තිර රචනය කලාවක් කළ නිර්මාණකරුවා | සිළුමිණ

තිර රචනය කලාවක් කළ නිර්මාණකරුවා

තිර රචනය විද්වත් කලාවක් බවට පත්කිරීමේ කාර්යයේ දී මෙරට පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළේ තිස්ස අබේසේකර බවට විවාදයක් නැත. රෙජී සිරිවර්ධන බෙනඩික්ට් දොඩම්පෙගම, පී. කේ. ඩි. සෙනෙවිරත්න වැනි තිර රචකයින් ගුණාත්මක බවින් යුත් තිර රචනා සම්පාදනයේ නිරත වුවද, එය සිනමාවේ අනුශංගික අංශ අතර මුල් පෙළට ගෙන ඒමට නිර්මාණ ශක්තිය වැය කළේ තිස්ස අබේසේකර ය.

තිර රචනය යනු හුදෙක් සිනමාකරුවකුට සපයන රූප සටහනක් ම නොවේ. සිනමාව යනු ජීවිතය හා සමාජය පිළිබඳ අපූර්ව අර්ථ සම්පාදනය කරන ලලිත කලාවක් නම් එහි මූලයන් උපදින්නේ තිර රචනය ඇසුරේ ය. තිර රචනය සුවිශේෂ සාහිත්‍යමය කලාවකි. එහෙත්, කෙතරම් විශිෂ්ට සාහිත්‍යධරයකුට වුව තිර රචකයකු විය නොහැකියි. රූප ඥානය එහිදී ප්‍රමුඛ වන හෙයිනි. සිනමා නිර්මාණ්‍ය ප්‍රථමයෙන් මනසේ සිතිවිලි රූප සේ දකින්නේ තිර රචකයායි. මේ සිතිවිලි රුප ඔහු විසින් රූපමය ආකෘතියකට ගොනු කරනු ලබයි. එහෙත්, එය හුදු යාන්ත්‍රික ක්‍රියාවක් නොවේ. ඒ සඳහා සිනමා රූප බස හා සෞන්දර්යාත්මක හැඩතල පිළිබඳ අවබෝධයට අමතරව පුළුල් ජීවිත පරිඥානයක් ද දයාර්ද්‍ර දැක්මක් ද බුහුටි අයුරින් කතා කලාව හැසිරවීමේ ශක්‍යතාවක් ද අත්‍යවශ්‍යයි. තිර රචනය තුළ අවසන් නිර්මාණයේ අර්ථ, හැඩ මෙන්ම රිද්මය ද අන්තර්ගත වේ.

මේ ගුණවලින් පරිපූර්ණත්වයට පත් තිර රචකයන් අතර තිස්ස අබේසේකර සිටින්නේ පෙරමුණු අසුනේයි. ඔහු තිර රචනා ක්‍රමවේදය අතැඹුලක් සේ පිරිසිඳ දත් ප්‍රශස්ත රචකයකුගේ විලාසය ප්‍රකට කරන්නේ මුල් අදියරේදී මය. විවිධ දේශීය, විදේශීය සාහිත්‍ය ධාරාවන් ඇසුරිනේ ලත් පෝෂණය, විවිධ කලාවන් ඇසුරේ ලත් දැනුම හා ශික්ෂණය, ජීවිතය නම් තක්සලාවෙන් ලත් පන්නරය හා සමඟ රූප ඥානය සංකලනයෙන් උද්දීපනය වූ ප්‍රතිභාව ඔහුගේ තිර රචනාවල අන්තර්ගත ගුණ පසුපස තිබූ ශක්තියයි. පෙරදිග හා අපරදිග විශිෂ්ට සිනමා නිර්මාණ ඇසුරේ වගා කරගත් සිනමාවබෝධයත්, සංයමයත් මේ තිර රචනාවල හැඩතල නිර්ණය කළ ප්‍රමුඛ සාධක විය. තිස්සගේ තිර රචනා පරිශීලනය ම සිනමාව පිළිබඳ අධ්‍යයනයක් වන පමණට ප්‍රශස්ත වීම පසුපස වීම පසුපස මේ සුවිශේෂී කලාංගය හඳුනා ගැනීමට, වර්ධනය කිරීමට හා මෙරට සිනමාවේ ප්‍රමුඛාංගයක් බවට පත්කිරීමට ඔහු දැරූ කැපවීම, වීර්යය හා සතතාභ්‍යාසය පාදමක් ලෙස පවතී.

