තිස්සගේ කුටුම්බය සන්සුන් කළ ඇය... | සිළුමිණ

තිස්සගේ කුටුම්බය සන්සුන් කළ ඇය...

ආචාර්ය තිස්ස අබේසේකර මහතා අප අතරින් වෙන්ව දිගු කලක් ගතව ගොසිනි. එහෙත් එය අපට හැඟෙන්නේ අද ඊයේ මෙනි. විටෙක සාහිත්‍යවේදියකු, සිනමාවේදියකු, ස්වතන්ත්‍ර නිර්මාණකරුවකු, හා කෘතහස්ත පරිවර්තකයකු වශයෙන් ද, තවත් විටෙක ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියකු ලෙසින් ද මේ සියල්ලට ම පරිබාහිර වූ සාහිත්‍ය හා දේශපාලන විචාරකයකු වශයෙන්ද ඔහු අපගේ මතකයේ මතුව නැඟඑයි. ඒ මතකය පිළිබඳ විමසන විට ඔහු අසල ම සිටි ඔහුගේ සෙවණැල්ල හා සම වූ ගැහැනිය අපට අමතක කළ නොහේ. ඈ අසංකා අබේසේකර ය. අතීතය පිළිබඳ මතකය යටපත් කර සිතේ ඇතිවන දුක්ඛ දෝමනස්සයන්ගෙන් මඳකට හෝ සිත සුවපත් කරගනිමින් සිටින මොහොතක ඈට අතීතය යළිත් සිහිපත් කිරීමට මට සිදුවිය. මේ දිග හැරෙන්නේ ඒ ගෙවුණු විවාහ දිවියේ මතක සැමරුමක බිඳකි.

අතීතය ..... ජීවත්වන්නන්ගේ සෝ දුක් දරා සිටින සුවිසල් රුකක් වැන්න. ඒ රුකේ රූස්ස බව වඩාත් වර්ධනය වන්නේ කලින් කල ජීවිතය නම් මහා දුර්ගයේදී පැමිණෙන දුක්කම්කටුලු එකින් එක වෙසෙසින් දරා සිටීම නිසා යැයි පැවසුවහොත් ඔබ මා හා එකඟ වන්නේ ද? එලෙසින් මම මේ ලැබුණු දිවියේදී අනේක විධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණදෙමින් දිගු ගමනක නිරත වූ දිරිලියක් වීමි. ඒ අතීතය යළිත් සිහිපත් කිරීමට දිනක් උදා ව ඇත. ඒ ඇසිල්ලේ මම යළිත් අතීතය දෙසට සෙමෙන් සෙමෙන් පියමනිමි.

එක් දිනෙක ඔහුගේ රූපකාය මා දෙනෙත අබියසට පිවිසියේ හදිසියේ නොසිතූ මොහොතක ය. ඒ මා අනුරාධපුරයේ සිට කොළොම්පුරවයට පිවිසි එක් දිනෙක ය. සරසවිය පුවත්පතේ රසිකාවක ලෙස කලා ලොවේ බොහෝ දේ කියැවීමට පෙලැඹී සිටි මම කලාවට බෙහෙවින් ආදරය කළෙමි. ඒ පෙලඹවීම වඩාත් වර්ධනය වූයේ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයේ දැන්වීම දැකීමෙනි.

“ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ නවතම සිනමාපටයකට නිළියක අවශ්‍යව ඇත.”

එය දුටු මගේ ඉහේ පිපුණේ මලකි. මම නියමිත දින සම්මුඛ පරීක්ෂණයට පිවිසුණෙමි. ඒ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවෙසට ය. එහි කොරිඩෝවේ අසුන්ගෙන සිටි යුවතිය අසලින් ගියේ උත්තුංග දේහදාරී මිනිසෙකි.

“තිස්ස....”

ඒ මිනිසාට සුමිත්‍රා පීරිස් ආමන්ත්‍රණය කළා ය.

“අන්න අර ගැහැනු ළමයි චිත්‍රපටයට ගන්න ගැහැනු ළමයා ඇවිල්ලා ඉන්නවා බලන්න.”

තවදුරටත් ඈ පැවසුවෙන් තිස්ස අබේසේකර සිටි තැනින් පිටුපසට අඩියක් තබා හැරී බලා නිවෙස ඇතුළට පිවිසුණේ ය. මම අසුන්ගෙන උන් අසුනෙන් නැංෙගමි. ඔහුගේ මුහුණ මගේ දෙනෙතට හසුව එක්වරම අහිමි ව ගියේ පළමුවරට ය.

