
වර්තමානයේ පවත්නා ප්‍රශ්නයක් නම් වර්ණනා කළ හැකි මිනිසුන් නොසිටීම පමණක් නොවේ. රණ්ඩුවක් දෙකක් ඇති කර ගැනීමට ද හරිහමන් මිනිසකු නැතිකම ය. ශ්‍රේෂ්ඨ මිනිසා පිළිබඳ කතාව ඇරැඹීම සඳහා වර්ෂ 1982 ට යා යුතුය.
මතභේද රුචි නවක පුවත්පත් කලාවේදියකු වශයෙන් ‘මහගෙදර’ චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම නරඹා, එම මාධ්‍ය සාදයේ මත්පැන් ද බී තවත් මාධ්‍ය සගයන් කිහිප දෙනෙකු ද සමඟ එකතු වූ මම, එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ තිස්ස අබේසේකර සූරීන් අනුභව කිරීමට සැරසුණෙමි.
එහෙත්, තම සුවිශිෂ්ට චිත්තවේගික පරිණතියත්, අසමසම බුද්ධි ප්‍රභාවත් විසින් සංසුන් ව මෙහෙයවනු ලැබූ තිස්ස අබේසේකරගේ චිත්‍රපට පිළිබඳ ව එකල්හි අප තුළ වූ යම් ඒකමානිත කියැවීම් (Mono Directional Reading) දෝෂයක් මුලිනුපුටා දමන ලද්දේ ය.
(එසේ නොවන්නට අප ද වැරදි සිනමා විලාසිතාවක ගිරාපෝතකයන් වන්නට හොඳට ම ඉඩ තිබිණි.)
අපේ ප්‍රශ්නය, එම චිත්‍රපටයේ තැනක දෙතැනක සිටි නාගයාගේ චරිතය පිළිබඳව වූ අතර මේ චිත්‍රපටකරුවා පිළිබඳ අප තුළ පැවැති ආකල්පය ඒ නිෂ්ඵල ප්‍රශ්නය ඔහුගෙන් විමසීමෙහිලා අප පොලඹවන ලද්දේ විය.
ඊට පිටුබලය සපයනු ලැබුවේ තිස්ස අබේසේකර සුළු ධනේශ්වර සිනමාකරුවෙක් ය ආදි වශයෙන් එදවස සිංහල භාෂීය සිනමා විචාර ආධිපත්‍යය විසින් පුනරුච්චාරණය කරනු ලබමින් තිබූ සැක නොකරන ලද අගතියක හඬ ය.
මේ අගතිමය සිතීමට පිටුබලය සපයනු ලැබූයේ හැත්තෑව දශකයේ සමාජවාදී ලෝකය ඇසුරෙන් නිර්මිතව පැවැති අදහසක් වූ සැබෑ වශයෙන් පවතින සමාජවාදය (Actually Existing Socialism) යන්න නොවීම පුදුම සහගත ය. එය වූ කලී කලාවට අණ පොපමුණු වනු ආදි වශයෙන් පටන් ගෙන කලාවට හොඳටම අණ පැනවීමෙන් අවසන් කෙරෙන අන්තගාමී විචාර ප්‍රවාහයක ආභාසය ලබමින් බිහි වූ චින්තන අංශුවක ප්‍රතිඵලය ය.
මේ චින්තන අංශුව, මවන ලද පදාසයක් වෙමින් අහිමි කරන ලද්දේ තිස්ස අබේසේකරයන් වැනි විශිෂ්ට සිනමා කරුවකුට මෙරට තුළ හිමි විය යුතු සැබෑ ස්ථානය පමණක් නොවේ. තිස්ස ලියනසූරිය, ඩී. බී. නිහාල්සිංහ, එච්. ඩී. ප්‍රේමරත්න, සුමිත්‍රා පීරිස්, සුනිල් ආරියරත්න ( සරුංගලේ) වැනි විශිෂ්ට සිනමා කරුවන් සහ සිනමා කාරියන්ට හිමි විය යුතු සැබෑ ස්ථාන ද වේ.
මා අදහස් කරන අගතිගාමි වූත්, ස්වයං - විසංවාදී වූත් විචාරක සහ විද්වත් මුළුව විසින් තම මනෝ දේශපාලනයේ පටු ආශාවන් වෙනුවෙන් කරඬු බවට පත් කරන ලද වෙනම සිනමාකරුවෝ පිරිසක් සිටිය හ. ඒ සිනමා කරුවන් විශිෂ්ටයන් නොවේ යැයි මම කිසි විටෙක නොකියමි. එහෙත් ඒ විශිෂ්ටයන්ගේ කරඬුවල සෙවණැලිවලින් තවත් විශිෂ්ටයන් වැසීම වෙනත් කරුණකි.