හොඳ තිර රචනයකින් හොඳ අධ්‍යක්ෂවරයකුට උසස් චිත්‍රපටයක් නිර්මාණය කළ හැකි ය. එහෙත්, නරක තිර රචනයකින් උසස් අධ්‍යක්ෂවරයකුට වුව හොඳ චිත්‍රපටයක් නිර්මාණය කළ නොහැකි ය යනු තිර රචනා විෂයයෙහිලා සඳහන් වන සංකල්පයකි. තිස්ස සැම විට ම උසස් තිර රචනා සම්පාදනයට තම නිර්මාණ ශක්තිය කැප කළේ ය. මේ සමහර තිර රචනා ඇතැම් සිනමාකරුවන් අත දුර්වල චිත්‍රපට බවට පත් විය. එමෙන් ම ඔහු රචනා කළ තිර රචනා ඇසුරෙන් මධ්‍යම ගණයේ සිනමා කෘතීන් ද බිහිව තිබේ. මෙතෙක් නිර්මාණය වූ විශිෂ්ට ම සිනමා කෘතිය ලෙස සම්භාවනාවට පාත්‍ර වන නිධානය සඳහා පසුතල වූයේ ද තිස්සගේ තිර රචනයකි. චරිත දෙකක් හා එක ම සිද්ධියක් පාදක කරගත් පිටු හයක පමණ කෙටිකතාවක් ඔහු මනුෂ්‍යත්වය පිළිබඳ සංකීර්ණ හා අපූර්ව අත්දැකීමක් බවට පරිවර්තනය කෙළේ ය. එය ජීවිතය පිළිබඳ ඔහුගේ දෘෂ්ටිය ද ගැඹුරු සිනමාවබෝධය ද පිළිබඳ මඟ සලකුණක් ලෙස සිනමා වංශය තුළ අමරණීයව පවතිනු නිසැක ය. ඔහුගේ සෑම තිර රචනයක්ම පාහේ මේ ගුණවලින් සමන්විත වුවද ඒවාට සැම විට ම සාධාරණය ඉටු වූයේ නැත. තිර රචකයා නොකළ වරදකට බැණුම් අසන්නෙකි යන කියමන ඔහු භාවිත කළේ එබඳු අවස්ථාවක් හැඳින්වීම සඳහා ය.

පිරිපුන් රූප ඥානයට අමතරව චරිතවල මනෝභාවයන් හා හැසිරීම් රටාවන් හඳුනා ගැනීමේ සියුම් ඉවක් ද ඔහු සතු විය. ඔහු තම චරිතවලට නිශ්චිත සමාජ පසුබිමක් ලබා දෙයි. නිශ්චිත හැසිරීම් රටාවක් නිර්මාණය කර දෙයි. ඒ සමාජ පසුබිමත්, හැසිරිම් රටාවත් මනුෂ්‍ය ස්වභාවයේ නියත ගුණත් සමඟ සංකලනයෙන් අපූරු මිනිසකු පිළිබඳ සටහනක් නිර්මාණය කරයි. ඒ මිනිසා මුහුණදෙන ඉරණම පිළිබඳ ව ඔහු අර්ථ සම්පාදනය කරන්නේ මනාව හික්මවාගත් දැක්මකිනි. මෙහෙයින් උසස් අධ්‍යක්ෂවරයකුට ඔහුගේ චරිතවලට ප්‍රාණය දෙන්නට ඔහුගේ කතා කලාවට ජීවය දෙන්නට අසීරු නොවී ය. බුහුටි කතා කීමේ කලාව වඩා ශක්තිමත් වූයේ උචිත සංවාද රචනය නිසා ය. සංවාද රචනයේ දී ද තිස්ස සිනමාවේ කිසිවකුට දෙවැනි වූවෙක් නොවේ.

