවා දෙන්න කියලා වවුනියාවේ මනරම්බකුලම ගම්මානයේ බිරින්දෑවරු කීපදෙනෙක් කරපු ඉල්ලීමකට සංවේදී වුණු විනිසුරුවරයා හොර මත්පැන් පොළ වටලා, ජාවාරමේ නිරතව සිටි පිරිස අල්ලා ගත්තා පමණක් නෙවි, ඔවුන්ට ස්වයං රැකියාවක් කරන්නට උදවු කළ පුවතක් ද ඉන්ද්‍රචාපට වාර්තා වෙනවා. විද්‍යා දියණියගේ නඩුව විභාග වන මේ දවස්වල සාක්ෂි දීමට පැමිණ සිටි කුඩා දරුවෙක් ක්ලාන්තව වැටුණු පසු ඉලන්චේලියන් විනිසුරුවරයා දැනගෙන ඇත්තේ දරුවා උදේ ආහාරය නොගෙන පැමිණි බව. ඔහු තම මුදල් පසුම්බියෙන් ගත් මුදල් සේවකයකු අත යවා දරුවා ආහාර ගන්නට සලස්වා පසුව සාක්ෂි විභාග කළ පුවතක් ද අසන්නට ලැබිණි. මේ සියල්ලෙන් පැවසෙන්නේ කුමක් ද? මනුස්සකමට, හදවතට එකඟව කටයුතු කිරීමට ඉහළින් ලොව කිසිවක් නැති බව නොවේ ද? ජීවත්වන ඉතා කෙටි කාලයක් තුළ, සදාකාලිකව ජීවත්වන්නන් ලෙස සිතමින් සැපිරෙන අමනුස්සයන්ට ඉලන්චේලියන් විනිසුරුවරයා කියාදෙන මනුස්සකමේ පාඩම විශිෂ්ටයි. 

Comments