‘කරුමක්කාරයෝ’, ‘මහගෙදර’ වැනි සිනමා නිර්මාණ මඳක් පසෙක තබමු. තිස්ස අබේසේකරයන් නිර්මාණය කළ ‘විරාගය’ අපට අමතක කළ හැක්කේ කවර සිනමා පර්යාවලෝකනයක් තුළ ද? මට සිතෙන්නේ ඔහුට තිබෙන ප්‍රශ්නයම ඔහු ‘විරාගය’ නිර්මාණය කිරීම බවයි. තිස්ස අබේසේකරයන් තුළ පවත්නා සංස්කෘතික සවිඥානකත්වයම (Cultural Consciousness) අදාළ චින්තන අංශුවලට අසාත්මික වූ බවයි.
1989 නැගෙනහිර යුරෝපයෙන් ආරම්භ වූ සමාජවාදී කඳවුරේ බිඳ වැටීම, 1991 සෝවියට් දේශය බිඳ වැටීම, චීනයේ, වියට්නාමයේ සිදු වූ සුසමා දර්ශක වෙනස් වීම බොහෝ වැරදි මාක්ස්වාදී කලා විචාරක ගෝත්‍රවලට තම චින්තන දෙවිවරුන් අහිමි කර තිබිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් පසුකලෙක අටවා ගත් නව දේවාලවල දෙවියා වූයේ සිග්මන් ප්‍රොයිඩ් ය. එතුමාගේ මනෝ විශ්ලේෂණය ය. මම මේ මනෝ විශ්ලේෂණය මුළුමනින්ම බැහැර නොකරමි. එමෙන්ම එය මුළුමනින්ම වැලඳ නොගනිමි. ඊට එක් හේතුවක් නම් තවමත් සියවසකට වැඩි කාලයක් ගත වී නැති බටහිර මනෝ විද්‍යාවට වඩා ප්‍රබල මනෝ විශ්ලේෂණයක් සිදු කෙරෙන වසර දෙදහස් පන්සිය ගණනකට ඉහත බිහි වූ බෞද්ධ මනෝ විද්‍යාව නිර්මාණය සඳහාත් විචාරය සඳහාත් අපට ආලෝකයක් සපයන නිසා ය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගයත්, තිස්ස අබේසේකරයන්ගේ විරාගයත් යන ද්වයම නිවැරැදිව විචාළ හැකි යතුර ඇත්තේ ප්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණය තුළ නොව බෞද්ධ මනෝ විද්‍යාව තුළ යැයි මම සිතමි. එහෙත් බෞද්ධ මනෝ විද්‍යාව අසාත්මික වූ විචාර ප්‍රවේගයක් විසින් එබඳු නිර්මාණ හෙළා දැකීම හෝ අමතක කර දැමීම හෝ පුදුමයක් ද නොවේ.
ශ්‍රී ලංකාව ප්‍රබල සිනමා රසික ප්‍රජාවක ලක්ෂණ ප්‍රදර්ශනය කරන රටක් මිස නිශ්චිත සිනමා සාක්ෂරතාවක් (Cinema Literacy) ප්‍රදර්ශනය කරන රටක් නොවේ. මේ ඌන සිනමා සාක්ෂරතාවත්, සිනමා රසික ප්‍රජාවත් අතර පවත්නා දුරස්ථ අවකාශය අල්ලපු ඉන්දියාවට සාපේක්ෂව ගත්තත් විශාල ය. මේ දුරස්ථ භාවය අවම කිරීම සිනමා කෘති නිර්මාණය කරන්නන්ගේම ව්‍යායාමයක් විය යුතු බවට සැකයක් නැත. එහෙත්, ඒ සඳහා විචාරකයන්, සිනමාව පිළිබඳ ප්‍රාමාණිකයන්, විද්වතුන් සතුව ද මහා කාර්යභාරයක් පවතී.
මෙතැනදී ද අපට අතිශයින් වැදගත් වන විචාරකයා, ප්‍රාමාණිකයා, විද්වතා තිස්ස අබේසේකර ශුරීන්ම වීම කවර නම් දෛවෝපගතයක් ද? ඔහු තරම් සිංහල සිනමා ප්‍රේක්ෂකයා අරභයා මේ කාර්යය ඉතාසූර ලෙසත්, බුද්ධිමය අවංක භාවයෙන් යුතුවත් සිදු කළ වෙනත් විද්වතකු මට සිතා ගත නොහැකි ය.
තිස්ස අබේසේකරයන්ගේ සිනමා පූර්වජයා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාකරුවෙකි. මා නිවැරැදි නම් එතුමෝ මේ මොහොතේ මේ සමස්ත පෘථිවි තලයේම ජීවමාන වයෝවෘද්ධතම සිනමා කරුවාණෝ ය. ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ ගුරු දේවයා එතුමෝ ය. මේ විශිෂ්ට ගුරුකුලයේ ශ්‍රේෂ්ඨ කලා මෙහෙවර වූයේ ‘නිධානය’ චිත්‍රපටය නම් එහි ප්‍රාඥ මනස තිස්ස අබේසේකරම මිස අනෙකක් නොවේ.