දෙවැනි වර ඔහුව මට මුණ ගැසෙන්නේ රජයේ චිත්‍රපට අංශයේදී ය. එකල මම ‘ගෝර්ඩ් කිං’ චිත්‍රපටයේ රඟපෑ නිළියක වීමි. එහිදී මුණ ගැසුණු ලාල් පියසේන මගේ හොඳම මිතුරා බවට පත්වූයේ නිතැතිනි. කලකට පසුව ‘මහගෙදර’, ‘කරුමක්කාරයෝ’, ‘විරාගය’ ඇතුළු අපේ චිත්‍රපටවල සංස්කාරකවරයා වූයේ ද ඔහු ම ය. ඒ මිතුදම කොතරම් දැඩි වීද යත් වරක් ලාල් මට පැවසුවේ අපූරු කතාවකි.

“අසංකා මට හිතෙන්නේ ඔයාට ගැළපෙන අපූරු පුද්ගලයෙක් ඉන්නවා මම දන්න. කොළඹ ආවට පස්සේ කියන්නකෝ, මම එක්කගෙන යන්නම් මුණ ගැසෙන්න.”

ඔහු පැවසුවේ බොහොම සුහදව ය. ඒ අනුව හැත්තෑතුන වසරේ අග භාගයේ පමණ රජයේ චිත්‍රපට අංශයේදී මම හා ලාල් ඒ අපූරු මිනිසා හමුවීමු. හෝරා කිහිපයක් ගෙවුණු කතාබහ අවසානයේ මම ඔහුගේ කතාබහට වශීවී සිටියෙමි.

“හරිම ආස හිතෙනවා නේ ලාල් එයා කතා කරනවා අහගෙන ඉන්න.”

ආපසු පැමිණෙන ගමනේදී මම ලාල් හා පැවසුවේ මගේ සිතට නැඟුණු අවංක අදහස් පෙළ ය.

“ආසා හිතෙන්නේ නැද්ද එයාගේ ජීවිතයට සම්බන්ධ වෙන්න.”

මා කියූ වැකිය අවසන් වන්නටත් මත්තෙන් ලාල් විමසුවේ එක්වරම ය.

“පිස්සු ද ලාල්. එයා මට වඩා කොයිතරම් වැඩිමහල්ද?”

යැයි මා විමසුවේ පුදුමයෙනි. ඒත් පුදුමය කලකට පසුව ඒ ලාල් ඇසූ කතාව සැබෑවක් බවට පත්වීම ය. එය සැබෑ වන්නේ ‘ගඟට උඩින් කොක්කු ගියා’ අන්තර්ජාතික ටෙලිවිෂන් චිත්‍රපටය හරහා ය. ගාමිණි දිසානායක ඇමතිවරයා මහවැලියේ සිටි කාලයේ කරන ලද මේ චිත්‍රපටයේ මා මෙන්ම අයිරාංගනී සේරසිංහ, සෝමලතා සුබසිංහ, උපාලි අත්තනායක, නීල් අලස්, ස්වර්ණා මල්ලවාරච්චි ඇතුළු නළු - නිළියෝ රැසක් රඟපෑහ. එහෙත් මගේ රූගත කිරීම් අවසන් කිරීමට ප්‍රථම ඔවුන්ට විදෙස් ගතවීමට සිදුවීමත් සමඟ චිත්‍රපටය නවතා දැමීමට සිදුවිණ. එනමුදු තිස්ස - අසංකා කරකාර බැඳ ගත්තේ ය.

මම ඔහුගේ තෙවැනි බිරිය වීමි. ඔහු හා සරණ ගිය කල මා උත්සාහ ගත්තේ අනෙක් බිරියන් නිසා තෙහෙට්ටුවට පත් වූ ඔහුගේ සිතට සහනයක් වීමම ය. අනෙක් අයගෙන් සිදු වූ වැරැදි කිසිවකුත් නොවන්නට මම වග බලා ගතිමි.

එතෙක් දිගු කලක් පවත්වා ගෙන ආ ලේඛන දිවියට මම සමුදුනිමි. ඒ ඔහු බිරියකගෙන් බලාපොරොත්තු වූ දේ බොහෝ යැයි මට වැටහී ගිය බැවිනි. බිරියක ලෙස ඒ යුතුකම් ඉටු කිරීමට නම් මොහොතකට මට මගේ මමත්වය අමතක කරන්නට සිදුවිණ. එය දුටු දියණිය දිනෙක පැවසුවේ අපූරු කතාවකි.