චරිතවල ගති ස්වභාවයන් පමණක් නොව, ඇතුළාන්තය ද ඔහුගේ සංවාදවලින් නිරාවරණය වේ. ඒවා ඕජෝ ගුණයෙන් පිරිපුන් ය. චරිතයේ වයස් සීමාවන්ට සමාජ පසුබිමට උප සංස්කෘතීන්ට අනුකූල ව සකස් වන සංවාද දක්ෂ රූපණවේදියකුට අපූර්ව චරිතයක් ප්‍රතිනිර්මාණය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නොසඟවා සපයා දෙයි. තිස්සගේ තිර රචනා මනුෂ්‍ය ජීවිතය පිළිබඳ ව මෙරට සමාජය පිළිබඳ ව හරස්කඩක් බවට පත්වූයේ මේ ගුණවලින් සමන්විත වූ නිසා ය. තිස්සගේ කතා කලාව හඳුනාගත් සිනමාකරුවන්ට ඒ ඇසුරේ යහපත් නිර්මාණ කිරීම අසීරු වූයේ නැත. ඒ සිනමා කෘතින් ඇසුරින් සිනමාකරුවන් ප්‍රකට කළ ජීවන දෘෂ්ටිය යටින් තිස්සගේ ජීවිත පරිඥානය හා ශික්ෂණය ද දෘෂ්ටිය ද පවතින බව අමුතුවෙන් සඳහන් කළ යුත්තක් නොවේ.

‘වැලිකතර’ තිර රචනය පිළිබඳ විග්‍රහයකට මේ සන්දර්භය මනා පිටිවහලක් කොටගත හැකි ය. තිස්සගේ තිර රචනයක් ඇසුරු කරගත් ප්‍රථම චිත්‍රපටය ලෙස තිරගත වන්නේ ‘බඩුත් එක්ක හොරු’ (1964) වුව ද, ‘වැලිකතර’ ඔහු වෘත්තාන්ත චිත්‍රපටයක් සඳහා රචනා කළ ප්‍රථම තිර රචනයයි. එයට පෙර ඔහු නිහාල්සිංහගේ ම ‘කෙටිකතාව’ කෙටි චිත්‍රපටයේ තිර රචනය සම්පාදනය කෙළේ ය. ‘වැලිකතර’ තිරගත වන්නේ 1971 දී සිවුවන සිනමා නිර්මාණය ලෙසිනි. (1. බඩුත් එක්ක හොරු - 1969, 2. බිනරමලී - 1969, 3. අක්කර පහ - 1970) මේ තිර රචනා සියල්ලේ ම පෙර සඳහන් කළ ගුණ නොමඳ ව අන්තර්ගත වුව ද මේ අදියරේ තිරර රචනා අතර ‘වැලිකතර’ දෙවැනි වෙතොත් ඒ ඔහුගේ පස්වන නිර්මාණ්‍ය වන ‘නිධානය’ තිර රචනයට පමණි.

තිර රචකයකුගේ ප්‍රථම නිර්මාණය ම මෙතරම් පරිසමාප්ත ගුණවලින් සමන්විත වීම මේ මාධ්‍යයේ ඉතිහාසය හදාරන විට ආශ්චර්යයක් ලෙස පෙනී යාම පුදුමයක් නොවේ. (‘වැලිකතර’ නිහාල්සිංහගේ ද ප්‍රථම වෘත්තාන්ත නිර්මාණ්‍ය සේ සලකන විට මේ විස්මය දෙගුණ, තෙගුණ වේ.) තිස්සගේ තිර රචනා බොහොමයක දක්නට ලැබෙන ප්‍රමුඛ ලක්ෂණයක් වනුයේ චරිතවල බාහිර ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛතාවක් හිමි වන බව මතුපිටින් දිස්වුවත් ඒ දෙවැනි තැනට ඇද දමමින් යටි පෙළක් ලෙස අභ්‍යන්තර ගැටුම් ඉතා සෙමෙන් හා සියුම් ව නිර්මාණයේ අධ්‍යාත්මය බවට පත්වන ස්වභාවයයි. වැලිකතරෙන් නිපන් මේ ලක්ෂණය ඉන්පසු ඔහුගේ තිර රචනාවල මුද්‍රාව බවට පත්වන පමණට පරිණත ස්වභාවයකට පත් වෙයි. තිස්ස වැලිකතර මුල් තිරරචනය නම් කරන්නේ ‘මරුකතර’ නමිනි. පසුව ගණ පිළිබඳ සැලකීමෙන් එය ‘වැලිකතර’ ලෙස නම් වූයේ නිෂ්පාදන අදියරේදී ය. ‘වැලිකතර’ යන්න මේ චිත්‍රපටයට විෂය වන ප්‍රධාන චරිත තුනේ බාහිර ගැටුම පිළිබඳ රූපකයයි. එහෙත්, ‘මරුකතර’ මේ චරිතවල අභ්‍යන්තර ගැටුම පිළිබඳ රූපකය බව පැහැදිලි ය.