මට මෙහිදී සිහිපත් වන්නේ තම ශ්‍රේෂ්ඨතම සිසුවා ඇරිස්ටෝටල් අරභයා ප්ලේටෝ කී දෙයකි.
තම ගුරුකුලය එහි සියලුම ශිෂ්‍යයන්ගේ ශරීරවලින් ද, ඇරිස්ටෝටල්ගේ මොළය යන කොටස් දෙකෙන් ද සමන්විත වන්නේ යැයි ඔහු කීවේ විහිළුවටම නොවේ.
වර්ෂ 1939 මැයි 07 දා ආතර් සොලමන් ඩී. ෆොන්සේකා හා ඇග්නස් ඩී ෆොන්සේකා ආදරණීය දෙමවුපියන්ට දාව මහරගම දී උපත ලද තිස්ස අබේසේකරයන් තම මහා රසිකාගාරයෙන් මෙන්ම දැයෙන් ද සමු ගන්නේ 2009 වසරේ අප්‍රියෙල් 18 වන දා කොළඹ දී ය.
සම්මානීය ගම්පෙරළිය චිත්‍රපටයේ දෙබස් රචකයා වශයෙන් සිනමාවේ අකුරු ලියන තිස්ස, සිංහල චිත්‍රපට කලාව තුළ මෙතෙක් ලියැවුණු විශිෂ්ටතම තිර රචනය වශයෙන් මා තවමත් සලකන නිධානයට පෙර අභ්‍යාසගත වන්නේ දෙලොවක් අතර, බඩුත් එක්ක හොරු, බිනරමලී, අක්කර පහ වැනි චිත්‍රපටවලිනි. වීර පුරන් අප්පු, අහසින් පොළොවට, ගඟ අද්දර, මායා, විරාගය, කලියුගය, ගුරු ගෙදර, ලොකු දුව, උප්පලවණ්ණා, කුස පබා ඔහු අනතුරුව කළ තිර රචනා අතර වෙයි.
මේවා සියල්ල විශිෂ්ට තිර රචනා යැයි කීමට මට නොහැකි ය. එහෙත් දෙලොවක් අතර, අහසින් පොළොවට, මායා, විරාගය, කලියුගය, ගුරු ගෙදර, ලොකු දුව වැනි තිර රචනා වල දක්නට ලැබෙන අන්තර් නිර්මිතිය (Internal Structure) ඔහු ද ඇතුළු මේවා අධ්‍යක්ෂණය සඳහා යොදාගත් සියලු අධ්‍යක්ෂවරුන්ට බලවත් අභියෝගයක් වූවා නිසැක ය. අනෙක් අතට ද්වි භාෂා උගතකු, බුද්ධිමතකු වශයෙන් ඔහු ඇසුරු කළ අසීමිත සාහිත්‍ය ලෝකය තුළ ශේක්ස්පියර්, ගතේ, දොස්තෙයෙවුස්කි, තාගෝර් පමණක් නොව තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ද, වීදාගම මෛත්‍රිය හාමුදුරුවෝ ද, කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු නිරිඳාණෝ ද වූහ.
එපමණක් නොවේ; ෂෙලී, කීට්ස්, වර්ඩ්ස්වත්, බ්ලේක් ආදීන්ගේ කවි කටපාඩමින් කියූ ඔහු ඒ කට පාඩමින්ම අපේ කොළඹ යුගයේ කවීන්ගේ ද කවි ගායනා කරනු මම දැක ඇත්තෙමි.
මේ විස්මිත සෞන්දර්ය අවබෝධය තිස්ස අබේසේකරයන්ගේ ශීර්ෂය අහසේ වලාකුළු ගෑවෙන තරමට ඉහළට ගෙන ගිය ද ජීවිතය විසින් ලබා දුන් කවර වරමක් උපයෝගී කර ගෙන වත් ඔහේ පාවී යන්නට ඔහු කල්පනා කළේ නැත. දෙපා මේ පොළොව මත තිර ලෙසම තබාගෙන ලෝකය දෙස බැලූ මේ ප්‍රාඥයා වෙතින් හැම විටම යම් නිර්වේදයක් ප්‍රකට වී යැයි මම බොහෝ විට කල්පනා කළෙමි. අන්තර්ජාතික වාදයත්, දේශජ ගුණයත්, රොමෑන්තික බවත් තම භාවිත ජීවිතයේ පදනම වශයෙන් ගත්, එක විටම යෝධයකුගේ පෞරුෂයක් ද, අන්තිම අහිංසක මිනිසකුගේ නිහඬ මුහුණක් ද, මල් උයනක් බඳු සුවඳ හමන හදවතක් ද සහිත මනුෂ්‍යයකු යළි කවරදා කොතැනකදී හමු වේ ද?