“අම්මා, අප්පච්චි වෙනුවෙන් ඔයාගේ දක්ෂතා සියල්ලම නවත්වා ගත්තා. ඒවා නතර කරන විට මොනවද සිතුවේ. ඒත් මට නම් කිසිම දිනෙක අම්මා වගේ වෙන්න බැහැ, වෙන්නෙත් නැහැ.”

ඒ සියලු තීරණ මා විසින් ගන්නා ලද්දේ එක්වරම ය. සිත සිතා නොවේ. ඒ වනවිට මා නිළියකගේ භූමිකාවට අවතීර්ණව සිටි කාලයයි. විවාහ වන වකවානුව වනවිට මා රඟපෑ චිත්‍රපට ද්විත්වයක් ප්‍රදර්ශනයට සූදානම් වූ කාලයයි. ඒ ‘සංඛපාලි’ හා ‘හෙවණැලි ඇද මිනිස්සු’ ය. ඊට පසුව ද සිනමාපටවල රඟපෑමට මට ලැබුණු ආරාධනා රැසකි. ඒ ආරාධනාවලට වචනයක් දෙන්නට පෙරාතුව මම දිනෙක ඒ පිළිබඳ ඔහුගෙන් විමසීමි.

“ඔයත් වැඩිහිටියෙක් නේ. මගෙන් අහන්න එපා තීරණයක් ගන්න.”

ඔහු පැවසුවේ ක්ෂණයෙනි. ඒ ස්වරයේ වූ නොකැමැත්ත මම වහා වටහා ගතිමි.

“රඟපාන්න මම එච්චර ආස නැහැ.”

මා ඊට පිළිතුරු බැන්දේ රඟපෑමට මගේ සිතේ රැඳි ප්‍රේමය සඟවමින් ඔහු හා ළබැඳි ව මා හදවතේ කොනක ඇතිව තිබූ ප්‍රේමයේ අනුහසිනි. ඉන්පසුව මම ඔහුගේ ජීවන සහකාරිය බවට මෙන්ම වෘත්තිය සහකාරිය බවටද පත්වීමි. මවක මෙන් මම ඔහුව ආදරය පෙරදැරිව බලා ගත්තෙමි. අප දෙදෙනා අතර වූ සෙනෙහස පිළිබඳ එක් වරෙක ඔහු ‘අයාලේ ගිය සිතක සටහන්’ කෘතියේ ස්තූතියෙහි තැබූ සටහනක් මගේ මතකයේ තැන්පත්ව ඇත්තේ නොමැකෙන ලෙසිනි.

“කල්පනාව අවදි කරවන පහන් නිවෙසක පරිසරය කවදත් මා වටා ඇති කරදෙන දයාබර මාතුභාර්යා අසංකාට.....”

ඔහු හදිසියේ ම අප අතැර ගියේ ය. මේ තරම් ඉක්මනින් යන්නට නොසිටි ඔහු අප අතැර යන්න ම යන්නට ගියේ ය. ඒ අතීත මතකයේ සුවඳ මා හදවතේ ඉතිරි කරමිනි. එතැන් පටන් මම දරුවන් දෙදෙනා පෝෂණය කිරීමට වෙහෙසුණෙමි. අද ඔවුන් දෙදෙනා පිළිබඳ මගෙ සිතේ ඇත්තේ සතුටකි. ඔබ සිතූ අයුරින් ඔවුන් දෙදෙනාට ම අධ්‍යාපනය ලබාදෙන්නට මට හැකිවූයේ ඔබගේ ආශිර්වාදය නිසා ම බව මගේ හැඟීම ය. ඔබ අප අතැර ගියත් අප පසුපස සිටින නොමැකෙන යෝධ සෙවණැල්ල යැයි මට හැඟෙයි. ඔවුන් දෙදෙන ඔබ සිහිපත් කරන අනූරූ ද්විත්වයක් වැන්න.

සමුගන්න මත්තෙන් ඔවුන් දෙදෙනාගේ දසුන මට සිහිපත් කරන්නේ ඔහු ‘දෙසතිය’ සඟරාවට පවසා තිබුණු අපූරු කියමනකි.

“මගේ කුටුම්බය සන්සුන් කළේ ඇයයි.”

මම ඉන් සැනසෙමි.

Comments