මහගමසේකර ලියූ, අමරදේව ගැයූ ‘ගිනිගත් මරුකතරේ ඔබ යන මඟ නොදැනේ’ ගීතයේ යටි අර්ථය ද මේ අභ්‍යන්තර ගැටුමයි.

වැලිකතර චිත්‍රපටය තිරගත වූයේ මෙයට වසර 46කට පෙර ය. එය තිරගත වූ අවදියේ ද ප්‍රේක්ෂක විචාරක ප්‍රශංසාව එයට හිමි විය. එය නිහාල්සිංහගේ කුලුඳුල් වෘත්තාන්ත නිර්මාණය වූවා පමණක් නොව, මෙරට සිනමාවේ වීර කාව්‍ය සම්ප්‍රදාය තහවුරු කළ නිර්මාණය ද විය. වීර කාව්‍ය සම්ප්‍රදායේ ආරම්භය සංදේශය නම් එම ප්‍රවර්ගයේ හැඩතල වඩා ගැඹුරින් ස්ථාපනය කළේ ‘වැලිකතර’යි. ‘වැලිකතර’ ග්‍රීක ඛේදාන්ත නාටකයේ හැඩරුව ගත්තකි. එම ලක්ෂණය උපදිනුයේ ම තිර රචනය මූලික කරගනිමිනි. ඛේදාන්ත නාටකයේ සියුම් ලක්ෂණ කැටි කරගත් ඛේදාන්ත චිත්‍රපට මෙරට තිබෙනුයේ අල්පයකි. ඒ අතර වඩා ව්‍යක්ත නිර්මාණ වනුයේ නිධානය හා වැලිකතරයි. ඒ නිර්මාණ දෙකම ඇසුරු කරගන්නේ තිස්සගේ තිර රචනා වීම අහඹුවක් නොවේ. ඒ සියුම් වූත්, දීර්ඝ වූත් සිනමා පර්යේෂණ ව්‍යායාමයක ප්‍රතිඵලයයි. ප්‍රධාන චරිතයක් විසින් දැනුවත් ව හෝ නොදැනුවත් ව ප්‍රමාද දෝෂයකින් මෙන් කරන අන් වරදක් නිසා ඔහුත්, ඔහු හා බැ‍ඳෙන සෙසු පාත්‍ර වර්ගයාත් විනාශ වීම ඛේදාන්ත නාටකයේ ප්‍රමුඛ ලක්ෂණයයි. ‘වැලිකතර’ සිනමා ප්‍රකාශනය ගොඩනැ‍ඟෙන්නේ ඒ පාදම මත ය. ඛේදාන්ත නාටකය පමණට ම බටහිර වීර කාව්‍ය සිනමා සම්ප්‍රදායෙන් තිස්ස හා නිහාල්සිංහ ලත් උත්තේජනය ද මෙහි චරිත හා දර්ශන මත විසිර තිබේ. ඒවා කිසිවක් අනුකරණ නොවේ. එහෙත්, ඒ සඳහා නිර්මාණාවේෂය උපදින්නේ මෙම ආදර්ශී සිනමා කෘතිවල හැඩතල හා ආකෘතීන් ඇසුරේ ය.

