
සඳට ගිය පමණින් සඳ කුමක්දැයි වටහා ගත නොහැකිය; එය අවබෝධ කරගත හැක්කේ සඳ බවට පත්වීමෙනි. තිස්ස අබේසේකරයන්ගේ මුවගින් නිරන්තරයෙන් ගිලිහුණු ඒ වදන් අපට ජීවිතය පිළිබඳ බොහෝ අරුත් ගොඩනඟන්නේ ය. කෙනකුගේ ජීවිතය නිවැරදි ව කියවන්නට තවත් කෙනකුට නොහැකිය, එය හඳුනාගත හැක්කේ ජීවත් වීමෙන් ම ය. ජීවිතය පමණක් නොව සෑම දෙයක් ම එසේ ය. සූක්ෂ්මතාවෙන් යුතු වන්නට වන්නට එහි අංශුමාත්‍රික දේ පවා පෙනෙන්නට පටන් ගන්නේ ය. තිස්ස අබේසේකර සම්බන්ධයෙන් එය සත්‍යයක් ම වන්නේ ය.
තිස්ස අබේසේකර තම කලා ජීවිතය ආරම්භ කරන්නේ කෙටිකතාකරුවකු ලෙස ය. ප්‍රබන්ධ කතාවට බෙහෙවින් ආදරය කළ හේ, කලාව රැඳී පවතින්නේ කතාන්දරය මත බැව් ඇදහූයේ ය. විදග්ධ සභාවල ඒ වෙනුවෙන් පෙනී සිටිමින් තර්ක විතර්ක කළේ ය. ආසියානු කතා කලාවේ අක්මුල් හොඳහැටි දැනසිටි ඔහු සංස්කෘතික ශාස්ත්‍රඥයකු සේ මේ මහ පොළොවේ රිද්මය උකහා ගත්තේ ය.
ඔහු ලාංකේය ශාස්ත්‍රීය කෙත අස්වද්දන්නට භාවිත කළේ අපට ම අනන්‍ය වූ සංස්කෘතික හරයන්හි සාරය ය. මහා කලාකරුවකු ලෙස ද සාහිත්‍ය කරුවකු හා විචාරකයකු ලෙස ද ඔහු සම්භාවනාවට පාත්‍ර වූයේ එබැවිනි. දාර්ශනිකයකු, ශාස්ත්‍රඥයකු, සමාජ ක්‍රියාධරයකු මෙන් ම සමාජවාදියකු ලෙස ද හේ ජනවිඥානයේ ලැඟුම් ගත්තේ ද ඒ නිසාය.
තිස්ස අබේසේකර ප්‍රාඥයකු යැයි නොබිය ව කීමට තවත් හේතු කාරණා තිබෙන්නේ ය. ඔහු කිසිකලෙක විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබුවේ නැත. එහෙත් ඔහු විශ්වවිද්‍යාලයේ උගැන්වීමට ගියේය. ඇතැම්විට පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට ද උගැන්වූයේ ය. ඔහු ශාස්ත්‍රාලීය විධිමත් අධ්‍යාපනයෙන් බිහිවූ උගතකු නොවුවා කියා කිසිවකුටත් ගැටලුවක් තිබුණේ නැත. සමකාලීන කලාකරුවන් ඉක්මවා ගිය ශාස්ත්‍රීය ඥානයක් ද, දේශපාලන ඥානයක් ද, විචාර බුද්ධියක් ද ඔහුට තිබිණි. එබැවින් කොළඹ විශ්වවිද්‍යාලය මඟින් ආචාර්ය උපාධියක් ඔහුට පිරිනමන විට ඊට ආශීර්වාද කළෝ විනා ගැරහූ කිසිවකුත් නොවූහ.
ඇතැම්හු ආචාර්ය උපාධියෙන් බැබළෙන අතර, තවත් සමහරු ආචාර්ය උපාධිය බබළවති. තිස්ස අබේසේකර වැටෙන්නේ දෙවැනි ගණයට ය; ඔහු නිසා ආචාර්ය උපාධිය බැබළුණා විනා ඔහුට ආචාර්ය උපාධි පට්ටම කිසිදිනක ආභරණයක් වූයේ නැත.
සාමාන්‍ය ජනතාව තිස්ස අබේසේකර හඳුන්වන්නේ සිනමාකරුවකු වශයෙන් ය. එහි කිසිදු වරදක් නැත. ගම්පෙරළිය චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයකු මෙන් ම දෙබස් රචකයා ලෙස ද නමක් තැබූ ඔහු, මහගෙදර, කරුමක්කාරයෝ හා විරාගය යන සිනමාපට ඔස්සේ හෙළ සිනමාවේ සිය අනන්‍යතාව සටහන් කළේය. පිටගම්කාරයෝ වැනි ටෙලිනිර්මාණ ඔස්සේ ඔහු පුංචි තිරය ද බැබළුවේය. දැනට දින කිහිපයකට පෙර නිකුත් වූ තිස්ස අබේසේකරගේ තිර රචනයක් වන ‘වැලිකතර තිර රචනය‘ කෘතිය අංකුර සිනමාකරුවන්ට අත්පොතක් වනු නිසැකය.
මේ සියල්ලට ම වඩා තිස්ස අබේසේකර නිවැරදි ව කියවා ගත හැක්කේ ‘අයාලේ ගිය සිතක සටහන්‘ නම් ප්‍රබන්ධයක් නොවන මතක සටහන් පෙළ ඔස්සේ යැයි සිතේ. එය විටෙක ස්වයං අපදානයකි; තවත් විටෙක කලා විචාරයකි; තවත් විටෙක සම්මත තාර්කික ඉතිහාසයට හසුනොවන අන්තර්ඥානයට හසු වූ සිද්ධි සමූහයකි. එහිදී නූතනත්වය සංස්කෘතික තලයේ සිදු වූ ආකාරය ඔහු මැනවින් විග්‍රහ කරන්නේ ය. එයට අප මුලින් කියූ සංස්කෘතික ඥානය ඉවහල් වන්නට ඇත.
තිස්ස අබේසේකර නම් ද්විභාෂික ප්‍රාමාණික ශාස්තඥයා පිළිබඳ ව සත්මඬල නිකුත් කරන මේ ‘තිස්ස අබේසේකර විමර්ශන‘ විශේෂ අතිරේකය, මෙරට සංස්කෘතික, සමාජ, දේශපාලන හා ශාස්ත්‍රීය ඉතිහාසයක් පිළිබඳ ව කෙරෙන ගවේශනයකි. ජීවත්වුව ද මිය ගියා සේ දැනෙන, මිය ගියද ජීවත්වන්නා සේ දැනෙන කලාකරුවෝ විරලය. මේ ඒ විරල කලාකරුවාට සත්මඬල කරන උපහාරයකි.