තිස්ස අබේසේකර රචනා කළ සෑම තිර රචනයකම ගැඹුරු යටිපෙළක් පවතින බව පෙර සඳහන් කෙරිණි. දෘශ්‍යමානයෙන් චරිතවල අන්තර් සම්බන්ධතා කාව්‍යාත්මකව පෙළ ගැස්වුව ද මේ සම්බන්ධතා එකිනෙක යා කරන හුයක් ලෙස මනුෂ්‍ය ස්වභාවයට ආවේණික සංකීර්ණ මනෝභාවයන් පැවැතිණි. මේ හුය දැකිය හැකි වන්නේ යටිපෙළෙහිය. මේ යටිපෙළ අවබෝධ කරගත නොහෙන සිනමාකරුවන් අත තිස්සගේ තිර රචනාවල ශක්තිය කඩා වැටෙනු අප දැක තිබේ. මේ යටිපෙළ හසුවූ එක් සිනමාකරුවකු ලෙස නිහාල්සිංහ අපගේ ගෞරවයට පාත්‍ර වේ. එපමණක් නොව, මේ සංකීර්ණ අත්දැකීමට උචිත රුප ආකෘතියක් නිර්මාණය කරන නිහාල්සිංහ ස්වයං නිර්මාණ මඟින් චරිතවල හැඩතල ද පොහොසත් කරමින් තිර රචනයේ යටිපෙළට මුඛ්‍ය ස්ථානයක් හිමිකර දේ. ‘වැලිකතර’ මනා අංග සංස්ථානයෙන් හෙබි සිනමා කෘතියකි. මේ අංග සංස්ථානයේ මූල බීජ උපදින්නේ තිර රචනයෙනි. සිනමා කෘතියට ඒ පරිපූර්ණ බව එක්වීම යනු සිනමාකරු තිර රචනය මනා පිවිසුමක් ලෙස පරිහරණය කළ බවයි. තිර රචකයාගේ මනසේ නිපන් චරිතවලට සිනමාකරු ජීවය දෙන්නේ ජීවිතය පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බහුශ්‍රැතයකු ලෙසිනි. ඔහු මේ චරිත මෙහෙයවන අභ්‍යන්තර බලවේග මනාව හඳුනාගනී. ඒ අනුව චරිත විකාශනයට උචිත සිදුවීම් පමණක් විවේක බුද්ධියෙන් තෝරාබේරා ගනී. විශ්වසනීය බව නිර්මාණයේ මුඛ්‍ය ලක්ෂණය බවට පත්වන්නේ මේ ඖචිත්‍ය ගුණය නිසා ය.

සිනමා කෘතියක් එහි නිර්මාණ ශක්තීන් අනුව බිහි වූ අවදියේ ම ප්‍රශංසාවට ලක්වෙයි. එහෙත්, එබඳු ප්‍රශංසා හිමි කර ගන්නා බොහෝ නිර්මාණ කාලය සමඟ අමතකව යෑම ද අරුමයක් නොවේ. සිනමා කෘතියක අගය නිර්ණය කරන හොඳම විනිශ්චයකරු කාලයයි. හොඳ නිර්මාණ කාලය සමඟ ජීවත්වනු පමණක් නොවේ. එය ජීවිතය සමඟ වැඩේ. අප ‘වැලිකතර’ නැරැඹුවේ යෞවන වියේදී ය. එවකට ද ඉන් අප උකහා ගත් අත්දැකීම් ජීවිතයට මනා උත්තේජනයක් විය. ජීවිතය පිළිබඳ සංකීර්ණතාවන් නිසා ඇති වූ කම්පනයත්, සිනමා කෘතියේ හැඩය නිසා ඇති වූ විස්මයත් තවදුරටත් අප සිනමා භක්තියන් වීම ස්ථාවර කෙළේ ය. ගතවූ වසර දහයක පමණ කාලයේ දී සිනමාව හදාරණ ශිෂ්‍යයන් සමඟ සියක් වාරයක් ඩී.වී.ඩී. පිටපතක් නරඹා ඇත්තෙමි. (අප සතුව තිබෙන්නේ දුර්වල ඩී.වී.ඩී. පිටපතකි.) චිත්‍රපටය නරඹන වාරයක් වාරයක් පාසා ඉන් නව අර්ථ සම්පාදනය වනු දැනෙයි. මුල් අවදියේ අවබෝධ කරගත නොහැකි වූ හෝ නැතිනම් තරුණ මනසට ගෝචර නොවූ හෝ ජීවිතාර්ථ නැවත නැවතත් මතු වෙමින් අපේ ජිවිත පෝෂණය කරනු දැනේ. සිනමා කෘතියක් අප සමඟ වැඩිම යන්නෙන් අදහස් වන්නේ එයයි.

‘වැලිකතර’ 1972 වසරේ පැවැති පස්වන විචාරක සම්මාන උලෙළේ දී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය සඳහා කුසලතා සම්මාන දිනාගත්තේ ය. හොඳම නළුවා අංශයේ දී ජෝ අබේවික්‍රම ගෞරව කුසලතා සහතිකයක් ද, ගාමිණී ෆොන්සේකාට කුසලතා සහතිකයක් ද හිමි විය. හොඳම නිළිය අංශයේ දී සුවිනීතා වීරසිංහට ගෞරව කුසලතා සහතිකයක් ද, හොඳම සංස්කරණය සඳහා නිහාල්සිංහට කුසලතා සහතිකයක් ද හිමි විය. හොඳම කැමරාකරණය ලෙස නිහාල්සිංහට ප්‍රධාන සම්මානය පිරිනැමිණි. 1971 - 1972 වර්ෂළුල තිරගත වූ චිත්‍රපට මේ සම්මාන සඳහා විනිශ්චයට භාජනය වූ අතර, ‘වැලිකතර’ සමඟ තරග වැදුණේ ‘නිධානය’ හා ‘හාර ලක්ෂෙ’ චිත්‍රපටයි. හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය සම්මාන ‘නිධානය’ට හිමි විය. තිස්ස අබේසේකර එහිදී හොඳම තිරරචකයා ලෙස සම්මානයට පාත්‍ර වන්නේ නිධානය චිත්‍රපටය සඳහා ය. ‘වැලිකතර’ තිර රචනය ද මේ සම්මානය මට්ටමේ ම තිබෙන බව පමණක් සඳහන් කරනු රිසියෙමි. චිත්‍රපට විචාරක හා ලේඛක සංගමය 1972 වසරේ දී ගතවූ වසර 25ක හොඳම නිර්මාණ 10 තෝරන විට ‘වැලිකතර’ට හය වන ස්ථානය හිමි විය. නැවත 1997 දී සිනමාවේ පණස් වසර වෙනුවෙන් හොඳම චිත්‍රපට 10 තෝරන විට ‘වැලිකතර’ට දසවන ස්ථානය හිමි විය. මින් ප්‍රකට වන්නේ වසර පණහකට ආසන්න කාලයක් ගත වුවත් ‘වැලිකතර’ චිත්‍රපටයේ ගුණාත්මක අගය කිසි ලෙසකින්වත් හීනවී නොමැති බවයි. ‘වැලිකතර’ පරයන වීර සිනමා කාව්‍යයක් ද මෙතෙක් බිහි වී නොමැත. එහෙයින් එහි ඓතිහාසික කීර්තිය තවමත් දිදුලමින් ප්‍රභාමත්ව පවතී. ඒ ගෞරවය එයට සම්බන්ධ වූ සියලු කලාකරුවන්ට හිමි විය යුතුය.

වැලිකතර අත්දැකීමට ශරීරය හා ප්‍රාණය දෙමින් ඩී. බී. නිහාල්සිංහ දේශීය සිනමාවට විශිෂ්ට නිර්මාණයක් දායක කළේ ය. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, සුවිනීතා වීරසිංහ තම නිසර්ග රංග ප්‍රතිභාවන් ස්වයං නිර්මාණ ද සමඟ සංකලනය කරමින් වික්‍රම රන්දෙණිය, ගෝරිං, ගීතා රන්දෙණිය නම් ශ්‍රේෂ්ඨ භූමිකා නිරූපණ තුනක් දේශීය සිනමා වංශයට එක් කළහ. මේ සියලු ගුණවලට පාදම සලසමින් ‘වැලිකතර’ නිර්මාණයේ ආත්මය වූයේ තිස්ස අබේසේකරගේ තිර රචනයයි. එය මෙරට සිනමා ඉතිහාසය තුළ විශිෂ්ට තලයේ තිර රචනයක් ලෙස සදාතනිකව දිදුලනු ඇත.

තිස්ස අබේසේකරගේ තිර රචනා ආධුනික තිර රචකයන්ට ද අත්පොත් පමණට වැදගත් වනු නිසැක ය. 

Comments